යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසාන අදියරේ | දිනමිණ

යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසාන අදියරේ

නිමල් විජේසිංහ අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ

යාන් ඔය ජලාශය ලබන සැප්තැම්බර් මැද බාගයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පවරා දීමට නියමිතය. මේ වන විට ජලාශ බැම්ම ඇතුළු ප්‍රධාන වාරිමාර්ග නිර්මිත සියල්ලේ ඉදිකිරීම් වැඩ අවසාන අදියරේ පවති.

කිලෝමීටර 3.6ක් දිග ප්‍රධාන වේලලේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කර යාන්ඔය ජලාශයට ජලය පිරවීමේ කටයුතු ද මේ වනවිට නිමාවෙමින් පවතින බව ජලාශ යෝජනා ක්‍රමයේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජි. පාලිත වික්‍රමතිලක මහතා පැවසීය.

ජලාශ වාපෘතිය සැප්තැම්බර් මැද දී විවෘත කිරීමත් සමඟ වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ග ඔස්සේ අක්කර 30000කට පමණ යල මහ ඇතුළු මැද කන්නයක් සඳහා වසර පුරා වාරිජලය සපයා දීමට හැකි වෙයි.

ඊට පෙර ජලාශයේ මුල්ම ජල මුරයක් 2019 යල කන්නයේ දැනට 90%ක් වැඩ නිම වී ඇති දකුණු ඉවුර ඇළ මාර්ගය ඔස්සේ ඇළ දෙපස හමුවන ප්‍රථම වැව වන මල්පෝරුව වැට ලබා දී අක්කර 280 ක වී වගා කිරීම සඳහා ගොවිජනතාවට අවස්ථාව ලබා දී ඇත. ඇළ මාර්ගයේ පහළ කජුවත්ත ප්‍රෙද්ශයේ තවත් වැව් 6ක් පිලිසකර කෙරෙන අතර ජලාශය විවෘත කිරීමෙන් පසු මේ සයලු වැව් පිරවීමට හැකිය.

කෙසේ වෙතත් වැව් යටතේ විකල්ප මඩ ඉඩම් ලබාදීම ප්‍රමාද වී ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉඩම් නිදහස් කරනතුරු බලා සිටීමට සිදු වී තිබේ. එමෙන්ම යාන් ඔය ජලාශයේ මඩ හොරොව්ව පසුගිය 5 දා විවෘත කොට එයින් යාන් ඔය පහළ කලාපයේ වෙසෙන වනසතුන් ඇතුළු පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා යම් ජල පරිමාවක් නිකුත් කිරීමට මේ වන විට කටයුතු යොදා තිබේ. එම ජලය අඛණ්ඩව නිදහස් කරන බවද වික්‍රමතිලක මහතා සඳහන් කළේය.

මේ අතර යාන් ඔය ජලාශ වම් ඉවුරු ප්‍රධාන ඇළ මාර්ගයේ ඉදි කිරීම් වැඩ මේවන විට එහි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බාර චීන කැම්සී ඉංජිනේරු සමාගම නවතා දමා තිබේ. ඇළ මාර්ගය ඉදි කිරීම සඳහා පවරාගෙන ඇති ඉඩම් කැබලි 350ක් සඳහා වන්දි ගෙවීම සිදු නොකිරීමත්, තමන්ගේ ජීවනෝපාය සඳහා විකල්ප මඩ ඉඩම් ලබා දීමට බලධාරීන් පියවර නොගැනීමත් නිසා ප්‍රෙද්ශවාසි ජනතාව ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරගෙන යාමට දිගින් දිගටම බාධා සිදු කිරීම නිසා තාවකාලිකව තම වැඩ බිම් වසා දැමූ බව කැම්සි සමාගමේ නියෝජ්‍ය ව්‍යාපෘති කළමනාකර බිමල් සොයිසා මහතා කීය.

ගොවීන්ට රජය මගින් අදාළ විසඳුම් ලබාදුන් වහාම ඇළ මාර්ගයේ ඉදිකිරීම් වැඩ යළි ආරම්භ කරන බවද ඔහු පැවසීය. මෙම ඇළ ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 6000ක් අයෝජනය කරයි. වම් ඉවුර ප්‍රධාන ඇළ මාර්ගය ව්‍යාපෘතිය ඉතා වැදගත් වන අතර පරම්පරා ගණනාවක් මුළුල්ලේ ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින පදවිය ජනතාවට යාන් ඔය ජලය ලබා දීමට මෙම ඇළ මාර්ගය ඉදිකරයි. එහි දිග කි.මී. 20කි.

ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂක පාලිත වික්‍රමතිලක මහතා සඳහන් කළේ ජලාශයට යට වී ඇති ඉඩම්වලට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 5000ක් අවශ්‍ය බව ඇස්තමේන්තු කොට ඇති බවයි. මේ දක්වා වන්දි වශයෙන් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් පමණි.

තක්සේරු දෙපාර්තමේන්තුව මගින් වන්දි ලිපිගොනු කඩිනමින් ව්‍යාපෘතියට ආපසු එවන්නේ නම් වහාම ගොවීන්ට අදාළ වන්දි මුදල් ගෙවීම්ට පියවර ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. මීට අමතරව අහිමි කන්න වන්දි ගෙවීම සිදු කරන අතර 2018/2019 වන්දි ගෙවීම කඩිනම් කිරීමට පියවර ගන්නා බවද වික්‍රමතිලක මහතා පැවසීය.

පසුගිය කන්නය සඳහා රුපියල් මිලියන 54ක මුදලක් වන්දි ලෙස ගොවීන්ට ගෙවා තිබේ. අක්කරයකට රුපියල් 30,000ක් බැගින් අහිමි කන්න වන්දි ගෙවයි. එමෙන්ම රජයට පවරා ගත් ඉඩම් වෙනුවෙන් ඉඩම් අයිතිකරුවන්ට මාසික යැපීම් දීමනාවක් වශයෙන් පවුල් 600කට මාසිකව රුපියල් 8000ක උපරිම මුදලක් ගෙවීම සඳහා ද කටයුතු යොදා අතැයි වික්‍රමතිලක මහතා වැඩි දුරටත් අවධාරණය කලේය.

ලබන 20වෙනි දා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාන්ඔය ජලාශ ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක යෙදීමට නියමිතය. එහිදී ව්‍යාපෘතියට අදාළ මේ දක්වා නොවිසඳී ඇති ප්‍රශ්නවලට කඩිනම් පිළියම් ලබාදීමට හැකිවනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් කීය.

නව අදහස දක්වන්න