ශ්‍රීලනිප-පොදුජන පෙරමුණු නිල සාකච්ඡා අද | දිනමිණ

ශ්‍රීලනිප-පොදුජන පෙරමුණු නිල සාකච්ඡා අද

ධනුෂ්ක ගොඩකුඹුර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡා අද(14) ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම සාකච්ඡා සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, ආචාර්ය ජගත් වැල්ලවත්ත සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයකු වශයෙන් ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහභාගී වන බවත් රාජපක්ෂ මහතා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බත්තරමුල්ල නෙළුම් මාවත මූලස්ථානයේ දී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙම සාකච්ඡා සඳහා පොදුජන පෙරමුණේ පාර්ශ්වය විවෘත මනසකින් යුක්තව සහභාගී වන බව පැවසූ රාජපක්ෂ මහතා දින වකවානු හෝ වෙනත් කිසිම කොන්දේසියක් තම පාර්ශ්වයෙන් ඉදිරිපත් නොකෙරෙන බවත් පැවසීය.

සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් තීන්දු කරනු ඇති බවත් ඔහු රාජපක්ෂවරයකු ද නැති ද යන කාරණය තවම කිව නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයට තමා සූදානම් යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව හමුවේ ප්‍රකාශ කිරීම තමා ද අනුමත කරන බව පැවසූ රාජපක්ෂ මහතා එසේ වූ විට ජනතාවට ද තීන්දුක් ගැනීම පහසු බවත් පෙන්වා දුන්නේය.

සිය පක්ෂයෙන් ඉදිරිපත් වීමට අදහස් කරන ඕනෑම අයකුට පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමට සිදුවන බවත් පක්ෂයේ ආරම්භක යුගයේ මෙන් නොව වර්තමානයේ පක්ෂ සාමාජිකත්වය ලබාගැනීම තරමක් අසීරු කරුණක් බවත් රාජපක්ෂ මහතා කීවේය.

වර්තමාන පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් සැකසීමට අයිතියක් ඇතැයි තමා විශ්වාස නොකරන බව පැවසූ රාජපක්ෂ මහතා නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුත්තේ ඒ සඳහා වන ජනවරමක් ලැබූ පාර්ලිමේන්තුවක් විසින් බවත් පෙන්වා දුන්නේය.

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වන සිය යෝජනා ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරයා හමුවට ඉදිරිපත් කරන බවත් ඒ අනුව ජනමත විචාරණ කිහිපයක් මඟින් නව ව්‍යවස්ථාවක් සැකසෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එම නව ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය පමණක් නොව මැතිවරණ ක්‍රමය මෙන්ම බලය බෙදීම වැනි කාරණාවලට ද විසැඳුම් දිය යුතු බවත් එම ඕනෑම යෝජනාවක් අනිවාර්යෙන්ම ජනතාවගෙන් අනුමත විය යුතු බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.


නව අදහස දක්වන්න