ලාල්කාන්ත ගැන කියන්න දෙයක් නැහැ | දිනමිණ

ලාල්කාන්ත ගැන කියන්න දෙයක් නැහැ

ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම පිළිබඳ මේ දිනවල බලවත් සාකච්ඡාවක් පවතී. එසේම ඒ සම්බන්ධව විවිධ චෝදනා සහ විවේචන ද එල්ල වී තිබේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, අයවැය, විද්වත් සභාවේ යෝජනා මාලාව ආදිය සම්බන්ධව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එහා ඉවුරට එක්වේ.

 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් බොහෝ දෙනෙක් විරෝධයක් දක්වනවා. ඒ පසුබිම තුළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ උත්සාහය සාර්ථක වෙයි ද?

ඇත්තටම ගත්තොත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ අරමුණ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. අපේ රටේ නායකයින් බොහෝ දෙනෙක් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා එකඟ වුණා. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී කියන විධායක ජනාධිපතිවරු තනතුරට එන්න කලින් මේ විධායකය අහෝසි කරනවා කිව්වා. එජාපයත් කිහිප වරක් ඒ කතාව කිව්වා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වෙන්න ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපේ අරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම යි. 20 සංශෝධනයේ අඩු පාඩු තියෙනවා නම් ඕනෑම කෙනකුට යෝජනා අදහස් දක්වන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට මැදිහත් වෙන්න කියලයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කරන්න කියලා අධිකරණය තීරණය කළා. එහෙම වුණත් වත්මන් ජනාධිපති ක්‍රමය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතර තිබෙන බැඳීම ප්‍රශ්නකාරී නේ ද?

එහෙම වෙන්නෙ නැහැ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කරුණ එහෙම ම තියෙනවා. විධායක නොවන ජනාධිපතිවරයාටත් 13 සංශෝධනයේ බලතල තිබෙනවා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කිසි විටෙකත් 13ට බලපෑමක් වෙන්නෙ නැහැ. නමුත් පවතින මැතිවරණ ක්‍රමයේ අස්ථාවරත්වය නිසා විධායක ජනාධිපතිවරයෙක් නොමැතිව රජයක් කරගෙන යාම අපහසුයි කියලා ඇතැම් පිරිස් මතයක් ගොඩනඟනවා. අපේ අදහස තමයි වෙනත් මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීමක් හෝ පවතින මැතිවරණ ක්‍රමය තුළ ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට අදහස් සහ යෝජනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ගේන්න පුළුවන් කියන එක.

මේ වන විටත් පළාත් සභා නිල කාලය අවසන් වෙලා තියෙනවා. 20 සම්මත නොකර මැතිවරණයට යන්න බැරි ද?

20 තුළ තියෙන්නේ ප්‍රධාන වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා විධායක නොවන ජනාධිපති ධුරයක් ඇති කරලා ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවේ බෙදා හදා ගැනීමක්. ඒ නිසා මැතිවරණය පවතින ක්‍රමයට ම තියනවා ද නැතිනම් අලුත් ක්‍රමයකට තියනවා ද කියන එක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා විසඳාගත යුතුයි. 20 තියෙන සුළු තාක්ෂණික ගැටලු නිසා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප නොකර සම්මත කරගන්න අවශ්‍ය සංශෝධන ඇතුළත් කරලා මේ කාර්යයට සහාය දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. 20 අපේ කරගන්න අපිට වුවමනාවක් නැහැ.

ජවිපෙ නායකයින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා මුණගැහුණා. එතනදී 20 ගැන සාකච්ඡාවට ලක්වුණා. විධායකය අහෝසි කරන්න කියලා ඔබලා මීට කලින් නායකයන් කිහිප දෙනකුට සහය දැක්වුවා. ඒ අය ගැන විශ්වාසයක් තියෙනව ද?

අපිට ඔය කිසි කෙනෙක් ගැන විශ්වාසයක් නැහැ. මෙතැන තියෙන්නේ දේශපාලන කාර්යය භාර්යයක්. 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා නම් 2/3ක බලයක් ගන්න ඕන. ඒ නිසා එ.ජා.ප., ශ්‍රී.ල.නි.ප., ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ගන්න ඕන. දැන් ඉන්න හැම නායකයකුම ප්‍රතිපත්තියක් වශයෙන් විධායකය අහෝසි කරන්න එකඟ වුණ නිසා මේකට බාධා කරන්න එපා සහය දක්වන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලන්න අපට අයිතියක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා මුණගැහෙන්න ගියේ ඔහු විපක්ෂ නායකයා නිසා ඒ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ඉල්ලන්න. එහෙම නැතිව සන්ධාන හදන්න අපට වුවමනාවක් නැහැ.

විපක්ෂ නායකවරයාගේ හමුවීමෙන් පස්සෙ අය වැයටත් විරුද්ධව ඡන්දය භාවිතා කරලා මහින්ද මහත්තයත් එක්ක එකට ගමනක් යයි කියලත් සඳහන් වුණා?

එහෙම දෙයක් නැහැ. අපේ රටේ දේශපාලන ඕපාදූප හොයන සහ දේශපාලන ක්‍රියාමාර්ග තේරුම් ගන්න බැරි මතුපිටින් බලන පිරිසක් ඉන්නවා. ඒ අය ගැන අනුකම්පා කරනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ. ජ.වි.පෙ. අය වැයට විරුද්ධ වෙන්නේ ප්‍රතිපත්තියක් විදිහට. කවුරු විරුද්ධ වුණත් පක්ෂ වුණත් අපි මේ අය වැය ජනතා විරෝධී අය වැයක් ලෙස සලකලා විරුද්ධ වෙනවා. එහෙම නැතිව මහින්ද මහත්තයත් එක්ක එකඟ වෙලා අය වැයට විරුද්ධ වෙන තත්ත්වයක් මෙතැන නැහැ. අපි ධනවාදී අය වැයට කොහොමත් විරුද්ධයි.

ඔබලාට එල්ලවෙන චෝදනාවක් තමයි පැසිස්ට්වාදී මහින්ද මඟ යමින් ලෙනින් ගැන කතා කරනවා ය කියන එක?

මම කලින් කිව්වා වගේ දේශපාලනය අබ මල් රේණුවක් හෝ නොදන්නා පිරිස තමන්ට ඕනෑ ආකාරයේ විග්‍රහයන් කරනවා. අපි ලෙනින් ගැන කතා කරන්නේ මාර්ක්ස්, ලෙනින් දර්ශනය විශ්වාස කරන පක්ෂයක් නිසයි. නමුත් අපිට මෙතැන දී අනෙක් දේශපාලන පක්ෂවල සහයෝගය අවශ්‍යයි. ඒ නිසා අපි ඔවුන් සමඟ සාකච්ඡා කරනවා. ඒක ලෙනින් හා සම්බන්ධයක් නැහැ වගේම ලෙනින්ගේ දර්ශනයට පිටුපෑමකුත් නෙවෙයි. 20 සම්මත කර ගැනීමට අපි සියලු දේශපාලන නායකයින් හමුවෙනවා වගේම මහින්ද මහත්තයත් හමුවීම අපට විශේෂත්වයක් නෙවෙයි.

වාමාංශික නායකයින් පාලනය කරපු රටවල ප්‍රතිපත්තිය වුණේ නායකයාගේ වැඩපිළිවෙළ. හැබැයි ඔබ පක්ෂය ජාතික විද්වත් සභාව ඉදිරියට දාලා එන්නේ එවැනි වැඩපිළිවෙළක් සහිත නායකයෙක් නැති නිසා ද?

අපි අපේ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ 1978 දී. 2000 දී පස් අවුරුදු සැලැස්ම ඉදිරිපත් කළා. දැන් අපිට තියෙන්නේ මේ රටේ විද්වතුන් ද සහිතව එක් එක් සමාජ අර්බුද විසඳාගන්න ප්‍රතිපත්ති සකස් කිරීමක්. අපිට තියෙනවා ප්‍රතිපත්ති සඳහා වූ මූලධර්ම. ඒ නිසා විද්වතුන් ඔවුන්ගේ දැනුම උපයෝගී කරගනිමින් ප්‍රතිපත්ති සකස් කරලා තියෙනවා. අපේ මූලධර්ම සමඟ ඒ ප්‍රතිපත්ති ගැටෙන්නෙ නැතිනම් අපිට ඒවා පිළිගෙන ඉස්සරහට යන්න පුළුවන්. අපට ප්‍රතිපත්ති හදන්න බෑ කියලා ඒකෙන් කියන්නෙ නෑ. අපි විශ්වාස කරනවා සමාජයේ එක් එක් ක්ෂේත්‍රවල ප්‍රවීණයන්, විශේෂඥයන් ප්‍රතිපත්ති නිර්මාණය කරනවා නම් ඒක ජනතාවාදී කියලා. ඒ නිසා ජනතාව සතුටු වෙන්න ඕන මේ කාරණය ගැන.

ඔබ චෝදනාවක් කළා මේ රටේ අධ්‍යාපනය බරපතළ අර්බුදයකට ලක්වුණ කාලය තමයි මේ කියලා. එහෙම කියපු ඔබලා සයිටම් විරෝධයක් ඇති කළා?

මම කලිනුත් කිව්වා වගේ එක එක්කෙනාට ඕනෑ ආකාරයට දේශපාලන අර්ථකථන ඉදිරිපත් කරනවා. අපි සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් විදිහට අධ්‍යාපනය සම්බන්ධයෙන් දැක්මක් ප්‍රතිපත්තියක් තියෙනවා. අපි හිතනවා අධ්‍යාපනය සැමට සමානව තිබිය යුතුයි. ඒ නිසා අපි ඒ වෙනුවෙන් සටන් කරනවා. අධ්‍යාපනය වෙළඳාමක් වෙන්න බෑ. ඒ නිසා තමයි අපි මේ තියෙන තරගකාරී අධ්‍යාපන ක්‍රමයට විරුද්ධ. අපේ රටේ දැන් වෙන්නේ ගමේ පාසල වසා දමලා නගරයේ පාසල දියුණු කරන තත්ත්වයක්. අපි ඒ ගැන කතා කරනකොට ආණ්ඩුව උත්සාහ දරමින් ඉන්නවා අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්න. උසස් අධ්‍යාපනය විකුණන එකට අපි විරුද්ධ වෙන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ දරුවන්ට වෛද්‍යවරයකු වීමේ අවස්ථාව අහිමි වෙන නිසයි. මේ රටේ සියලුම දරුවන්ට සමාන අධ්‍යාපන අයිතිවාසිකම් ලැබෙනතුරු අපි ආණ්ඩුවත් එක්ක සටන් කරනවා.

ගුරුවරියක් වසර දෙකක සිර දඬුවමකට යටත් වුණාම ඒ වෙනුවෙන් ඔබ පක්ෂය පෙනී සිටින්නේ නම්, දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් තියෙන මතය මොකක් ද?

අපි ජ.වි.පෙ. විදිහට මැදිහත් වුණේ නැහැ. නමුත් වෘත්තීය සමිති විදිහට මැදිහත් වුණා. මෙතැන දී කියැවුණේ දරුවන්ටත් දඬුවම් අවශ්‍ය නොවෙනවා වගේම ගුරුවරුන්ටත් දඬුවම් අවශ්‍ය නැහැ කියලයි. දරුවන් දඩුවමින් හදන්න බැහැ කියලා අපි කවුරුත් දන්නවා. නමුත් දරුවන්ටත් විනයක් තියෙන්නෙ ඕන. ඒ නිසා ශාරීරික දඬුවම් නොදී වෙනත් ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. අපේ ඉතිහාසයේ අපි අකුරක් වැරැද්දුවොත් ඒ අකුරෙන් සියයක් ලියාගෙන එන්න දුන්නා. දරුවන්ට දඬුවම් තියෙනවා. ඒවා ගහලා හදන දඬුවම් නොවී වෙනත් විදිහට වෙන්න ඕන. සමාජීයීක විනයක් හා පාසලට විනයක් අවශ්‍යයි. ඒ නිසා දරුවන්ගේ විනය ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමට ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

ඔබ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත බීමතින් රිය පදවා කළ අනතුර ගැන මොනව ද කියන්නේ?

ඒ ගැන කියන්න දෙයක් නැහැ. ජ.වි.පෙ. විනයගරුක පක්ෂයක්. අපි කවුරු කොහොම කිව්වත් අපේ සදාචාරය විනය ඉවත් කරන්නෙ නැහැ. ලාල් කාන්ත සහෝදරයා එක්ක අපි කතා කළා. නැවත එවැනි තත්ත්වයක් ඇති නොවන තැනට අපි සාකච්ඡා කළා. අපි පිළිගන්න ඕන අනතුර වෙලාවේ ලාල් සහෝදරයා පැනලා ගියේ නැහැ. පොලිසියේ කටයුතුවලට සහය දැක්වුවා වගේම අධිකරණ කටයුතුවලට සහය දැක්වුවා. පක්ෂයක් විදිහට අපි ඊට මැදිහත් වුණේ නැහැ. අනතුරට ලක්වුණ දෙන්නාට අපේ කනගාටුව පළ කරලා තියෙනවා. නැවත මෙවැනි තත්ත්වයක් පක්ෂයේ සාමාජිකයකුගෙන් ඇති නොවෙයි කියන විශ්වාසය අපට තියෙනවා.

රටේ ජනතාව දුගී බවෙන් මිරිකෙන්නට හේතුව කොල්ලකාරී ආර්ථිකය කියලා ඔබ මීට පෙර දිනක චෝදනා කළා. එහෙම කියන්නෙ ඇයි?

77න් පස්සේ ඇති කරපු විවෘත ආර්ථිකය අද අරන් යන්නේ 77 ආර්ථිකය ගෙනාපු ජයවර්ධන මහත්තයාගේ බෑණා. අද වෙනකොට අපේ රටේ ආර්ථිකය ගොඩගිහිල්ල ද? දැවැන්ත ණය බරකට රට හිරවෙලා. ගෙවා ගන්න බැරිව දඟලනවා. මේක අපේ රටට අවමානයක්. සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳ වැටිලා, ප්‍රවාහනය, අධ්‍යාපනය සුණු විසුණුවෙලා ගිහිල්ලා. දැන් තියෙන ආණ්ඩු ණය ගන්නයි ණයට කන්නයි දක්ෂවෙලා. ඒ නිසා නිෂ්පාදන ආර්ථිකයකට මේ රට ගෙනියන්න බැරිවෙලා තියෙනවා. ජනතාව මත පමණක් බර පටවන ආණ්ඩුවක් අපිට තියෙනවා. ඒ ආණ්ඩුවට කොල්ලකාරී ආණ්ඩුවක් නොකියා කියන්න දෙයක් නැහැ.

දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමත්, පාතාලය මත්ද්‍රව්‍ය වැනි සමාජ විරෝධී ව්‍යසන පිටුදැකීමටත් වත්මන් ජනපතිවරයා උත්සාහ ගන්නවා නේද ?

ඇත්තටම මේ වැඩවලට හිනාවෙනවා ඇරුණුකොට වෙන කරන්න දෙයක් නැහැ. අපේ රටේ නායකයෝ කඩිමුඩියේ ගේන්නේ සටන් පාඨ. ඒවා ගේන්නේ මැතිවරණ ඉලක්ක කරගෙන මිසක් ඇත්තටම රට බේර ගන්න නෙවෙයි. එක් කාලයක වගා සංග්‍රාමය කියලා එකක් ගෙනාවා. නමුත් කිසිම සංග්‍රාමයක් වුණේ නැහැ. මෑත භාගයේ බැසිල් මහත්තයා ගෙනාවා දිවි නැඟුම කියලා එකක්. මොකද වුණේ, වෙච්ච දෙයක් නැහැ. අදත් වෙන්නෙ ඔය දේම තමයි. අද පරිසරය විනාශ කරනවා කියලා කියනවා. කවුද පරිසරය විනාශ කරන්නෙ, සාමාන්‍ය මිනිස්සු ද? පොඩි මිනිහෙක් අත්තක් කැපුවයි කියලා පරිසරය විනාශ වෙන්නේ නැහැ. මහා පරිමාණ ජාවාරම්කාරයෝ ඉන්නෙ දේශපාලකයෝ ළඟ. එදා මහින්ද මහත්තයා මතට තිත කියලා ගෙනාවා. ඇත්තටම තිත තිබ්බ ද? නැහැ මේවා සටන් පාඨ විතරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන අවහිර කරන්න ජ.වි.පෙ. 20 ගෙනාවා කියලා ජා.නි.පෙ. චෝදනාවක් කළා?

ජා.නි.පෙ.ට ගෝඨාභය ලොකු වුණාට අපිට ලොකු නැහැ. ගෝඨාභයට වඩා ලොකු දේශපාලනඥයෝ මේ රටේ ඉන්නවා. 20 ගේන්නෙ ගෝඨාභයට බයේ නම් නෙවෙයි. ගෝඨාභය කියන්නේ රටේ යුද්ධයක් තියෙන වෙලාවේ බයේ පැනලා ගිය කෙනෙක්. ඒ නිසා ගෝඨාභය ඒ අයට ලොකු වුණාට අපිට වැඩක් නෑ. අපි 78 ඉඳන් කරපු අරගලය තමයි තවමත් මේ කරන්නේ. මේ වෙනකල් විධායක අහෝසි කරන්නම් කියලා පොරොන්දු වුණ කිසිම නායකයෙක් ඒක කළේ නැහැ. මේ 20 අපි ඉතිහාසයේ ඉඳලා කරපු අරගලයක ප්‍රතිඵලයක් මිසක් ගෝඨා බය නිසා කරපු එකක් නෙවෙයි.

දුමින්ද අලුත්ගෙදර


නව අදහස දක්වන්න