ක්ලිෆර්ඩ් කුසලාන රග්බි පිටියෙන් මහනුවර කණ්ඩායම ඉවත් වෙයි | දිනමිණ

ක්ලිෆර්ඩ් කුසලාන රග්බි පිටියෙන් මහනුවර කණ්ඩායම ඉවත් වෙයි

ෆවුස් මොහොමඩ්

වසර සියයකට වඩා පැරැණි කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ වැඩිම වාර ගණනක් කුසලානය දිනූ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියෙන් ඉවත්වී ඇත. පසුගිය වසරේ කුසලානය දිනාගනිමින් ක්ලිෆර්ඩ් කුසලානය 21 වතාවක් අත්පත් කරගත් මෙවර ලීග් ශූරතාව ද ජයගත් මහනුවර ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ හෙට (16) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමග පල්ලෙකැලේ පිටියේ පැවැත්වීමට නියමිත තරගය නිත්තවෙල පැවැත්වීමට කළ ඉල්ලීම ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

පල්ලෙකැලේ පිටියේදී තරගය පැවැත්වීමෙන් ක්‍රීඩාලෝලින්ගේ සහභාගීත්වයේ සැළකිය යුතු අඩුවක් සිදුවනු ඇතැයි ද, නිත්තවෙල පිටියේදී තරගය පැවැත්වීමෙන් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඊට එක්රොක් වනු ඇතැයි ද කියමින් මහනුවර ක්‍රීඩා සමාජය මේ ඉල්ලීම කර තිබිණ.

කෙසේවුවත් තරග කාලසටහන වෙනස් කිරිමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රග්බි ආයතනය මහනුවර ක්‍රීඩා සමාජයට දන්වා යැවූ බව ‘දිනමිණ‘ කළ විමසුමකදී රග්බි ආයතනයේ සභාපති ලසිත ගුණරත්න මහතා පැවැසීය.

‘පල්ලෙකැලේ හෝ නිත්තවෙල කියා වෙනසක් නෑ. ක්‍රීඩාංගණ දෙකම පිහිටා ඇත්තේ මහනුවර නගරය කේන්ද්‍ර කරමිනුයි. අනික අපි පළමු වතාවට මහනුවර නගරයේ දී ක්ලිෆර්ඩ් කුසලාන තරගයක් නොමිලේ නැරැඹීමේ පහසුව ක්‍රීඩාලෝලීන්ට ලබා දී තිබෙනවා.‘ ගුණරත්න මහතා කියා සිටියේය.

අර්ධ අවසන් පූර්ව වටයේ සිට පැවැත්වෙන තරගාවලියක් වන ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ කාලසටහනට අනුව අද (15) පොලිස් ක්‍රීඩා සමාජය සහ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන තරගයෙන් මෙවර තරගාවලිය ආරම්භ කෙරේ.

මහනුවර ක්‍රීඩා සමාජය තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් ගුවන් හමුදා කණ්ඩායමට නිතරග ජයක් හිමිවන අතර ඔවුන් අවසන් පූර්ව වටයට ක්‍රීඩා කිරීමට නියමිතය.

ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ සියලු තරග කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග මේ මස 19 සහ 21 දිනවලදිත් අවසන් මහා තරගය 24 දිනයේත් පැවැත්වීමට නියමිතය.

කෙසේ වුවත් කොළඹ තුරඟ තරග පිටිය මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක් නොවන බවත්, එය සී.එච්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජයේ සත්කාරක ක්‍රීඩාංගණය (Home Ground) වන බවටත් චෝදනා එල්ලවී තිබේ.

‘ඒක සම්පූර්ණයෙන්ම වැරදි සහගත චෝදනාවක්. කොළඹ තුරඟ තරග පිටිය කියන්නේ රජය මගින් පාලනය වන ක්‍රීඩාංගණයක් වගේම එය ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක්. ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියරේ තරගාවලිය වගේම ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදෙන සෙසු ජාත්‍යන්තර තරගත් අප පවත්වන්නේ මේ ක්‍රීඩාංගණයේදියි.‘ රග්බි සභාපතිවරයා කියා සිටියේය.

අද ඇරැඹෙන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයට පොලිස් ක්‍රීඩා සමාජය සමග සී.ආර්.පිල තරග වදින අතර හෙට සී.එච්.පිල සහ යුද හමුදා පිල අතර තරගය පැවැත්වෙයි. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගය 17 වැනිදා පැවැත්වෙයි.

නව අදහස දක්වන්න