දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි | දිනමිණ

දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි

මහරගම පොලිස් වසමේ ඇරැව්වල , පන්නිපිටිය ලිපිනයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී දියමන්තියක් සහ මැණික් ගල් කිහිපයක් කොල්ලකෑමේ සිද්ධියට අදාලව සිදුකළ වැටලීමකදී ඊට සම්බන්ධ තවත් සැකකරුවෙකු සමඟ මෝටර් රථයක්ද අද (13) අත්අඩංගුවට ගෙන ඇත.
 
පසුගිය වසරේ නොවැම්බර් 05වනදා මෙම කොල්ලය සිදුව තිබුණි.
 
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දෙල්කඳ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. 
 
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 40ක් වූ අංක 35/15, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයේ පදිංචි වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් ‘පැඟිරිවත්තේ සුද්දා‘ නැමැති අයෙකි.
 
සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු වලදී අනාවරණය කරගත් කරුණු අනුව මෙම දියමන්තිය හා මැණික් කොල්ලය සඳහා භාවිත කළ මෝටර් රථය පිළියන්දල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
 
සැකකරු හෙට (14) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 

නව අදහස දක්වන්න