තේ ඉඩම් සංවර්ධනයට පාලු පැළ සිටුවීම අරඹයි වසර 2019 පාලු පැළ සිටුවීමේ වසර වෙයි පැළයකට රු. 100ක් | දිනමිණ

තේ ඉඩම් සංවර්ධනයට පාලු පැළ සිටුවීම අරඹයි වසර 2019 පාලු පැළ සිටුවීමේ වසර වෙයි පැළයකට රු. 100ක්

කරාපිටිය සමූහ - එස්. ලොකුකරවිට

තේ ඉඩම් සංවර්ධනය කිරීම අරමුණු කරගෙන 2019 වර්ෂයේ දී පාලු පැළ සිටුවීම සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට සැලසුම්කර ඇතැයි කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු ඊ.ආර්.එස්.ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව 2019 වර්ෂය පාලු සිටුවීමේ වර්ෂය ලෙස නම්කර ඇති අතර පාලු පැළ සිටුවීම හා නඩත්තු කිරීම කෙරෙහි වගාකරුවන් උනන්දු කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ. මෙම ඉලක්කය සපුරාගැනීම අරමුණු කරගෙන 2019 වර්ෂය සඳහා අධිකාරිය විශේෂ වැඩසටහන් සැලසුම් කර ඇතැයි සඳහන් වේ.

ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ වගාකරුවන් දිරිමත් කිරීම සඳහා පාලු පැලයකට ලබාදෙන ආධාර මුදල සිව් ගුණයකින් වැඩිකිරීමට ද තීරණය කර ඇති බවයි. එනම් දැනට ලබාදෙන රුපියල් 25ක මුදල වෙනුවට පාලු පැළයකට රුපියල් 100ක මුදලක් ගෙවීමට කුඩා තේවතු සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

ගුණවර්ධන මහතා මෙම තොරතුරු පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී අදහස් දක්වමිනි. ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පසුගිය දා රැස්විය.

නව අදහස දක්වන්න