ප්‍රාථමික සෞඛ්‍ය නංවන්න පස් අවුරුදු සැලැස්මක් කඩිනමින් ක්‍රියාවට | දිනමිණ

ප්‍රාථමික සෞඛ්‍ය නංවන්න පස් අවුරුදු සැලැස්මක් කඩිනමින් ක්‍රියාවට

ඩොලර් මිලියන 200ක ලෝක බැංකු ආධාර

ඉදිරි වසර පහ ඇතුළත ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය උදෙසා ලෝක බැංකු ආධාර යටතේ කඩිනම් වැඩසටහනක් දියත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පියවර ගනු ලැබ තිබේ.

ඒ අනුව වසර 33කින් ගෙවීමට නියමිත මූල්‍යාධාරයක් වශයෙන් අමෙරිකා ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට පිරිනැමීම පිළිබඳ ගිවිසුමට පසුගිය ජනවාරි 23 දා කොළඹ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ලෝක බැංකුවේ කොළඹ කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා අතර අස්සන් තැබිණි. මෙම කඩිනම් පස් අවුරුදු වැඩසටහන වසර 2023 දී අදියර කිහිපයකින් අවසන් කිරීමට නියමිතව තිබේ. එක් එක් අදියරෙහි සාර්ථකත්වය සලකා බලමින් වසර පහට අදාළ සම්පූර්ණ ණය මුදල පිරිනැමීමට ලෝක බැංකුව පියවර ගනු ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා දිනමිණට පැවැසීය.

මේ වන විට 2018 වසර සඳහා ඉලක්ක කළ සෞඛ්‍ය වැඩසටහන් සාර්ථක ලෙස අවසන් කර තිබේ. ඒ අනුව 2018 දෙසැම්බර් මස අවසානය වන විට මෙරට කාන්තාවන් 1, 31 000ක් පමණ ගැබ්ගෙල පිළිකාව සඳහා වන පරීක්ෂණයට බඳුන් කරන ලද අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද එකී සමීක්ෂණයෙහි ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවැසීය.

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම සඳහා අමාත්‍යංශය මගින් දියත් කරන ලද වැඩසටහන් අතර බෝනොවන රෝග වළක්වා ගැනීම සඳහා වන ජාතික වැඩ සටහන ද ප්‍රමුඛස්ථානයක් ගනී. මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍ය සංරක්ෂණය සඳහා වන වැඩසටහනෙහි එක් අංගයක් ලෙස ගැබ් ගෙල පිළිකාව පිළිබඳ පරීක්ෂණ වැඩසටහන හැඳින්විය හැකි බවද වෛද්‍යවරයා පැවැසීය.

ගැබ් ගෙල පිළිකාවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පිළිකා අතරින් තුන් වැනි ස්ථානය හිමි වේ. මුඛ පිළිකාව පළවැනි හා පියයුරු පිළිකාව දෙවැනි ස්ථාන හිමිකර ගන්නා අතර වසරකට කාන්තාවෝ 900 – 1000 ක් අතර ප්‍රමාණයක් ගැබ්ගෙල පිළිකාව නිසා මරණයට පත් වෙති. බොහෝ විට පවුලක මවක මෙසේ මරණයට ගොදුරු වීමෙන් එම පවුලම බලවත් අසීරු තත්ත්වයට පත් වේ. අවුරුදු 55 – 60 අතර තවමත් වැඩකළ හැකි වයසේ පසුවන ක්‍රියාශීලී කාන්තාවන් ගැබ්ගෙල පිළිකාවෙන් මරණයට පත්වීම එම පවුලට පමණක් නොව පොදුවේ රටේ ආර්ථිකයටද අහිතකර ලෙස බලපාන්නකි. එම අවදානමෙන් කාන්තාවන් මුදා ගැනීම සඳහා සෑම කාන්තාවක්ම වයස අවුරුදු 35ට පසු ගැබ්ගෙල පිළිකාව සඳහා පරීක්ෂාවට ලක් කිරීමෙන් එම රෝගයට ගොදුරුවීම වළක්වාගත හැකි වන අතර පිළිකාව කල් තියා හඳුනා ගත්විට රෝගය උත්සන්න නොවන පරිදි ප්‍රතිකාර කළ හැකිය. ගැබ්ගෙල පිළිකාව හඳුනාගැනීම සඳහා වන පැප් පරීක්ෂාව වෙනුවට හියුමන් පඅපිලෝමා වෛරසය (HPV) ජානගතව ශරීරයෙහි ඇත්දැයි පරීක්ෂා කළ හැකි නවීන තාක්ෂණයෙන් යුතු පරීක්ෂණ යන්ත්‍රයක් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ස්ථාපිත කීරීමට නියමිතව ඇති අතර ඇති අතර මේ වන විට කළුතර රෝහලෙහි එය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරේ. ඉදිරි වසර පහ ඇතුළත සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි පරීක්ෂණ මධ්‍යස්ථාන ඇරැඹීමට යෝජිතව ඇතැයි ද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.

2019 වසර සඳහා ශ්‍රී ලංකාවට ලබාගැනීමට නියමිත ණය වාරික ලබාගැනීම සඳහා රජය මගින් සපුරාලිය යුතු තවත් නිර්ණායක තුනක් ඇතැයි ද අධ්‍යක්ෂකවරයා පවසයි. ඒවා නම් රෝහල්වල බාහිර රෝගී අංශය සංවර්ධනය කිරීම, බෝ ‍නොවන රෝග මර්දනය කිරීම හා වැඩිවන වැඩිහිටි ජනගහනයට අවශ්‍ය සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය යන කරුණු වේ. බාහිර රෝගී අංශය සංවර්ධනය කිරීමේ දී රෝගීන්ගේ මූලික තොරතුරු සහිත විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීමට පියවර ගනු ඇත. ඒ අනුව සෑම රෝගියකුටම ලියාපදිංචි අංකයක්, නම, ගම, වයස, රෝග ඉතිහාසය වැනි මූලික තොරතුරු සඳහන් රෝහල් කාඩ් පතක් ලබාදීමත් ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක් ඇසුරෙන් එම කාඩ්පත ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කෙරේ. මෙමගින් එකම රෝගියා විවිධ අවස්ථාවලදී නැවත නැවතත් රෝහලේ ලියාපදිංචිවීම වැළැක්වෙන අතර එම කාඩ්පත ළඟ තබා ගනිමින් හදිසි රෝග තත්ත්වයකදී ඕනෑම රජයේ රෝහලකට කඩිනමින් ඇතුළත් වී ප්‍රතිකාර ලබාගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතිය ඇසුරෙන් රෝගීන්ට සේවා සැපැයීම සඳහා වන නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කළුතර රෝහලේදී ඇරැඹිණි. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉදිරියේ දී සෙසු රෝහල්වලට ද මෙම ඊ හෙල්ත් කාඩ් ක්‍රමය හඳුන්වා දෙනු ලබන බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවැසීය.

තුන් වැනි නිර්ණායකය වන්නේ රෝහල්වල ඖෂධ සැපැයුම් ජාලයෙහි ක්‍රමවත් බව වර්ධනය කිරීමය. මෙරට ප්‍රධාන රෝහල්වලට ප්‍රමාණවත් තරම් ඖෂධ සපයනු ලැබුවද බොහෝ විට දුෂ්කර පළාත්වල ප්‍රාථමික රෝහල් සඳහා කලට වේලාවට ප්‍රමාණවත් තරම් ඖෂධ තොග සැපැයීමක් සිදු නොවේ. එකී අඩුව සපුරාලමින් ග්‍රාමීය රෝහල් හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවලටද ප්‍රමාණවත් තරම් ඖෂධ සැපැයීමේ ක්‍රමවේදයක් සකස් කෙරෙනු ඇත. ග්‍රාමීය රෝහලකට ප්‍රමාණවත් තරම් ඖෂධ හිඟ වූ අවස්ථාවක ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතිය හරහා තොරතුරු හුවමාරු කර ගනිමින් ළඟම පිහිටි ප්‍රධාන රෝහලකින් එම ඖෂධ ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම එහි අරමුණය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව 2017 දී සිදු කරන ලද සාරා සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් හෙළි වී ඇත්තේ ඇතැම් ප්‍රාථමික රෝහල්වල තිබිය යුතු අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයෙන් පවතින්නේ 50% ක් පමණ වන බවයි. එසේම ප්‍රධාන රෝහල්වල එම ප්‍රමාණය 100% ක්ම සම්පූර්ණ වන බවද හෙළි වී තිබේ. උක්ත ක්‍රමවේදය මගින් එවැනි අඩුපාඩු මගහරවා ගැනීමට පියවර ගන්නා බවද අධ්‍යක්ෂකවරයා පැවැසීය. 2018 වසරේදී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ හඳුනාගත් දුර්වලතා සහ ගැටලු විසඳාලීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම, සහ මාර්ගෝපදේශ සැපයීම විධිවිධාන සැලැස්වීම හා මුල්‍ය ලේඛන සකස් කිරීමද ණය මුදල ලබාදීමේ දී සැලකිල්ලට බඳුන් කෙරෙන නිර්ණායක අතර ප්‍රධාන වේ. මේ වන විට ඒ සඳහා අදාළ සමීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර ලබන අප්‍රේල් 15වැනිදා ට පෙර එම සමීක්ෂණ අවසන් කිරීම අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂකවරයා කියයි.

ප්‍රාථමික මට්ටමේ රෝහල් සංවර්ධනය සඳහා ප්‍රජා සහභාගීත්ව ක්‍රමවේදයක් හරහා සේවාලාභීන් හඳුනාගැනීමටද පියවර ගැනේ. රෝහල අවට සිටින ප්‍රතිලාභීන් ද රෝහල් ක්‍රියාවලියට දායක කරගැනීම සඳහා සේවා මිතුරු ප්‍රජාවක් හඳුනාගැනීමට ද, සේවාලාභීන්ගේ දුක් ගැනවිලි කළමනාකරණය කළ හැකි විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමටද යෝජිතය. 2019 වසර සඳහා ලැබෙන ණය මුදලින් සෑම දිස්ත්‍රික්කයකම රෝහල් සංවර්ධනය කෙරේ. 2019 වසරේ ප්‍රාදේශීය මට්ටමේ රෝහල් 50ක සේවා සැපැයීමේ හැකියාව වර්ධනය කිරීමට පියවර ගනු ඇත. ග්‍රාමීය රෝහල් සංවර්ධනය කර ඒ ඒ රෝහලට සේවා සැපයිය හැකි රෝගීන් සංඛ්‍යාව හඳුනාගෙන ඒ සංඛ්‍යාවට උසස් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපැයීම මෙහි අරමුණය.

බෝ නොවන රෝග වළක්වා ගැනීමේ වැඩසටහන යටතේ දැනට ස්ථාපිත සුව දිවි මධ්‍යස්ථාන හා සුවනාරි මධ්‍යස්ථාන මගින් ප්‍රදේශයේ සෑම පුද්ගලයකු සඳහාම මූලික සෞඛ්‍ය පරීක්ෂණ ඇතුළු සෞඛ්‍ය සේවා ලබාදීමට පියවර ගනු ලැබේ. ඒ සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම නිලධාරී සහ විදුහල්පතිවරුන්, ආගමික නායකයන් වැනි ප්‍රජා මූලිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක සහාය ලබා ගැනීමට යෝජිතය. සෑම ගමකම වෙසෙන අවුරුදු 18ට වැඩි පුද්ගලයන් ලියාපදිංචි කරගෙන ඔවුන්ගේ රුධිර පීඩන මට්ටම, ග්ලූකෝස් හා කොලෙස්ටරෝල් මට්ටම මැන බැලීම, වකුගඩු ආශ්‍රිත ‍රෝග, ශ්වසන ආබාධ හා පිළිකා වැනි බෝ නොවන රෝග සඳහා වන මූලික පරීක්ෂණ සිදු කර දුම් බීම , මත් වතුර හා මතට ඇබ්බැහි වීම වැනි අවදානම් චර්යාවන්ගෙන් මුදා ගැනීමේ වැඩපිළිවෙළක් ද දියත් කෙරෙනු ඇත. මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘති දැනටමත් කළුතර, බණ්ඩාරගම හා ගෝණදූව රෝහල්වල ක්‍රියාත්මක කෙරෙන බවද අධ්‍යක්ෂකවරයා පවසයි.

මේ වනවිට සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් රෝහල් දෙකක සුලභ බෝවන රෝග සඳහා අවදානම් සාධකපරීක්ෂා කිරීමේ ඒකක අරඹා තිබේ. ඒ අනුව කල්මුණේ මධ්‍යම කඳවුර හා ඔලුවිල් රෝහල, අම්පාර දමන හා පදියතලාව රෝහල්, කොළඹ මාලිගාවත්ත හා මොරටුව යන ප්‍රාදේශීය රෝහල්වල මෙම නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. ප්‍රාථමික රෝහල් කිහිපයක් අතර සිටින ජනගහනය කලාපවලට බෙදා පර්ෂද රෝහල් ක්‍රමයක් ඇතිකර නගරයේ ප්‍රධාන රෝහල් වෙත ඇදී එන අධික රෝගී තදබදය අවම කිරීමට ද කටයුතු කෙරේ. මෙතෙක් රසායනාගාර පහසුකම් නොතිබූ ප්‍රාදේශීය රෝහල් අතරින් තෝරාගත් රෝහල් සංඛ්‍යාවක නව රසායනාගාර ඉදිකර මූලික සෞඛ්‍ය පරීක්ෂණ සඳහා පහසුකම් පුළුල් කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ වසර 2023 වන විට දහසකට ආසන්න වන මෙරට ප්‍රාථමික රෝහල් සංඛ්‍යාවෙන් 550ක් පමණ සංවර්ධනය කර ග්‍රාමීය ජනතාවට අවශ්‍ය ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් උසස් ගුණාත්මක හා ප්‍රශස්ථ මට්ටමකින් ලබාදීම ඉලක්කය වී ඇතැයි ද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.

සටහන - සාගරිකා දිසානායක ජයසිංහ


නව අදහස දක්වන්න