මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සෙනසුරාදාත් වැඩ | දිනමිණ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සෙනසුරාදාත් වැඩ

ප්‍රවාහන ක්ෂේත්‍රයේදී මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය දියත් කරන නව වැඩසටහන් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දෙයි. 
 
එහි පළමු අදියර ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙනි. 
 
ඒ අනුව සතියේ දිනවලදී මෙන් මින් ඉදිරියට සෙනසුරාදා දිනයන්හිදීද රියදුරු බලපත්‍ර සේවා එම කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව මහජනතාවට උදා වේ. 
 
රියදුරු බලපත්‍ර අලුත්කර ගැනීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර ඉල්ලුම් පත්‍ර භාර ගැනීම සහ රියදුරු බලපත්‍ර පරීක්ෂණ වැනි සේවාවන් ඊට අයත් වේ. 
 
මීට සමගාමීව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලයද ලබන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදිනකම විවෘතව තැබෙනු ඇත. එම කාර්යාවලින් සතියේ දිනවලදී‍ මෙන් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම සිදු කෙරෙනු ඇත.
 
“මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය කියන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ තියෙන තවත් වැදගත් ආයතන දෙකක්. මේ ආයතන දෙකෙන් සේවාව ලබා ගැනීමට දෛනිකව දසදහස් ගණනින් මහජනතාව පැමිණෙනවා. සමහර වෙලාවට තියෙන තදබදය නිසා ඇතැම් අයට තමන්ගේ කාර්යය සිතන පරිදි ඉටු කර ගැනීමේ අවස්ථාව හිමි වෙන්නේ නැහැ. තවත් දවසක් එන්න සිදු වෙනවා. මේ තත්ත්වයන් සියල්ලම සැලකිල්ලට ගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර කාර්යාලයත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් සෙනසුරාදා දිනයේත් විවෘත කිරීමට අමාත්‍යාංශයක් හැටියට අපි තීරණය කළා. මෙයින් වැඩිම වාසිය ලැබෙන්නේ රජයේ සේවකයින්ට. ඔවුන්ට සතියේ දිනවලට මේ ආයතනවලින් සේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන්න බොහෝම අපහසුයි. නමුත් දැන් එම අපහසුතාව ඉවත් වෙනවා. සතියේ දිනවල රාජකාරී බහුල අයට දැන් සෙනසුරාදා දින පැමිණ රියදුරු බලපත්‍ර සේවා වගේම රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය සහතික ලබාගැනීමේ හැකියාවත් උදා වනවා....”යි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද(13) පැවැති සාකච්ඡාවකදී පැවසීය. 
 
මේ මස 23වැනිදා සිට එම සෙනසුරාදා දින සේවාව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලද ක්‍රියාත්මක කෙරේ.

නව අදහස දක්වන්න