අයවැය දෙවනවර කියවීම සම්මතයි - UPDATE | දිනමිණ

අයවැය දෙවනවර කියවීම සම්මතයි - UPDATE

අයවැය දෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් අද සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 119ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි.

කෙසේ වෙතත් හෙට දිනයේ විවාදයට ගැනෙන ජනාධිපති වැය ශීර්ෂය සඳහා පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 


අය-වැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 43කින් සම්මතයි

එක්සත් ජාතික පෙරමුණු රජය 2019 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අය-වැයේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 43කින් පාර්ලිමේන්තුවේ දී ඊයේ(12) සම්මත විය. අය-වැයට පක්ෂව ඡන්ද 119ක්ද විපක්ෂව ඡන්ද 76ක්ද ලැබුණු අතර එක්සත් ජාතික පෙරමුණේ සහ ද්‍රවිඩ ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගම් තොන්ඩමන් හා මුත්තු සිවලිංගම් යන මන්ත්‍රීවරු අය-වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අය-වැය සඳහා විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කළ අතර ඒ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුසිල් ප්‍රේමජයන්ත්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, නිශාන්ත මුතුහෙට්ටිගම, ශ්‍රියාණි විජේවික්‍රම, චන්දිම වීරක්කොඩි මහතා වැනි පිරිසක් ද වූහ. මූලාසනය විසින් ඡන්ද විමසීම නිවේදනය කළ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා බෙදීමක් ඉල්ලා සිටියේය. අය-වැය දෙවනවර කියැවීමේ ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ දී දයාසිරි ජයසේකර, ඩග්ලස් දේවානන්ද, වීර කුමාර දිසානායක, අතුරලියේ රතන හිමි, නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම, තිලංග සුමතිපාල, මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්ථාෆා, රංජිත් සියඹලාපිටිය, එස් බී දිසානායක, ශාන්ත බණ්ඩාර සහ අංගජන් රාමනාදන් යන විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සභාවේ රැඳී නොසිටියහ.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට 73 වැනි අය-වැය ලේඛනය මෙය වන අතර, දෙවැනි වර කියැවීමේ විවාදය පසුගිය 06 වැනිදා ආරම්භ විය. පුරා දින හයක් පැවැති එම දෙවැනි වර කියැවීමේ විවාදය අවසන් කරමින් ඊයේ(05) සවස 5.45ට ඡන්ද විමසීම ආරම්භ කෙරිණි.

අය-වැයෙන් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති වැය ශීර්ෂ පිළිබඳ විවාද කෙරෙන අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය අද(13) ආරම්භ වන අතර එය අප්‍රේල් 05 වැනිදා දක්වා දින 19ක් පැවැත්වේ.ලබන 05 දා අය-වැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසන අවස්ථාවට පෙර අය වැයට තවත් සාධනීය සංශෝධන ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) පැවසීය.

අය වැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රජයේ සේවකයින්ට හා විශ්‍රාමික රජයේ සේවකයින්ට ලබාදුන් තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රය අනුව වාහන ගෙන්වීමේ අවස්ථාව මැයි මස 01 දින සිට යළි ලබාදෙන බව ද මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

වාහන ආනයනය කිරීමෙන් දේශීය ආර්ථිකයට හා රුපියල අවප්‍රමාණය වීම මත හා විදේශීයව මුදල් ඇදීයාම කරුණු සලකා බලා යම් තීරණයක් රජය ගත්තද වත්මන් පාලනය යටතේ වැඩිම පුද්ගලික වාහන ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.කෘෂිකර්මයට රුපියල් බිලියන 87ක් වෙන්කළ රජය ගොවියා සුරකිමින් රන් අස්වනු ණය යෝජනා ක්‍රමය ගොවි නවෝදා වැනි සහන තුළින් පෙර නොවූ විරූ සහන ලබාදුන් බවද පැවසීය.

අය වැය පිළිබඳ පුහු විවේචන එල්ල කරන විපක්ෂයේ පුද්ගලයින් සම්පූර්ණ අය වැය කියවා පෙර අය වැය හා සං‍සන්දනය කර විවේචන එල්ල කළ යුතු බවද පැවසූ ඇමැතිවරයා කුඩා දරුවගේ සිට වැඩිහිටියා දක්වා වූ සියලු අංශ වෙත සහන ලබාදී ඇති බවද පෙන්වා දුන්නේය.

අප්‍රේල් 05වැනිදා පස්වරු 5.00ට අය-වැය තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

ස්වර්ණා විජේ‍කෝන්, රෝෂන් තුෂාර සහ චමීර ඇල්ලදෙණිය


නව අදහස දක්වන්න