පාතාලයේ කොණ්ඩ චමිලගේ සිරුර නවගමුවේ රබර් වත්තක | දිනමිණ

පාතාලයේ කොණ්ඩ චමිලගේ සිරුර නවගමුවේ රබර් වත්තක

ගයාන් කුමාර වීරසිංහ

පාතාල සාමාජිකයකු වූ චමිල ප්‍රසාද් නොහොත් කොණ්ඩ චමිලගේ සිරුර නවගමුවේ ගොඩ­ැල්ලවත්ත ප්‍රදේශයේ රබර් වත්තක තිබී ඊයේ (11) උදෑසන සොයාගෙන තිබේ.

මොහු ඩුබායි හී සැඟව සිටින පාතාලයේ ප්‍රබලයෙක් වන කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකි.

චමිල ප්‍රසාද් නොහොත් කොණ්ඩ චමිල නැමැත්තා ඝාතනය කර ඇත්තේ ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා බව මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. මළ සිරුර ඇති ස්ථානයේ ටී 56 අවිවලට යොදන පතොරම් හිස් කොපු තුනක් ද හමුවූ බව පොලීසිය සඳහන් කරයි.

පොලියට මුදල් දෙමින් ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියකු වන මාකොළ පදිංචි සංජීව ධනුෂ්ක නොහොත් මන්නා නැමැත්තාට පසුගිය වසරේ දෙසැම්බර් 12වෙනි දා සපුගස්කන්ද ගල්වල හංදියේ දී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියේ සැකය එල්ල වී තිබුණේ කොණ්ඩ චමිලටය. ඔහු එම ඝාතනය තමන් කළ බව පිළිගනිමින් අවස්ථා කිහිපයකදීම පොලීසියට භාරවීමට ද උත්සහ දරා ඇතැයි ද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

කොණ්ඩ චමිල නැමැත්තා ද කලකට ඉහත දී කිරිබත්ගොඩ ප්‍රද්ශයේ මුදල් පොලියට දීමේ ව්‍යාපරයක නිරතව සිට ඇති අතර ඔහුගේ මිතුරෙක් වූ කොණ්ඩ චමිල පසුව ඔහුගේ පොලී ව්‍යාපාරය අත්පත්කරගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

පොලී ව්‍යාපාරය අහිමි වීමෙන් පසු කොණ්ඩ චමිල නැමැත්තා කොක්ලකෑමකට සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව කාලයක් බන්ධනාගාර ගතව සිට ඇත. දිණුක නැමැති පාතාල ප්‍රබලයාගේ කල්ලියේ සාමජිකයන් සමඟ ඔහු සම්බන්ධකම් ගොඩනඟාගෙන ඇත්තේ එහිදීය. බන්ධනාගාරයෙන් ඇප ලබා නිදහස ලැබීමෙන් පසු ඔහු සංජීව ධනුෂ්ක නොහොත් මන්නාව වෙඩි තබා ඝාතනය කර පොලීසියට කට්ටි පනිමින් මෙතෙක් කාලයක් සැඟ වී සිට ඇත. ඔහුව නවගමුවට කැඳවා වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බව පොලීසිය සැක කරයි. එම ඝාතනය මන්නා ඝාතනයට පලිගැනීමක් ලෙස සිදුවී ද, නැති නම් ඔහු පොලීසියට භාරවීමට සූදානමින් සිටි බැවින් එය වැළැක්වීමට ඔහුගේම සඟයන් කළේදැයි සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

නව අදහස දක්වන්න