පාසල් කෙළිබිමේ විශිෂ්ටයන් අගයන වර්ණ ප්‍රදානෝත්සවය අප්‍රේල් 4දා | දිනමිණ

පාසල් කෙළිබිමේ විශිෂ්ටයන් අගයන වර්ණ ප්‍රදානෝත්සවය අප්‍රේල් 4දා

ප්‍රින්ස් ගුණසේකර
නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්ධුල එගොඩගේ හා මයිලෝ වෙළද කළමනාකරු මොහොමඩ් අලී යන මහත්වරු අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා අනුග්‍රාහක චෙක්පත පිරිනැමූ අයුරු. ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාවේ ලේකම් ක්‍රිෂාන් දුමින්ද, නියෝජ්‍ය සභාපති උපාලී අමරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුල විජේවර්ධන, නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජීව වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාවේ භාණ්ඩාගාරික කාන්තසිරි මීගමුවගේ යන මහත්වරු ද සිටිති.

පාසල් කෙළිබිමේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාර්ෂිකව ඇගැයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා මයිලෝ වර්ණ ප්‍රදානෝත්සවය අප්‍රේල් මස 4වැනිදා බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි. වසර 2016 හා 2017 යන වසර දෙකක දක්ෂයින් විශාල පිරිසක් සම්මාන ලැබීමට සුදුසුකම් ලබා ඇති හෙයින් එදින අදියර දෙකක් යටතේ මෙම මහෝත්සවය සංවිධානය කොට ඇත. එදින පෙරවරු 8.30ට රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2016 දක්ෂයින්ට හා පස්වරු 2ට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 දක්ෂයින්ට වර්ණ හා කුසලතා ප්‍රදානය කිරීමට සැලසුම් කොට ඇත.

පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතියට සුවිශේෂී දායකත්වයක් සපයනු ලබන නෙස්ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් මෙවරත් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය පැවැත්වෙන අතර 2016 වසරේ ක්‍රීඩා 30ක් යටතේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 519ක් හා 2017 වසරේ 497ක් වර්ණ හා කුසලතා ලබාගැනීමට සුදුසුකම් ලබා සිටිති.

පාසල් ක්‍රීඩා සංගම්වල යෝජනා අනුව පිළිගත් විනිශ්චය මණ්ඩලයක පරීක්ෂණයට ලක්වූ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13ක් සහ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10ක් ද විශේෂ කුසලතා සම්මානයට පාත්‍රවීම සදහා දැනටමත් නිර්දේශ කොට ඇත.

දරුවන් වසර පුරාම ක්‍රීඩාවේ නොයොදවා පුහුණුවට අවශ්‍ය කාලය ලබාදීම වැදගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා මෙහිදී පැවැසීය.

“පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සමබර කරමින් නිරෝගිමත් පරපුරක් බිහිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විශාල මෙහෙයක් සිදුකරනවා. දක්ෂ දරුවන් ඉහළින් ඔසවා තැබීමේ පරමාර්ථය ඇතිව මේ වර්ණ ප්‍රදානෝත්සවය වාර්ෂිකව පැවැත්වීමට නෙස්ලේ ලංකා සමාගම ලබාදෙන සහයෝගයට ස්තූතිය පුදකළ යුතුයි“ ජයවීර මහතා සදහන් කළේය.

මෙවර පාසල් ක්‍රීඩා මයිලෝ වර්ණ ප්‍රදානෝත්සවයට නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්ධුල එගොඩගේ හා මයිලෝ වෙළෙඳ කළමනාකරු මොහොමඩ් අලී යන මහත්වරු විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාව සහ නෙස්ලේ ලංකා සමාගමේ මෙහෙයවීමෙන් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය පැවැත්වේ.

වසර 2016

නිර්දේශිත නැගී එන ක්‍රීඩකයා: අකලංක පීරිස් (පිහිනුම්) - සාන්ත පීතර් විදුහල, සන්තූෂ් වීරසිංහ (මලල ක්‍රීඩා) - සාන්ත බෙනඩික්ට් විදුහල, සසිදු කරුණාතිලක ( බැඩිමින්ටන්) - කොළඹ නාලන්දා විදුහල

නිර්දේශිත නැගී එන ක්‍රීඩිකාව : චමත්සරා දිව්‍යාංජලී (ටේබල් ටෙනිස්) - විශාඛා විදුහල, රමුදු සමරකෝන් (පිහිනුම්) - විශාඛා විදුහල, සෙයිනබ් මොහොමඩ් සව්මි (චෙස්) - උසස් බාලිකා විදුහල මහනුවර

නිර්දේශිත දක්ෂතම ක්‍රීඩකයා: චරිත් අසලංක (ක්‍රිකට්) - රිච්මන්ඩ් විදුහල ගාල්ල, එල්. එස්. පී. ධනංජය (මලල ක්‍රීඩා) - වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල, ඉමේෂ් උදයංග (ටේබල් ටෙනිස්) - මහනුවර විද්‍යාර්ථ විදුහල

නිර්දේශිත දක්ෂතම ක්‍රීඩිකාව: ඔමායා උදයාංගනී (මලල ක්‍රීඩා) - වැලිමඩ මධ්‍ය මහා විදුහල, මුතුමාලී ප්‍රියදර්ශනී (ටේබල් ටෙනිස්) - අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල

වසර 2017

නිර්දේශිත නැගී එන ක්‍රීඩකයා: අකලංක පීරිස් (පිහිනුම්) - සාන්ත පීතර් විදුහල, එස්. ඩී. කාරියවසම් (මලල ක්‍රීඩා) - සාන්ත ජෝෂප් විදුහල, සන්තූෂ් වීරසිංහ (මලල ක්‍රීඩා) - සාන්ත බෙනඩික්ට් විදුහල,

නිර්දේශිත නැගී එන ක්‍රීඩිකාව : හසිනි අම්බලන්ගොඩගේ ( බැඩිමින්ටන්) - විශාඛා විදුහල, සයුනි ජයවීර (චෙස්) - අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, අනීකා සෙනවිරත්න (ටෙනිස්) - කාන්තා විදුහල, කවීන්ද්‍යා සත්සරණී (මලල ක්‍රීඩා) - අඹගමුව මධ්‍ය මහා විදුහල

නිර්දේශිත දක්ෂතම ක්‍රීඩකයා: සසිදු කරුණාතිලක ( බැඩිමින්ටන්) - කොළඹ නාලන්දා විදුහල, මිනුල් දොලවීර (චෙස්) - කොළඹ රාජකීය විදුහල

නිර්දේශිත දක්ෂතම ක්‍රීඩිකාව: සචිනි තාරුකා දිව්‍යාංජලී (මලල ක්‍රීඩා) - වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, විනෝලී කළුආරච්චි (පිහිනුම්) - සිරිමාවෝ බණ්ඩාරණායක

නව අදහස දක්වන්න