ශ්‍රී ලංකා පිතිකරුවෝ සිවුවැනි තරගයත් පූජා කරති | දිනමිණ

ශ්‍රී ලංකා පිතිකරුවෝ සිවුවැනි තරගයත් පූජා කරති

ඉසුරු උදාන හැර සෙසු පිතිකරුවන් දැක්වු දුර්වල ක්‍රීඩා විශාලය හේතුවෙන් පෝර්ට් එලිසබෙත් හිදී ඊයේ පැවැති සිවුවැනි එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 6ක පරාජයක් විඳ ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය.

මේ ජය සමගින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 4-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඇරැයුම් කරමින් ශ්‍රී ලංකා ඉනිම ඕවර 39.2කදී ලකුණු 189කට සීමාකළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ පන්දු 103ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 4ක් පමණක් අහිමිකර ගනිමිනි.

යළිත් දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් ක්වින්ටන් ඩි කොක් පන්දු 57කදී හතරේ පහර 6ක් සමගින් ලකුනු 51ක් රැස් කිරීමට සමත් විය. ඔහු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 110ක් විය. පළමු කඩුල්ල ලෙස රීසා හෙන්ඩ්‍රික්ස් (8) සිල්වාගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ලකුණු 29ක් ලබාසිටි ඒඩ්න් මාක්‍රම් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට කසුන් රාජිතට හැකිවිය. ඩි කොක් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 33ක් සහ ඩේවිඩ් මිලර් සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් ගොඩනැගූ නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 43ක් ලබාසිටියදී දැවී ගියේ සිල්වාගේ පන්දුවක් හමුවේ ප්‍රියමාල් පෙරේරා උඩ පන්දුවක් රැක ගැනීමෙනි. අනතුරුව පිටියේ එක්වූ ඩේවිඩ් මිලර් සහ ජේ.පී.ඩුමිනි ලකුණු 46ක නොබිදුණු සබඳතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ. මිලර් ලකුණු 25ක් සහ ඩුමින් පන්දු 12කින් ලකුණු 31ක් රැස් කළහ.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පිට පිට දැවී යද්දී 8 වැනි කඩුල්ලට පිටියට පිවිසි ඉසුරු උදාන ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කළේ උදාසීනව සිටි ක්‍රීඩා ලෝලින්ද කුලුමත් කරමිනි. කසුන් රාජිත සමග එක්ව අවසන් කඩුල්ලට වාර්තාගත සබඳතාවක් පිහිටුවමින් ඔහු ශ්‍රී ලංකා ලකුණු පුවරුව 189 දක්වා ඉදිරියට ගෙන ගියේය. පන්දු 34කදී ලකුණු 58කින් එම සබඳතාව ගොඩනැගුණු අතර එම ලකුණු සියල්ලම උදානගේ පිත්තෙන් වාර්තාවීම කැපී පෙනුණි. පන්දු 9කට මුහුණදුන් රාජිතට ලකුණු ලබාගැනීමට නොහැකි විය. මේ සබඳතාව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී 10 වැනි කඩුල්ලට පිහිටවු ඉහළම සබඳතාව ලෙසද වාර්තා පොතට එක්විය. මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 1999 වසරේ බුලවායෝහිදී ලකුණු 51ක සබඳතාවක් පිහිටුවමින් රසන් ආනෝල්ඩ් සහ සජීව ද සිල්වාය. ශ්‍රී ලංකා පිලේ කඩුලු 3ක් බිඳ දමිමින් ඉනිමට බරපතළම හානිය සිදුකළ ඇන්රිච් නෝජේ යැවු පිට පිට ඕවර 2කදී ලකුණු 38ක් උදුරා ගැනීමට සමත්වූ උදාන පන්දු 43කින් සිය මංගල අර්ධ ශතකය රැස් කළේය. ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඇන්ඩිල් පෙලුක්වායෝගේ පන්දුවක් හමුවේ ඩු ප්ලෙසි උඩ පන්දුවක් රැක ගැනීමෙන් ඔහු දැවී යනවිට ලකුණු 78ක් රැස්කර තිබුණේ පන්දු 57ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය.

මුළු ලකුණු 13දී ඉනිමේ පළමු කඩුල්ල ලෙස උපුල් තරංග (4) දවා ගැනීමට ඩේල් ස්ටෙන් සමත්වූ අතර තවත් ලකුණු 6ක් එක්වෙද්දී ලකුණු ලබාගැනීමට පෙර ඕෂද ප්‍රනාන්දුගේ ඉනිම පන්දු 4කට සීමා කිරීමට ලුන්ගි න්ගිඩිට හැකිවිය.

ඉන් අනතුරුව පන්දුව අතට ගත් ඇන්රිච් නෝජේ ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට ඇද දැමුවේ ඔහුගේ දෙවැනි ඕවරයේදී (ඉනිමේ 11 ඕවරය) පිට පිට පන්දු 2කින් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හා ප්‍රියමාල් පෙරේරා (0) පිටියෙන් ඉවත් කරමිනි. අවිශ්ක පන්දු 27කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 29ක් රැස්කළ අතර ප්‍රියමාල්ගේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉනිම එක් පන්දුවකට සීමා විය. කමිඳු මෙන්ඩිස් (9) ද නෝජේගේ ගොදුරක් බවට පත්වූ අතර පන්දු 42කින් ලකුණු 21ක් ලබාසිටි කුසල් මෙන්ඩිස් ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 71ක් විය. ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 26ක් එක්කිරීමෙන් අනතුරුව පන්දු යැවූ තබ්රේස් ශම්සි අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 12ක් ලබාසිටි තිසර දැවී ගියේය. ධනංජය ද සිල්වා සමගින් ලකුණු 26ක් එක්කළ ඉසුරු උදානට නායක ලසිත් මාලිංග සමග එක්කළ හැකිවුයේ ලකුණු 8ක් පමණි. සිල්වා ලකුණු 22කට දවා ගැනීමට ජේ.පී. ඩුමිනි සමත්වූ අතර මාලිංග ලකුණු ලබාගැනීමට පෙර දුවද්දි දැවී යෑමට හසුවිය.

 

නව අදහස දක්වන්න