ලියවරුණ | දිනමිණ

ලියවරුණ

ඉතියෝපියානු පාර්ලිමේන්තුව මහජන නියෝජිතයන්ගේ සංයුතිය ගතහොත් 52% ක් කාන්තාවෝ වෙති. ශ්‍රී ලංකාවේ ග‍තහොත් ඒ ගණන දෑතේ ඇඟිලිවලින් ගණනය කළ හැකි ය. ඉතියෝපියාව දුර්භික්ෂයකට හා දීර්ඝ නියඟයකට මුහුණ දී ලෝක ආධාර මත පවත්වාගෙන ගිය රාජ්‍යයෙකි. එරට අතීත පාලකයෝ බෙහෙවින් දූෂිත වූහ. ලෝක ආධාර පවා යටි මඩි ගසාගත් බව කියති. එහෙත් නූතන ඉතියෝපියාව එසේ නැත. ඉතියෝපියාව අද ශීඝ්‍ර සංවර්ධනයකට හැරී ඇත. එහි කාන්තා මහජන නියෝජිතයෝ ඒ රට ගොඩනැඟීම සඳහා ප්‍රමුඛ කාර්යයක් ඉටුකරමින් සිටිති. ශ්‍රී ලංකාව ද ඉතියෝපියාව ආදර්ශයට ගත යුතු යැයි මේ මොහොතේ අපට සිතෙයි.

අන්තර්ජාතික කාන්තා දිනය ඊයේට යෙදී තිබිණි. මේ වෙනුවෙන් සංවිධාන කර තිබූ උත්සව හා සැණකෙළි රාශියක් දැකගන්නට ලැබිණි. මේ වැඩසටහන් ඔස්සේ කාන්තාවන් පිළිබඳ විශාල හඬක් දැකගන්නට ලැබිණි. හඬක් නැඟීම නරක නැත. ඒ මඟින් කාන්තාවට යුක්තිය ඉටුකිරීම සඳහා පෙළගැසීමක් ඇතිවන්නට පුළුවන. එහෙත් එක්තරා ප්‍රාඥයෙක් කියා සිටියේ දැන් අවශ්‍ය වන්නේ හඬට වඩා වැඩ බවය. එම අදහස පිළිගත හැකි ය. අදට අවශ්‍ය වන්නේ කාන්තාව සවිබල ගන්වන වඩාත් සාර්ථක වැඩසටහන් ය. එබඳු වැඩසටහන් ඉතා හිඟ බව කනගාටුවෙන් වුව මෙහිලා සටහන් කළ යුතු ය.

දේශපාලන ක්ෂේත්‍රයට කාන්තාවන් වැඩි වශයෙන් යොමු විය යුතු යැයි මතයක් තිබේ. ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ඇතිකළේ වර්තමාන රජය පමණි. එනම්; අංක 17 දරන පනත මඟින් මහජන නියෝජිතයන්ගේ සංයුතියට 25% ක කාන්තා දායකත්වයක් අනිවාර්ය කිරීම ය. දැනට එය ක්‍රියාත්මක වී ඇත්තේ පළාත් පාලන ආයතන තුළ පමණි. ගියවර පළාත් පාලන මැතිවරණයෙන් එක්දහස් නවසිය ගණනක මන්ත්‍රීවරියෝ තේරී පත්වූහ. එය ජයග්‍රහණයකි. මහ මැතිවරණරයේ දී ද මේ ජයග්‍රහණය ලැබිය හැකි නම්; ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සැලැකිය යුතු පෙරැළියක් ඇතිවේ. කාන්තාව රාජ්‍ය පාලනයට එකතු‍වීමෙන් එම ක්ෂේත්‍රයෙහි දූෂණ හා වංචා වඩාත් අඩුවන බව ද කියති.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකික කාන්තාව ලෝකයේ කැපී පෙනෙන තත්ත්වයට පත් වී ඇති බව ය. ලෝකයේ ප්‍රථම අගමැතිනිය මෙන් ම එවරස්ට් තරණය කළ ශ්‍රී ලාංකික කාන්තාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙන පරමාදර්ශ වෙයි. අගමැතිවරයා කියා සිටින්නේ අපට ඇත්තේ වීර කාන්තාවන් බව ය. තේ කර්මාන්තයේ, ඇඟලුම් ක්ෂේත්‍රයේ හා විදේශ සේවාවේ කාන්තාවන්ගේ කැපවීම ගෙන බලන විට මේ තත්ත්වය හොඳින් පැහැදිලි වෙයි. කාන්තා කටයුතු පිළිබඳ ඇමැතිනිය කියා සිටින්නේ කිසියම් සමාජයක් කාන්තාවට සම තැන ලබා දෙන්නේ නම්; එම සමාජය දියුණු වන බව ය. සාම්ප්‍රදායික චින්තනයට අනුව පුරුෂයාට පළමු තැන ද ස්ත්‍රියට දෙවන තැන ද ලැබෙයි. එහෙත් දැන් එය වෙනස් වන්නට පටන්ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය සම්බන්ධ සමීක්ෂණයක් සිදුකර තිබේ. මේ සමීක්ෂණයෙන් හෙළිදරව් වන වැදගත් සාධකයක් වන්නේ පොදු ප්‍රවාහනය භාවිතා කරන කාන්තාවන්ගෙන් 90% ක් ලිංගික හිංසනයට ලක්වන බව ය. මෙය ඉතා කනගාටුදායක තොරතුරකි. මෙලෙස ලිංගික හිංසනයට ලක්වන ස්ත්‍රීන්ගෙන් වැඩිදෙනා ඒවා ගැන පැමිණිලි නොකරති. පැමිණිලි කරන ගණන 4% ක් පමණ වන බව ද සමීක්ෂණය පෙන්වා දෙයි. පොදු ප්‍රවාහනයේ දී පමණක් නො ව; කාර්යාලයේදී ද, වෙළෙඳපොළ තුළදී ද, නිවසේදී ද කාන්තාව ලිංගික හිංසනයට ලක්වෙයි. මේ තත්ත්වය වෙනස් කළ යුතු ය.

ප්‍රධාන දුම්රිය හතක කාන්තාවන් සඳහා වෙන ම මැදිරි නම් කිරීම ඊයේ සිදු විය. මීට පෙර ද දුම්රිය මැදිරි කාන්තාවන් සඳහා පමණකි යන ලේබලය යටතේ පැවැතිණි. ඒ අනුව දුම්රියක එබඳු මැදිරි කිහිපයක් තිබිණි. එහෙත් කාලයත් සමඟ පුරුෂ පාර්ශ්වය ඒවා ආක්‍රමණය කළේ ය. ඊයේ නම් කළ දුම්රිය මැදිරිවලට වුව එම සන්තෑසිය ම වීමට ඉඩ තිබේ. එබැවින් එය නීතියක් ලෙස අකුරට ම ක්‍රියාත්මක කළ යුතු ය. මෙහි වැදගත්කම පෙනී යන්නේ කාන්තාවන් දුම්රියට ගොඩවීම සඳහා දරන ප්‍රයත්නය සිහිපත් වන විට ය. දුම්රියට ගොඩවීමේ සටනේ දී නිතැතින් ම පුරුෂයා ජය ලබයි. අපට අවශ්‍ය වන්නේ දෙදෙනා ම ජයග්‍රහණ ලබන ක්‍රමවේදයකි.

රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ විදේශීය ගෘහ සේවය යි. ලක්ෂ කිහිපයක කාන්තාවෝ මැද පෙරදිග ගෘහ සේවයේ හෝ ඊට සමාන්තර සේවයක හෝ නිරත වෙති. මේ සේවය දුෂ්කර ය. එලෙස ම අන්තරායකාරී ය. විදේශීය ගෘහ සේවයට යන ඇතැම් ස්ත්‍රීහු ලිංගික අතවරවලට ලක්වෙති. තව ස්ත්‍රීහු වද-හිංසාවලට ලක්වෙති. තවත් ස්ත්‍රීහු අකාලයේ මරණයට පත් වෙති. එහෙත් ඔවුන්ගේ අරමුණ කුමක් ද? තම පවුලට ස්ථාවර ආර්ථිකයක් ලබාදීම ය. කාන්තාවන් රට යන්නේ දරුවන්ගේ අනාගතය උදෙසා යැයි කියති. එක අතෙකින් ඇය රටට විදේශ විනිමය ලබා දී ජාතික ආර්ථිකය ශක්තිමත් කරයි. තව අතෙකින් ගෘහ ආර්ථීකය ස්ථාවර කරයි. එහෙත් ඇයගේ සේවාව ඇගයීමකට ලක්වන්නේ ඉතාම කලාතුරෙකින් ය.

කාන්තාව හඳුන්වන අතිශය සුන්දර හා අර්ථවත් වචන තිබේ. වරෙක ඇය ගෙදර බුදුන් ලෙස සලකති. තව වරෙක ගෘහයේ දෙවඟන ඇය වෙයි. තවත් වරෙක ගෙදර සම්පත් සපයන සිරිලිය ඇය වන්නීය. මේ වචන හා කියමන් හැඟුම්බර ය. අර්ථවත් ය. එහෙත් ඇයට හිමි විය යුතු යුක්තිය හා සාධාරණත්වය ලබාදීමට වචනවලට පමණක් හැකිවන්නේ නැත. උත්සව - සැණකෙළි - වැඩමුළු - සම්මන්ත්‍රණ ආදිය අපගේ වැඩි සැලැකිල්ලකට ලක් නොවන්නේ ද එම හේතුව නිසා ය. අපගේ තර්කය වන්නේ කිසිදු අඩුවකින් තොරව ස්ත්‍රියට සමතැන හා සම - ගෞරවය හිමිවිය යුතු බව ය. වැඩ කිරීමේ දී කාන්තාව පුරුෂයාට වඩා දුර්වල බව සනාථ වන්නේ ද නැත.

මෙවර කාන්තා දිනයේ තේමාව වූයේ ‘සුහුරු කතක් - සොඳුරු ලොවක්’ යන්න ය. සුහුරු යනු සෑම අතෙකින් ම දක්ෂ කාන්තාව ය. ඇය නැතිව ලෝකය සුන්දර වන්නේ නැත. ලෝකය පරිපූර්ණ වන්නේ ද නැත. අපි අපේ ස්ත්‍රී පරපුරට හිස නමා ආචාර කරමු.

නව අදහස දක්වන්න