පොලී කාක්කන්ගේ ග්‍රහණයට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය | දිනමිණ

පොලී කාක්කන්ගේ ග්‍රහණයට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය

ණයට දීමෙන් මුදලත් මිතුරාත් අහිමි වේ” යන වදන අප කොතෙකුත් අසා ඇත. නමුත් ණයට දීමේ මෙන් ම ණයට ගැනීමේලා වෙන වෙන ම සලකා බැලිය යුතු වාසි සහ අවාසි රැසකි. අද බොහෝ දෙනකුට ණය ගෙවීම තරම් අමිහිරි දෙයකුත් ණයට ගෙන පරිභෝජනය කිරීම තරම් මිහිරි දෙයකුත් නැතිතරම් ය. කෙසේ වෙතත් ණය පිළිබද කතිකාවේ දී මේ දිනවල වැඩි කතාබහක් ඇති වී ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සම්බන්ධයෙනි. මෙම ආයතන හොඳ හෝ නරක ලෙස නැතහොත් හරි හෝ වැරදි ලෙස තීරණය කිරීමට ප්‍රථමයෙන් අප අවධානය යොමු කළ යුත්තේ මෙම ආයතනවල අපේක්ෂිත අරමුණු සහ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ය.

“ක්ෂුද්‍ර මූල්‍ය” නොඑසේ නම් “Microfinance” මීට දශක ගණනාවකට පෙර ඇරැඹෙන්නේ දිළිඳුබව තුරන් කිරීමටත් ආර්ථික සහ සාමාජීය වශයෙන් අඩු වරප්‍රසාද ලත් සමාජ කණ්ඩායම් නඟා සිටුවීමටත් යොදාගත හැකි ඵලදායී සංවර්ධන මෙවලමක් ලෙස ය. බැංකු සහ අනෙකුත් සාම්ප්‍රදායික මූල්‍ය ආයතන කෙරෙහි ප්‍රවේශ වීමේ අවම හැකියාවක් ඇති දුප්පත් හා අඩු ආදායම්ලාභී ගනුදෙනුකරුවන්ගේ විවිධ ආකාරයේ මූල්‍ය අවශ්‍යතා සපුරාදීම ක්ෂුද්‍ර මූල්‍යනයේ මූලික අරමුණ ලෙස හුවා දැක්විය හැකිය.

බැංකු සහ අනෙකුත් සාම්ප්‍රදායික මූල්‍ය ආයතන කෙරෙහි ප්‍රවේශය සීමා වී ඇත්තේ දුප්පත් හා අඩු ආදායම්ලාභී ගනුදෙනුකරුවන් සතුව ඇප සුරැකුම් ලෙස ඉදිරිපත් කළ හැකි වත්කම් නොමැති වීම සහ අනෙකුත් දැඩි කොන්දේසි සපුරාලීමේ ඇති දුෂ්කරතා හේතුවෙන් ය. ණය මුදල්, ඉතුරුම්, රක්ෂණ සහ ගෙවීම් පහසුකම් යන ගනුදෙනුවල වටිනාකම සාම්ප්‍රදායික බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතනවල ගනුදෙනුවල වටිනාකමට සාපේක්ෂව කුඩා අගයක් ඉසිලීම ද ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට ආවේණික ලක්ෂණයක් ලෙස දැක්විය හැක. දශක ගණනාවකට පෙර සිට ම සමුපකාර ව්‍යාපාරය, රජය සහ රාජ්‍ය නොවන සංවිධාන සේ ම පෞද්ගලික අංශය ද ක්‍රමානුකූලව මේ සඳහා යොමු ව සිටී.

අඩු ආදායම්ලාභී ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයවලින් ණය ලබාගත්තේ, ඔවුන්ගේ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් වැඩි දියුණු කරගැනීම, ගේ දොර ඉදිකරගැනීම, දරුවන්ට ඉගැන්වීම වැනි කාරණාවලට ය. දුප්පත් කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා නිසි පටිපාටියට අනුව මූල්‍ය පහසුකම් ලබා දුන් විට ඔවුන් එය උපරිම වැඩදායි අන්දමින් භාවිතකොට ණය මුදල විශ්වාසනීය ලෙස ගෙවීම ද සිදු කරයි. මෙහි දී බැංකු ක්ෂේත්‍රය ද ඉක්මවා යමින් ණය ආපසු ගෙවීමේ යහපත් තත්ත්වයක් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන බව කිව යුතු ය.

ණය හොඳින් අය වෙන අන්දම දුටු පෞද්ගලික අංශයේ කුඩා කුඩා ආයතන ගණනාවක් අවසානයේ මේ ක්ෂේත්‍රයට එකතු වන්නේ ඉතා ඉහළ පොලියක් සමඟ දෛනිකව ණය මුදල එකතු කරන ආයතන ලෙස ණය ලබාදීමට ය. ජනතාව දශක ගණනාවක සිට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා විශ්වසනීයව ගනුදෙනු කළ අයුරු දැක අද වන විට මේ ක්ෂේත්‍රයට අහසින් කඩාපාත් වී ඇති කුඩා කුඩා ආයතන රැසකි. ඔවුන් අරඅඳින්නේ ක්ෂුද්‍ර මූල්‍යනයේ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීමට නොව, ක්ෂුද්‍ර මූල්‍ය යන නාමය අවභාවිත කරමින් බොර දියේ මාළු බෑමට ය.

ක්ෂුද්‍ර මූල්‍ය සැබෑ අරමුණ

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල පරමාර්ථය විය යුත්තේ ණය ලබාදීම සහ නැවත අය කරගැනීම පමණක් නොවේ. ණය ලබාගන්නා ජනතාවට එම ණය භාවිත කර, දරිද්‍රතාවයෙන් ගැලවී යෑමට උපකාරී වීමත් දුගී සහ අඩු ආදායම්ලාභී ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමත් ය. කුඩා ව්‍යාපාරයක් ඇරඹීමට ව්‍යාපාරිකයකුට මූලික ප්‍රාග්ධනයක් අවැසි ය. එවැනි මූල්‍ය අවශ්‍යතා සපයා දීමට අමතරව ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල සමාජීය ක්‍රියාකාරකම් අංශයක් ද ඇත. එම අංශයෙන් බලාපොරොත්තු වන්නේ අදාළ ණය මුදල් ලබාදීම සහ අය කරගැනීමට අමතරව ජනතාවගේ ජීවන මට්ටම ගොඩනැගීමටත් අභිමානය ගොඩනැංවීමටත් අදාළ වෙනත් කටයුතු සඳහා ද සහභාගිත්වයක් ලබාගැනීමයි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බිහි ව ඇත්තේ එවන් යහ පරමාර්ථයන් පෙරදැරි කරගෙන ය. නමුත් එම පරමාර්ථවලින් බැහැර වූ ඇතැම් ආයතන ණය ලබාදීමටත් අසාධාරණ ලෙස අධික පොලියක් අයකිරීමටත් පමණක් සීමා වී, ක්ෂණික ප්‍රතිඵල ලැබීමේ අරමුණෙන් මෙම ක්ෂේත්‍රයට අතපොවා ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය ලාභ ලැබිය හැකි අංශයක් බව සක්සුදක් සේ පැහැදිලි වූ බැවිනි.

එසේ ම යම් ප්‍රමිතියකට අනුව ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල සේවයේ නියැලී සිට ඉවත් වූවන් කුඩා ගම් අල්ලා ණය ලබා දී වැඩි පොලියක් සමඟින් දිනපතා අයකර ගැනීමේ ක්‍රියා පිළිවෙතක නියැලී සිටී. පැහැදිලිව කිව යුත්තේ එය ක්ෂුද්‍ර මූල්‍ය ගණයෙහි ලා නොසැලකිය යුතු වග ය. ප්‍රධාන වශයෙන් උද්ගත වී ඇති වරද එම අක්‍රමවත් ක්‍රියාපටිපාටිය වෙනුනේ ද දැන් දැන් “ක්ෂුද්‍ර මූල්‍ය” යන නාමය භාවිත කිරීමයි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් නම් ප්‍රධාන වශයෙන් දුප්පත්කමින් ගොඩඒමට සමාජය සවිබල ගැන්වීමට කටයුතු කළ යුතු ය. කෙසේ වෙතත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයකට ද සිය තිරසර පැවැත්ම රඳාගැනීම වෙනුවෙන් යම් වාණිජමය කටයුත්තක් හා සමානව කටයුතු කිරීමට සිදු වනු ඇත. එනම්, ලාබදායක ආයතනක් ලෙස පැවැතිය යුතු ය. එහෙත් අපේක්ෂිත යහ අරමුණු සාක්ෂාත් කරගැනීමෙහි ලා ක්‍රියාත්මක වන මෙවැනි ආයතන අසාධාරණ ලෙස ලාබ නොලබයි. නොලැබිය යුතු ද වේ.

දැලි පිහියෙන් කිරි කන්නෝ

සමූපකාර ආයතන, රාජ්‍ය නොවන ආයතන, ගම් මට්ටමින් ක්‍රියාත්මක වන කුඩා සමිති, ගොවි සංවිධාන වැනි ආයතන සියල්ල එක්ව ගත් කල මේ වන විට බිහි ව ඇති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විශාල සංඛ්‍යාවකි. ඒ අතරින් ක්ෂුද්‍ර මූල්‍ය පනතට අනුව මහබැංකුවේ ලියාපදිංචි වීමට සුදුසුකම් ලබන්නේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් යන ඒවා පමණි. ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වශයෙන් ලියාපදිංචි වීමට අවම වශයෙන් එම ආයතනය සතුව අවුරුදු 03ක අත්දැකීම් සහ මිලියන එකසිය පනහකට වැඩි ප්‍රාග්ධනයක් පැවතිය යුතු ය.

එසේ ම ලාබදායි ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය යුතු ය. මේ වන විට මේ වැනි ආයතන 11ක් මහ බැංකුවේ ලියාපදිංචි වීමට අයදුම් කර ඇති අතර ඒ අතරින් වහාම බලපත්‍ර ලබා දිය හැකි මට්ටමේ පවතින්නේ ආයතන හතරකි. ඉන් අදහස් වන්නේ අනෙක් ආයතනවලට කිසිසේත්ම බලපත්‍ර ලබාගත නොහැකි බව නොවේ. එම ආයතනවලට නුදුරේදී එම අපේක්ෂිත සුදුසුකම් සපුරාලිය හැකි ය.

එසේ ම පවත්නා සියලු ආයතන ලියාපදිංචි විය යුත්තේ ද මහබැංකුව යටතේ නොවේ. රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි විය යුත්තේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය යටතේ ය. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට ද මේ වන විට අයදුම්පත් 45ක් ඉදිරිපත් වී ඉන් 13ක් ලියාපදිංචි වී අවසන් ය.සමූපකාර සමිති දැනට ම සමුපකාර කොමිසාරිස්තුමා මඟින් නියාමනය වෙමින් පවතී. එසේ ම ගොවි සමිති, ගොවිජන සේවා පනත මඟින් ද සමෘර්ධිය, සමෘර්ධි පනත මගින් ද ආදී වශයෙන් ‌ෙමම ආයතනවලට විවිධාකාරයේ නියාමනය වීමේ ක්‍රමවේද ඇත.

ණය ලබා දී දෛනික ව පොලියක් සමඟ එකතු කරගන්නා කුඩා ආයතනවලට සම්මත පොලී ප්‍රතිපත්ති, නීති රීති හෝ නිසි ක්‍රමවේදයක් නැත. අවම වශයෙන් ජනතාව ණය ලබාගන්නේ කුමක් සඳහා ද යන්නවත් ඔවුන්ට අදාළ නැත. පහසුවෙන් සේ ම ඉක්මනින් ණය ලබාගත හැකි බැවින් ජනතාව ද මෙවැනි අක්‍රමවත් ආයතනවලින් ඉවක්බවක් නොමැතිව ම ණය ලබා ගැනීමට පෙළඹී සිටිති. එය දැලි පිහියෙන් කිරි කෑමක් බව පසක් වන්නේ බොහෝ ප්‍රමාද වී ය. ප්‍රමාදය පසුතැවීමට හේතුවන අතර අවසානයේ කියන්නට ඇත්තේ “ගෙවන කලට ණය ගිනි දෙයි බෝසේ” කියා ය.

යහ අරමුණින් ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පිළිබඳව ද මේ වන විට ජනතාව අතර මැවී ඇත්තේ වැරදි චිත්‍රයකි. එයට හේතුව එහි ඇති ලාබදායකත්වය හඳුනාගත් ඇතැම් කණ්ඩායම් විධිමත් ක්‍රියාදාමයක් හෝ ආචාරධර්ම පද්ධතියක් නොමැතිව මෙම ක්ෂේත්‍රයට ඇතුළු වී, ගිනි පොලී අය කරමින් ජනතාව සූරාකෑමයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන යන්නෙහි නිවැරදි අර්ථය නිවැරදි ව සමාජගත වී නොතිබීම ද මීට බලපා ඇත.

“මම වසර ගණනාවක සිට ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කටයුතු කරනවා. එම ආයතනය ක්‍රියාත්මක වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 67ක් නියෝජනය කරන සංගමයක් ලෙසයි. අක්‍රමවත් ව සහ අවිධිමත් ව කටයුතු කරමින් ජනතාව සූරාකන පිරිස් මෙම සංගමයේ සාමාජිකත්වය ගැනීමට සුදුසුකම් ලබන්නේ නෑ. ජනතාව ණයක් ගන්නකොට මොකටද මේ ණය ගන්නෙ කියලා අපි හොයලා බලනවා.

ඒ වගේ ම ණයකරුවන් එම ණය මුදල් භාවිත කරන අන්දම පිළිබඳ සොයා බැලීමට අපේ පුහුණු කළ නිලධාරීන් ඉන්නවා. නමුත් මෑත කාලයේ බිහිවුණ ඇතැම් ආයතන කිසිදු සොයා බැලීමකින් තොරව ඉක්මණින් ණය ලබාදෙනවා. ඒ නිසාම ජනතාවත් ඒ ආයතන වෙත ඇදෙනවා. ඔවුන් ජනතාව නොමඟ යවනවා. පොලී අනුපාත ගැන ණයකරුවන් නිසි අන්දමින් දැනුවත් කරන්නෙ නෑ. ගිනි පොලිය සමඟ ණය මුදල ගෙවාගත නොහැකි වන විටයි ගැටලු මතුවෙන්නෙ.

එයින් සිදු වුණේ මෙතුවක් කල් යහ අරමුණු පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ද නරක නාමයක් ගෑවීම. මේක හරියට කිරි කළයකට ගොම බිංඳුවක් දැම්මා වගේ වැඩක්. අපි නිරන්තරයෙන් ලංකාවේ ජාතික ක්ෂුද්‍ර මූල්‍ය ජාලය හැටියට කැපවෙලා කටයුතු කරනවා. ක්ෂුද්‍ර මූල්‍ය අරමුණුවලින් පරිබාහිරව පොලී මුදලාලිගේ භූමිකාව නිරූපණය කරන ආයතන හේතුවෙන් මේ ක්ෂේත්‍රයට සිදුවන හානිය අවම කරමින්, නිසි පටිපාටියට අනුව ක්‍රියාත්මක වන ආයතනවලට එම කටයුතු කරගෙන යෑමට අවශ්‍ය සානුබලයන් ලබාදිය යුතුයි.” ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති එම්.එම් අත්තනායක මහතා ප්‍රකාශ කරයි.

බලධාරීන්ගේ වගකීම

මේ වන විට යහ අරමුණු පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කලක් තිස්සේ අදාළ ප්‍රදේශවල වැසියන්ගේ විශ්වාසය දිනාගනිමින් කටයුතු කළ ඒවා ය. බොහෝ විට අසාධාරණ ලෙස ලාබ උපයන්නේ පටු අරමුණු මුල් කරගනිමින් මෑත කාලයේ මෙම ක්ෂේත්‍රයට රිංගා ගත් කුඩා කණ්ඩායම් ය. නිවැරදිව ක්‍රියාත්මක වන ආයතන ණය තක්සේරු කිරීම, ණයකරුවන් ණය මුදල් පාවිච්චි කරන ආකාරය ගැන සොයාබැලීම, ණය ලබා දීමට අමතරව සමාජ සේවා කටයුතු, පුහුණු කිරීම් සහ වෙනත් සේවාවන් ඉටුකරමින් සංවර්ධන කටයුතුවලට අතහිත දීම යන කාර්යයන්හි නියැලේ. මේ අනුව අත්‍යවශ්‍ය කාරණාවලදී හෝ කුඩා ණය ලබාගැනීමට යොමු විය යුත්තේ කෙබඳු ආයතන වෙත ද යන්න පිළිබඳ ජනතාවට නිසි අවබෝධයක් තිබිය යුතු ය.

මෙම ආයතන වෙන්කර හඳුනාගන්නේ කෙලෙසද යන දැනුම සමාජගත නොකිරීමෙන් පීඩාවට පත් වන්නේ දුගී සේ ම අඩු ආදායම්ලාභී පිරිස් ය. සුදුසුකම් සලකා බලා ආයතනවලට බලපත්‍රයක් ලබා දුනහොත් ගනුදෙනු කිරීමට සුදුසු ආයතන හඳුනා ගැනීම පහසු වනු ඇත.

බලධාරින් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු ය. නිසි නියාමනයක් නොකළ හොත් ජනතාව විශාල ණය උගුලකට හසු වනු ඇත. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන සියලු ආයතන නියාමනය විය යුතු අතර ඒ සඳහා නියාමනය කරන ප්‍රබල හා ප්‍රමුඛ ආයතනයක් බිහිවිය යුතු ය. එම ආයතනයෙන් බලපත්‍ර ලබා නොගත් කිසිවකුට ණය ලබාදිය නොහැකි වන ලෙස නීතියක් පැනවිය යුතු ය. මේ සඳහා දිය හැකි හොඳ ම විසඳුම එයයි.

ඉන්දියාවේ නීතියට අනුව සෑම බැංකුවක් ම එම බැංකුවේ පවතින ණය දෙන මුදලින් සියට 10%ක් ප්‍රමුඛතාගත අංශවලට ලබාදිය යුතු ය. එම ප්‍රමුඛතාගත අංශවලින් ප්‍රධාන ම අංශය ලෙස සැලකෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයි. එවිට අනිවාර්යයෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට අරමුදල් ලබාගැනීමේ හැකියාවක් පවතී. එවැනි ප්‍රතිපත්ති ලංකාවේ ද ඇති වන්නේ නම් අගනේ ය. එසේ ම රජය විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් අය කරන බදු යම් පමණකට අඩු කරන්නේ නම් ණය සඳහා අයකරගන්නා පොලිය අවම කොට, අඩු ආදායම්ලාභී ජනතාවට තව තවත් සහන සැලසීමට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට හැකි වනු ඇත.

කෙසේ වෙතත් විය යුත්තේ සත්‍ය නොදැන සියලු ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පිට වරද පැටවීම නොව, අපේක්ෂිත යහ අරමුණු සාධනයෙහි සමත් වන්නේ නම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන යනු සමාජය සවිබල ගැන්විය හැකි ආයතන සමූහයක් බව වටහා ගනිමින්, නිවැරදි ආයතන හඳුනාගමින් ගනුදෙනු කිරීම ය.

සටහන
කාංචනා සිරිවර්ධන 

නව අදහස දක්වන්න