බක්මහ - දිවුරුම! | දිනමිණ

බක්මහ - දිවුරුම!

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ලෝකයේ ආදර්ශවත් රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව හඳුන්වන දිනය වැඩි ඈතක නොවේ. අප එසේ කියනුයේ ප්‍රධාන සාධක දෙකක් පාදක කරගෙන ය. ඉන් පළමුවන්න පසුගිය කාලය තුළ සිදු කළ සාර්ථක වැටලීම් හා දැනට ද සිදුවන වැටලීම් ය. දෙවන්න මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත විධිමත් වැඩසටහන ය. ජනාධිපතිවරයා මුලින් ම මේ ගැන කතා කරන විට කිසිවකුගේ සැලැකිල්ල ඊට යොමු වූයේ නැත. සමහරු එය හාස්‍යයෙන් බැහැර කළහ. එහෙත් අද වනවිට මුළු රටම මත්ද්‍රව්‍ය නිවාරණය ගැන කතා කරති. ඒ ගැන සිය ප්‍රසාදය පළ කරති.

අපේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන විධිමත් ආකාරයෙන් ද විද්‍යානුකූල ආකාරයෙන් ද සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මේ සඳහා ප්‍රධාන අංශ තුනක් තෝරාගෙන ඇත. එක; මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් ශක්තිමත් කිරීම ය. දෙක; නීතිය ක්‍රියාත්මක කිරීම හා දඬුවම් ලබාදීම කාර්යක්ෂම කිරීම ය. තුන; මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම ය. මත්ද්‍රව්‍ය වැටලීම් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නවීන විද්‍යුත් ආම්පන්න ගෙන්වීමට මේ වනවිටත් පියවර ගෙන ඇත. මත්ද්‍රව්‍ය නඩුවලට අදාළ නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීමට යෝජිත ය. පුනරුත්ථාපන වැඩසටහන් විධිමත්ව ක්‍රියාවට නැංවීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට ද නියමිත ය.

මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව හා සාර්ථක ව සිදුවෙයි. එහෙත් ඊට අදාළ නඩු විභාග කාර්යක්ෂම ලෙස නිමාවට පත්වන්නේ නැත. ඒ නිසා ම දඬුවම් ලබාදීම ද ප්‍රමාද වෙයි. ශ්‍රී ලංකාවේ අධිකරණවල ඇති තදබදයට අනුව මේ නඩුවක් අවසන් වීමට අවුරුදු අටක් හෝ දහයක් හෝ ගත වෙයි. ඇතැම් නඩුවක් ඊට වඩා ප්‍රමාද වීමට ද පුළුවන. ඒ අනුව සැකකරුවන්ට ඇප ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි. මෙසේ ඇප ලබන අය නැවත කුඩු ජාවාරමේ යෙදෙති. මේ චක්‍රය විමර්ශනය කරන විට පෙනී යන්නේ සැබෑ ලෙස ම මත්ද්‍රව්‍ය නිවාරණය සාර්ථක කරගැනීමට නම්; වෙන ම අධිකරණ ක්‍රියාවලියක් මේ සඳහා තිබිය යුතු බවය. මෙබඳු අධිකරණයක් හැකි විගස ස්ථාපිත කිරීම වැදගත් ය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මුළු රට ම සහභාගී කරවා ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරයි. ඊට අදාළ අපූරු ක්‍රමවේදයක් ද හඳුන්වා දීමට යයි. මේ වැඩසටහන හඳුන්වා ඇත්තේ ‘බක්මහ දිවුරුම’ ලෙස ය. අප්‍රේල් තුන්වන දා නිශ්චිත ස්ථානයකට රැස්වන පිරිස් මත්ද්‍රව්‍ය භාවිත නොකිරීමට දිවුරුමක් දෙති. මේ සඳහා පාර්ලිමේන්තුවේ සියලු ම මහජන නියෝජිතයන්ට ද ආරාධනා කරනු ලැබේ. මෙය ජන සහභාගිත්වය සඳහා වූ අපූරු වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි ය. මත්ද්‍රව්‍ය නිවාරණයට මෙබඳු නිර්මාණාත්මක වැඩසටහන් ද අවශ්‍ය වේ. එහෙත් මීට පෙර ශ්‍රී ලංකාව තුළ එවැන්නක් සිදු වී නැත. එය ආදර්ශවත් වැඩසටහනක් බව කිව යුතු ය.

ඉස්ලාම් රාජ්‍යය බොහොමයක මත්පැන් භාවිතය පවා නීතියෙන් තහනම් ය. රටක් මත්පැන් භාවිතයෙන් තොරව පවත්වාගෙන යා හැකි බව එම රාජ්‍යයන් දෙස බලනවිට පෙනී යයි. රටේ පවතින කසිප්පු භාවිතය හා වෙළෙඳාම නැවැත්වීම ද ජනාධිපතිවරයාගේ ඉලක්කයක් වී ඇත. කසිප්පු යනු හොර මත්පැන් නිෂ්පාදනයකි. එකිනෙක ප්‍රදේශවල පොලිසියේ ද සහයෝගයෙන් කසිප්පු ජාවාරම සිදු කළ ‍කාලයක් ද තිබිණි. අද වුව පොලිසියට අවශ්‍ය නම්; කසිප්පු මුළුමනින්ම ඉවත් කළ හැකි බව සමහරු පෙන්වා දෙති. ජනාධිපතිවරයා පොලිසියට අවස්ථාවක් හා කාලයක් ලබාදී ඇත. මේ අනුව නිශ්චිත කාලය තුළ තම බලප්‍රදේශයේ කසිප්පු ජාවාරම මැඩීමට ඒ ඒ පොලිස් ස්ථාන වගබලාගත යුතුය. එයත් හොඳ වැඩසටහනකි.

මත්ද්‍රව්‍ය ජාවාරම ගැන කියන විට එහි භයානක තත්ත්වය වන්නේ පාසල් දරුවන් ඊට ගොදුරු වීම ය. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවාගේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තරුණ ශිෂ්‍යයා දක්වා කුඩු ව්‍යාප්ත කිරීමට සම්බන්ධතා ජාලයක් ක්‍රියාත්මක වන බව හෙළිදරව් වී තිබේ. මේ ජාලයෙන් පළමුව දරුවන්ට නොමිලයේ කුඩු ලබා දෙයි. දරුවන් මීට ඇබ්බැහිවන්නේ නොදැනුවත්භාවය නිසා යැයි කිව හැකි ය. මත්ද්‍රව්‍ය භාවිතයේ ශාරීරික හා මානසික පාඩුව ඔවුන් දන‍්නේ නැත. මත්ද්‍රව්‍ය වෙළෙඳාමට හවුල්වීමෙන් ලැබිය හැකි දඬුවම ද ඔවුන් දන්නේ නැත. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ද වැඩසටහනක් ක්‍රියාත්මක ය. එය හඳුන්වා ඇත්තේ “සුජාත දරුවෝ” යන නමින් ය.

“සුජාත දරුවෝ” වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ආයතන රාශියක සහභාගිත්වයෙන් ය. අධ්‍යාපන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය එහි මුලිකත්වය ගනී. එකිනෙක ප්‍රදේශවල පවත්නා මානව සම්පත්වලට අනුව ස්වේච්ඡා සංවිධානවල ද, ස්වාධීන බුද්ධිමතුන්ගේ ද සහයෝග‍ය ඊට ලබාගත හැකි ය. විදුහල්පතිවරයා හා ගුරුවරයා මෙහි ප්‍රධාන භූමිකා නිරූපණය කරති. මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීම, නීතිය පිළිබඳ අවබෝධය හා දරුවන්ගේ පෞරුෂ වර්ධනය කෙරෙහි ද මෙහි අවධානය යොමු වනු ඇත. මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු කරන මානසික අවකාශ තුරන්කොට ඒ වෙනුවට දරුවාට වෛකල්පිත වින්දන මාර්ග සපයාදීමට වැඩසටහන ක්‍රියා කරයි. මත්ද්‍රව්‍ය උවදුරෙන් පළමුව ගලවාගත යුත්තේ දරුවා ය.

ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම කෙතරම් බලවත් ද යත්; ඇතැම් ජාවාරම්කාරයෝ තමන්ගේ රටවල ආණ්ඩු පවා වෙනස් කරති. මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපානය අතර ද සම්බන්ධයක් තිබේ. සමහර රටවල දේශපාලකයන්ගේ නිල නොවන ආදායම් මාර්ගය බවට පත් වී ඇත‍්තේ ද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, බෙදාහැරීම හා නිෂ්පාදනය යි. දකුණු ආසියාව පුරා ද මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වී ඇත. ශ්‍රී ලංකාවට එහිලා හිමිව තිබුණේ කේන්ද්‍රීය ස්ථානයක් බව හෙළිදරව් වී තිබේ. ශ්‍රී ලංකාව දකුණු ආසියාවට මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් ලෙස පැවැතී ඇත. මේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් වූයේ නම්; රට කුඩු නිසා ම විනාශයට පත්වීමට ඉඩ තිබිණි. දැනට ද සිදු වී ඇති විනාශය බරපතළ වෙයි. මත්ද්‍රව්‍ය නිවාරණයට ශක්තිමත් පදනම ඇති කළේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බව ජනතාව දනිති.

මත්ද්‍රව්‍ය ජාවාරම හා එහි ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය තරම් ම දරුණු ය. එහෙත් එය මැඩපැවැත්වීමේ ක්‍රියාමාර්ගය සාර්ථක ය. වැඩි කාලයක් යෑමට ප්‍රථම ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් වනු ඇතැයි විශ්වාස කළ හැකිය.

නව අදහස දක්වන්න