කොරල්පර රැකීමට ශ්‍රී ලංකාව කැප වී සිටිනවා | දිනමිණ

කොරල්පර රැකීමට ශ්‍රී ලංකාව කැප වී සිටිනවා

ඒ මහතා මේ බව පැවසුවේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැති එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවැනි සැසිවාරයෙදි සිය විශේෂ දේශනය සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසිය.

මෙම සමුළුවට පැමිණි මා සහ මාගේ නියෝජිත කණ්ඩායම වෙත ලබාදුන් උණුසුම් සහ සත්කාරශීලී ආගන්තුක සත්කාරය වෙනුවෙන් කෙන්යා රජයට සහ එහි ජනතාවට මාගේ අවංක ස්තූතිය පළ කිරීමට මූලාරම්භයේදීම මට අවසර දෙන්න.

කෙන්යානු රජය සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මෙම සමුළුව සඳහා කරන ලද විශිෂ්ඨ සැලසුම් පිළිබඳව මම ප්‍රශංසාව පළ කරමි.

කොරල් පරවලට හානිකර වූ තිරසාර නොවන සහ විනාශකාරී ධීවර ක්‍රම අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. බටහිර සිට නැඟෙනහිර දක්වා වූ සාගර මාර්ග යා කෙරෙන මාර්ග හරහා සිදුවන දූෂණයේ අභියෝග අප හඳුනාගෙන තිබෙනවා.දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයේ ගෝලීය කැපවීමක් පෙන්නුම් කරන පැරිස් ගිවිසුමට ශ්‍රී ලංකාව ද අත්සන් තැබුවා.

2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයෙහි අප රට දෙවැනි ස්ථානයට වැඩිම අවදානමක් පවතින රට වශයෙන් නම් කිරීම හේතුවෙන්, දේශගුණය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම අපට ඉතාමත් වැදගත්ය.

2019 ජනවාරි මස සිංගප්පූරුවේ ආසියා ශාන්තිකර අැමැතිවරුන්ගේ සහ පරිසර අධිකාරියේ තුන්වැනි සංසදයෙහි දී මා විසින් ප්‍රධාන දේශනය පවත්වමින් ප්‍රකාශ කළ පරිදි සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හඳුන්වාදීම අපගේ ප්‍රධාන වගකීමක් බව මා නැවත වරක් සිහිපත් කරනවා.

බෞද්ධ දර්ශනයේ අනුගාමිකයකු වන මම, මානව වර්ගයා පෝෂණය සුරක්ෂිත කිරීම පමණක් නොව, සමස්තයක් වශයෙන් ලොව සෑම ජීවියකුගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා අප වගකිව යුතු බව දැඩි ලෙස විශ්වාස කරමි.

සභාපතිතුමනි,

ගෝලීය පරිසර ගැටලු සඳහා දරිද්‍රතාවය සුවිශේෂී හේතු සාධකයක් ලෙස මම දකිමි.පාරිසරික පරිහානිය සහ දරිද්‍රතාවය අතර එකිනෙකට සමීප සම්බන්ධතාවක් පවතින අතර එය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙන් කළ නොහැකි සම්බන්ධතාවකි.

මිනිසා විසින් කළ පරිසර පද්ධති විනාශය හේතු කොටගෙන වාතය, ජලය, සමුද්‍රය , පස සහ සියලුම ආකාරයේ පරිසර පද්ධතිවලට බලපාන විවිධ අභියෝග නිර්මාණය වී ඇත. 4වැනි එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ කාලෝචිත තේමාව යටතේ, අප වැනි දූපත් රාජ්‍යයන්ට මුහුණපෑමට සිදුවන බොහෝමයක් අභියෝගයන් පිළිබඳ සාකච්ඡාවට බඳුන් කොට ඇත.අද අප රැස්ව සිටින්නේ, ‘‘පාරිසරික අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නව විසඳුම්” යන අැමැති ප්‍රඥප්තිය අනුමත කිරීම සඳහායි.

ගරු සභාපතිතුමනි,

4වැනි එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී මාගේ රට අනෙකුත් හවුල්කාර රටවල් සමඟ එක්ව යෝජනා 4ක් සඳහා සම අනුග්‍රාහකත්වය දැක්වීය. එම ක්ෂේත්‍රය නම්, ‘කඩොලාන සංරක්ෂණය’, ‘සමුද්‍රික කසල සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික්’, ‘ඝන අපද්‍රව්‍ය කළමනාකරණය’ සහ ‘ආහාර අපතේ යෑම සහ නාස්තිය’යි.

තිරසර පරිභෝජන සහ නිෂ්පාදන ප්‍රතිපත්තියක්, SWITCH - ASIA ප්‍රතිපත්ති අනුග්‍රහ වැඩසටහනෙහි සහයෝග ඇතිව සකස් කළ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව මම සතුටින් ප්‍රකාශ කරමි.

ගොඩබිම හා සමුද්‍රය ආවරණය වන පරිදි මාගේ රජය යටතේ ‘‘නීල හරිත” ප්‍රවේශයක් වෙත ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව බිම් මට්ටමේ පියවරයන් කිහිපයක්ම ගෙන ඇත.

නාගරික වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ අපගේ ජාතික ප්‍රතිපත්තිය සෞඛ්‍ය සම්පන්න ජාතියක් සඳහා පිරිසිදු වාතය හෝ ‘පිරිසිදු වායුව 2025 ක්‍රියාකාරී සැලැස්ම’ මඟින් සහතික කරයි.විමෝචනය සඳහා වන ප්‍රධාන ප්‍රභවයක් ලෙස තෙල් ආශ්‍රිත ප්‍රවාහනය හා බලශක්ති අංශ හඳුනාගෙන ඇති අතර වාහන ආනයනය Euro IV ප්‍රමිතියට සීමා කර ඇත.තෙල් සහ ගල් අඟුරු භාවිතය අවම කිරීම සඳහා අපගේ බලශක්ති සංයෝජනය වෙත සූර්ය ශක්තිය, සුළඟ, රළ හා ජීව වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඒකාබද්ධ කිරීම දෙසට අප රට වේගයෙන් ගමන් කරයි.

එක්සත් ජාතීන්ගේ පරිසර ගිවිසුමට (UNEA-3) සහ එක්සත් ජාතීන්ගේ පවිත්‍ර සමුද්‍ර ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාව එමඟින් සමුද්‍ර දූෂණය අවම කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකාව විසින් ගංගා වේලි පද්ධතියේ සහ වෙරළබඩ කළමනාකරණය පිළිබඳ මනා ප්‍රවේශයක් ගැනීමට සූදානම්ය. ඉන් අපේක්ෂා කරන්නේ සාගර සහ වෙරළ සම්පත් එනම් ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍ය හරහා කෙරෙන සාගර දූෂණය වළක්වාලීමටය.

තවදුරටත් පාරිසරික අැමැතිවරයා වශයෙන් මා පොලිතින් නිෂ්පාදන සහ අධික ඝනත්වයක් සහිත පොලිතින්, ෂොපින් බෑග්, එල්ලාගෙන යන මළු, කෑම ඔතන කොල සහ කෑම පෙට්ටි තහනම් කිරීමට පියවර ගෙන ඇත.මීට අමතරව, පොලිතින් එළිපිට පුච්චා දැමීමට එරෙහිව රෙගුලාසි පැනවීමට පියවර ගෙන ඇත.මෑතකදී අවසන් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ රැස්වීමේ දී ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය නිල් ප්‍රඥප්තිය යටතේ කඩොලාන ශාක ප්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳව කාර්ය සාධන බලකායේ පුරෝගාමියකු ලෙස කටයුතු කරනු ලැබේ.ආසන්න වශයෙන් හෙක්ටයාර් 9000 පමණ දක්වා වූ කඩොලාන ශාක පද්ධතින් සංරක්ෂිත කැලෑ වශයෙන් ප්‍රකාශ කොට ඇත.

සියලු ජාතීන්ගේ හදිසි අවධානය පරිදි කොරල් පර ලෝකයේ බොහෝ සංවේදී පරිසර පද්ධති වශයෙන් සලකා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කොරල් පර පුරෝගාමීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගනිමින් අනෙකුත් රාජ්‍යයන් සමඟ ජාලකරණය වී සිටී.අප විසින් කොරල් පරවලට හානිකර වූ තිරසාර නොවන සහ විනාශකාරී ධීවර ක්‍රම අවම කිරීමට පියවර ගෙන ඇත.

සාගර පරිසර දූෂණය පාලන ක්‍රමෝපාය 2030 එකඟත්වය හා සමගාමීව සාගර පරිසරය දූෂ්‍ය වීම සම්බන්ධව මූලාරම්භයන් කිහිපයක් ගෙන ඇත. බටහිර සිට නැඟෙනහිර දක්වා වූ සාගර මාර්ග යා කෙරෙන මාර්ග හරහා සිදුවන දූෂණයේ අභියෝග අප විසින් හඳුනාගෙන තිබේ.

2030 එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන කතිකාවතට සමගාමීව ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාවේ වෑයම පෙන්නුම් කරමින් වෙනම අමාත්‍යංශයක් සහ තිරසර සංවර්ධන මණ්ඩලයක් ඒ වෙනුවෙන් ස්ථාපිත කිරීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාව විසින් ඒ හරහා තිරසර සංවර්ධන ඉලක්කයන් කරා ළඟා වීමට ඇති කැපවීම සපථ කරමිනි.

2019 ජනවාරි මාසයේදී මා විසින් ප්‍රකාශයට පත් කරන ලදුව එය ලග්ගල හරිත නගරයක් ලෙස නම් කරන ලදි. මෙම නව නගරය මොරගහකන්ද-කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ගොඩනැගිනි.

මෙම නගරය මඟින් පවුල් 3000ක් සඳහා නවාතැන් දුන් අතර මොරගහකන්ද ජලාශය පළමුවෙන් ජලයෙන් පුරවා දැමීමේදී අවතැන් වූ පවුල් එයට අයත් ය. අප මෙම රටේ තවත් මෙවන් හරිත නගර ඉදි කිරීමට බලාපොරොත්තු වෙමු.

පරිසර අැමැවරයා ලෙස මාගේ වපසරියට අනුව මා විසින් 2015 දී ‘වන රෝපා’ ලෙසින් වැඩසටහනක් ආරම්භ කරන ලදි. මෙහි අරමුණු නම් වන ආවරණය 29% සිට 32% දක්වා වර්ධනය කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා වන ස්වාභාවික පරිසර පද්ධති හරහා වාණිජමය ව නරෝපණය සහ අනෙකුත් සැලසුම් ක්‍රියාත්මක කිරීමයි. සෑම වසරකම ඔක්තෝබර් මාසය නම් කෙරෙන්නේ ජාතික වන රෝපණ දිනය ලෙසිනි. ඒ දිවයින පුරා වන රෝපණය පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කිරීමයි.

සෑම වසරකම ස්වේච්ඡා සහභාගිත්වය සහ විවිධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තු, සංවිධාන සහ පාසල් දරුවන් එක්කර ගනිමින් දළ වශයෙන් මිලියන 2ක පමණ පැළ බෙදා හැරීම සහ සිටුවීම සිදු කරයි. පළතුරු ගස් ශාක පාසල් දරුවන් මඟින් රෝපණය කරන අතර ඒවායේ නඩත්තුව සඳහා මූල්‍යමය ආධාර සපයනු ලැබේ.

ගරු සභාපතිතුමනි,

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය වශයෙන් ජීවත් වන්නන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මයයි. ලංකාවේ ග්‍රාමීය වශයෙන් ගත් කළ ගොවිතැනට අවශ්‍යය වන කාලගුණික තත්ත්වයත්, හරිතකරණයත් සඳහා හොඳ විභවයක් පවතී. එහෙයින් අපේ රටේ කෘෂිකර්මය තුළට තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනයත්, විද්‍යාව සහ තාක්ෂණයත් ගොනු කිරීමට අපි කැ‍මැත්තෙන් සිටිමු.

ග්‍රාමීය මට්ටමේ ගොවීන්ගේ සහ ඊට සම්බන්ධ විවිධාකාරයේ ක්‍රියාකාරීත්වයන් සමඟ නියැලෙන අයගේ ආර්ථික තත්ත්වය පෝෂණය කිරීමට ගන්නා පියවර ඔවුන්ගේ පමණක් නොව, සමස්ත රටේම ආර්ථික වර්ධනය තහවුරු කිරීම‍ට උපකාරී වනු ඇත.

අපේ රටේ ගොවීන් මුහුණ පා ඇති දැවැන්තම අභියෝගය අවිනිශ්චිත දේශගුණික තත්ත්වයන්ය. එක් වසරක් තුළදී පමණක්, එකම කලාපයක අධික වර්ෂාවෙන් ගංවතුර තත්ත්වයන් ඇති වන විට, ඊළඟ කන්නයේදී එම කලාපයම දැඩි නියඟයට මුහුණ පානවා. එහෙයින්, සමහර රටවල සාර්ථක වී තිබෙන බව කියැවෙන පරිදි, කෘතීම වර්ෂාව ඇති කිරීම වැනි ක්‍රමෝපායක් ශ්‍රී ලංකාවට යොදා ගැනීමට ඉදිරියේදී අප අපේක්ෂා කරනවා.

මෑතකදී, එනම් 2018 වසරේ ඔක්තෝබර් වලදී පමණ මසක් වැනි කාලයක් තුළදී පමණක් හෙක්ටයාර 80,000 කට වඩා වැඩි බඩ ඉරිඟු වගාවන් විශේෂ දළඹු වර්ගයක් විසින් මුළුමනින්ම විනාශ කළා.

එය අපේ රටේ ආහාර නිෂ්පාදනයට බරපතළ තර්ජනයක් සහ පරිසරයට ද දරුණු අභියෝගයක් වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යායලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ කණ්ඩායම් තුනක් මැදිහත් වී මෙම දළඹු විශේෂය පැතිරීම සහ දළඹු වන්ගේ වැඩීම පාලනය කිරීමට සමත් වුණා.

එමෙන්ම, සොබාදහමින් මෙන්ම සංස්කෘතික උරුමයන්ගෙන් ද පොහොසත් රටක් විදියට අප, අපගේ සමාජ ආර්ථික සංවර්ධනය නංවාලීම සඳහා සොබාදහම සහ සොබාදහමට නෑකම් කියන තිරසර ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය යෙදවීමට කැමැත්තෙමු. මෙවැනි සන්දර්භයක් තුළ, එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිය සොබාදහම භාවිතයට සහ කළමනාකරණයට ශක්තිමත් පදනමක් සහ මෙවලමක් ලබා දෙනවා.වසරේ මැයි මාසයේ දී 18 වන අන්තරායකාරී සත්ව සහ ශාක විශේෂවල ජාත්‍යන්න්තර වෙළෙඳාම පිළිබඳ සම්මේලනයේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව වන බව ඉතාමත් සතුටින් යුතුව මම මෙහිදී ප්‍රකාශයට පත් කරමි.

මාගේ ප්‍රකාශනය අවසන් කරමින්, මම මෙහිදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට සුබ පතමි. එමෙන්ම ශ්‍රී ලංකාවේ යහපත් පරිසර කළමනාකරණය සඳහා ඔවුන් ලබාදුන් සහයෝගය ඉදිරියටත් ලබා දෙනු ඇතැයි ද අපේක්ෂා කරන අතර මෙම සමුළුවේ සියලු කටයුතු සාර්ථක වේවායි පතමි.


නව අදහස දක්වන්න