මහින්ද අභියාචනා පෙත්සම් ඉල්ලා අස්කර ගනී | දිනමිණ

මහින්ද අභියාචනා පෙත්සම් ඉල්ලා අස්කර ගනී

නෙල්කා මැදගෙදර

තමන්ට අගමැති ධුරයෙහි කටයුතු කිරීමෙන් සහ ඇමැති ධුරවල කටයුතු කිරීම වළකමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනකු ගොනුකර තිබූ අභියාචන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ (14) ඉල්ලා අස්කර ගැනිණි.

ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ‍ඔවුන් වෙන‍ුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මෙම පෙත්සම් ඉල්ලා අස්කරගන්නා බව ප්‍රකාශ කළ අතර ඒ සඳහා අවසර ඉල්ලා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමත් එම කැබිනට් මණ්ඩලය පත්කිරීමත් අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණයේ දී ඉල්ලා අස්කර ගැනීම නිසා එම පෙත්සම් විභාගයේ දී අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයට එරෙහි මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාම අවශ්‍ය නැති බව හෙතෙම සඳහන් කෙළේය.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් 26 දින අගමැති ධුරයට පත්කිරීමත්, ඇමැති මණ්ඩලය පත්කිරීමත් අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනකු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළහ.

එම පෙත්සම සලකා බැලූ අධිකරණය එම ධුරයන්හි කටයුතු කිරීමෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම මන්ත්‍රීවරු වළක්වන අතුරු තහනම් නියෝගයක් 2018 දෙසැම්බර් මස 03 දින නිකුත් කෙළේය.

එම නියෝගයට එරෙහිව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

නව අදහස දක්වන්න