බාලදක්ෂයන්ගෙන් ඉල්ලීමක් | දිනමිණ

බාලදක්ෂයන්ගෙන් ඉල්ලීමක්

පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් වන ඔබතුමන්ලා අතීතයේ බාලදක්ෂයෙකු වූවා නම් එසේ සිදුවූයේ බේඩන් පවල් සාමිතුමන් 1907 එංගලන්තයේදී බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර 1912 ලංක‍ාවේත් පටන්ගත් නිසාය. එදා බාලදක්ෂයෙකු ලෙසින් ලද පරිචය, ආභාෂය අත්දැකීම් හා විනය යන ගුණාංග ඔබ පාර්ලිමේන්තුව දක්වා ගිය ගමනට යම් තරමකට උදව් වන්නට ඇති. ඔබටත් ලංකාවාසී බාලදක්ෂයන්ටත් ඒ උතුම් ව්‍යාපාරයට උපත ලබා දුන් ස්ථානය දැන් බාලදක්ෂ සේවාවට අහිමිව ඇත.

මාතලේ ක්‍රිස්තුදේව පාසලේදී එවකට මාතලේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කළ ස්ටීවන්සන් මහතා 1912 වර්ෂයේදී පාසලට යාබදව තිබූ තම බංගලාව ඊට කැප කර බොහෝ කාලයක් ව්‍යාපාරය එහි පවත්වාගෙන ගොස් ඇත. ඉන්පසුව කාලයෙන් කාලයට බලයට පත් වූ රජයයන් ඒ ඒ වකවානුවල සිටි රාජ්‍ය නිලධාරීන් යොදාගෙන ව්‍යාපාරයේ ඉඩමත්, ගොඩනැගිල්ලත් රජයට පවරාගෙන බාලදක්ෂ ව්‍යාපාරයට අහිමි කර ඇත. පසු කාලයේදී ජේ. ආර්. ජයවර්ධන දිවංගත ජනාධිපතිතුමන් විසින් මාතලේ නගරයේ පහසුම් සහිත තැනක් බදු ඔප්පුවකින් බාලදක්ෂ ව්‍යාපාරය නමින්ම ප්‍රදානය කළේය. ඉන්පසු එම ඉඩමේ බාලදක්ෂ කටයුතුවලට සුදුසු ගොඩනැගිල්ලක් ඉදිකර සියලු වැඩ කටයුතු පවත්වාගෙන යාමට හැකි විය.

දැනට අවුරුදු 3 කට පමණ පෙර නැවතත් එම ඉඩම හා ගොඩනැගිල්ල රජයට පවරා ගත් අතර ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් කඩා දමා එම ඉඩමේ රජයේ විශාල ඉදිකිරීමක් සිදුවේ. ඉහත කී ස්ටීවන්සන් බංගලාව හා ඉඩම අදටත් එසේම පවතී. එදා එය පවරා දුන් රාජ්‍ය නිලධාරීන් රාශියක් අද ජීවතුන් අතර නැත. ඔවුන් කළ පවරාදීම් අදටත් මාතලේ කතාබහේ පවතී. ස්ටීවන්සන් බංගලාව හා ඉඩම යනු බාලදක්ෂ ව්‍යාපාරයේ තිඹිරිගෙයට ලැබුණ උරුමය හා සම්පතයි. එම උරුමය මාතලේ බාලදක්ෂ ව්‍යාපාරයට ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ පළමු බාලදක්ෂයා වන ජනාධිපතිතුමන් විසින් අදාළ නිලධාරීන්ට දන්වා ඇත. ශ්‍රී ලංකා බාලදක්ෂ මහා සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා ද අවස්ථා රාශියකදී එදා මෙදා ආණ්ඩුවලින් මෙම ඉල්ලීම් කර ඇත.

බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භක ස්ථානය යනු රටේ කෞතුක වස්තුවකි. බාලදක්ෂ ව්‍යාපාරය ගැන තොරතුරු සොයන අයට, උපාධි නිබන්ධන කරන අයට, පර්යේෂණ කරන අයට ඉතා නිවැරැදිව හඳුනාගත හැකි උපන් තැනක් තිබිය යුතුය. එමනිසා මතු මත්තේ කිසිම ජගතෙකුට එම කෞතුක උරුමය මාතලේ බාලදක්ෂ ව්‍යාපාරයට අහිමි කිරීමට නොහැකි වන සේ පාර්ලිමේන්තුවේ පනතක් මඟින් සම්මත කර දෙන ලෙස ඔබතුමන්ල‍ාගෙන් ගෞරවයෙන් ඉල්ලමි.

බී. ඇම්. රත්නායක
ලේකම් - දිසා ‍බාලදක්ෂ සංගමය
මාතලේ

නව අදහස දක්වන්න