විස්සයි20 පිලට සධීර-වැන්ඩර්සි කැඳවයි | දිනමිණ

විස්සයි20 පිලට සධීර-වැන්ඩර්සි කැඳවයි

එක්දින තරගාවලියෙන් අනතුරුව දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට එක්දින කණ්ඩායමට ක්‍රීඩා නොකළ සදීර සමරවික්‍රම සහ ජෙෆ්රි වැන්ඩර්සීව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතුව ප්‍රකාශයට පත් කරන ලද ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව බලා පැමිණි වේග පන්දු යවන සුරංග ලක්මාල්ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක් වේ.

කණ්ඩායමට නම් කරන ලද පා දඟ පන්දු යවන වැන්ඩර්සි අවසන් වරට විස්සයි/20 තරගයකට ක්‍රීඩා කොට ඇත්තේ ඉකුත් 2016 වසරේ ඉන්දියාව සමඟ පැවැති ලෝක කුසලාන තරගාවලියේදීය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු වැන්ඩර්සි එකම විස්සයි/20 තරගයකටවත් ක්‍රීඩා කර නොමැත.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර, ක්‍රීඩකයන් හෝටල් කාමරය වෙත පැමිණිය යුතු වේලාවට නොපැමිණීම නිසා වැන්ඩර්සිට එරෙහිව වසරක අත්හිටුවූ තරග තහනමක් පැනවීමට ඉකුත් වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගනු ලැබීය.

දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ලබන 19 වැනිදා කේප්ටවුන්හි පැවැත්වෙන තරගයෙන් ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා විස්සයි20 පිල - ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සි, ලක්ෂාන් සඳකැන්.

චමිල කරවිට

නව අදහස දක්වන්න