රාත්‍රී තැපැල් දුම්රියවල මුදල්, ගමන් බෑග් සොරාගත් සැකකරු අත්අඩංගුවට | දිනමිණ

රාත්‍රී තැපැල් දුම්රියවල මුදල්, ගමන් බෑග් සොරාගත් සැකකරු අත්අඩංගුවට

නිමල් රාජපක්ෂ

උතුරු දුම්රිය මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රියවල මගී කාන්තාවන්ගේ මුදල් පසුම්බි ගමන් බෑග් සොරා ගන්නා සැකකරුවෙක් අනුරාධපුර නව නගරය උප දුම්රිය ස්ථානය උපදුම්රිය ස්ථානය අසලදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු කාලයක් තිස්සේ රාත්‍රී තැපැල් දුම්රියවල ගමන් ගන්නා කාන්තාවන්ගේ අත්බෑග් හා ගමන් මළු සොරා ගන්නා සැකකරුවකු බව දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසයි.

රාත්‍රී තැපැල් දුම්රියවල මුදල් පසුම්බි ගමන්බෑග් නිතර නිතර සොරා ගන්නා බවට දුම්රිය ආරක්ෂක සේවයට ලද මහජන පැමිණිලි මත දුම්රිය ආරක්ෂක අධිකාරීවරයා උතුරු පළාතේ විශේෂිත දුම්රිය ආරක්ෂක නිලධාරීන් කණ්ඩායම් මහින්තලේ හන්දිය උප දුම්රිය ස්ථානයේ හා අනුරාධපුර නව නගරය උප දුම්රිය ස්ථානයේ යොදවා ඇත. ඒ අනුව අදාළ නිලධාරීන් දැඩි සෝදිසියෙන් සිටි අවස්ථාවේ මන්නාරම සිට කොළඹ කොටුව බලා ධාවනය වු අංක 5068 දරණ රාත්‍රී තැපැල් දුම්රිය අනුරාධපුර නවනගරය උපදුම්රිය ස්ථානයේ නතර කරනවාත් සමඟ කාන්තාවක් තම අත්බෑගය සොරා ගත් බවට කෑගසා තිබේ. වහාම ක්‍රියාත්මක වු දුම්රිය ආරක්ෂක නිලධාරින් සැකකරු පසුපස හබාගොස් වෙල්යායක් දිගේ මීටර් දෙසීයක් දුර ගොස් අලුයම 01.30 ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු මේ රාත්‍රී තැපැල් දුම්රියෙන්ම පසුගිය සතියේදී තුන්වතාවක් මේ ආකාරයෙන් කාන්තාවන් සතු ගමන්බෑග් සොරා ගෙන ඇතැයිද දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුරය පොලීසිය වෙත බාරදී තිබේ.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, උතුරු පළාතේ සහකාර ආරක්ෂක අධිකාරී ආර්.එම්.පී.ඒ .රන්න මලල මහතාගේ අධීක්ෂණය යටතේ ,උප පරීක්ෂක ජයතිස්ස ,සැරයන් වරුන් වන ධනපාල,ඩී. පුෂ්පරාජා,ආරක්ෂක නිමල් සුරිය ,ජයන්ත හා රාජකරුණා මහත්වරු මේ වැටලීම සිදු කළහ.


නව අදහස දක්වන්න