ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද යළි රිමාන්ඩ් | දිනමිණ

ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද යළි රිමාන්ඩ්

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අද නියෝග කළා ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනීසිටි පොලිස් පරීක්ෂක ඉලංගසිංහ කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නියෝගය සිදු කළා ය.

2009 වසරේදී වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී කොටහේන හා බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වඩුවේල් පක්කිලසාමි ලෝගනාදන් හා රත්නසාමි පරමානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

අතුරුදහන්වූ ව්‍යාපාරිකයෙකුට අයත් වෑන් රථය කොටස් 72කට කපා වැලිසර නාවික හමුදා කදවුරේ ගරාජයක සඟවා තිබියදී සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත් වී තිබුණි.

(රිද්මි අමෝදා)

නව අදහස දක්වන්න