රජයකින් කළ විශාලම ආයෝජනය මාලඹේ-කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියයි | දිනමිණ

රජයකින් කළ විශාලම ආයෝජනය මාලඹේ-කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියයි

චමීර ඇල්ලදෙණිය

ඉතිහාසයේ රජයක් විසින් සිදු කළ විශාලතම ආයෝජනය මාලඹේ, කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළකළේ මහනගර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මාලඹේ-කොටුව සැහැල්ලූ දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන උපදේශන ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා මුදල් අමාත්‍යාංශයේ දී සිදු වූ අතර එමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1, 850 ක ණය මුදලක් සියයට දශම බින්දුවයි එකක පොලියකට ජපානයේ ජයිකා (JICA) ආයතනය විසින් ශ්‍රී ලංකා රජය වෙත සැහැල්ලු දුම්රිය සේවය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දෙනු ලබයි. කි.මී. 17 සමස්ත දුරකින් යුත් මේ දුම්රිය මාර්ගය දුම්රිය නැවතුම්පොළ 16 කින් එය සමන්විතය. මාලඹේ සිට කොටුව දක්වා විනාඩි 32කින් ගමන් කිරීමට මගීන්ට මෙමගින් අවස්ථාව සැලසේ.

ඒ අනුව මේ සඳහා අවශ්‍ය උපදේශන සේවාව ලබාගැනීමට තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ජපන් සමාගම් දෙකක් තෝරා ගනු ලැබූ අතර එයින් එක් සමාගමක් කැබිනට් මණ්ඩලයෙන් පත් කරන ප්‍රසම්පාදන කමිටුව මගින් තෝරා ගනු ලැබිණි. ඒ ඔරියන්ටල් කන්සල්ටන් ග්ලෝබල් සමාගමයි. ඒ අනුව එම ගිවිසුම අත්සන් කිරීම මහනගර අමාත්‍යාංශයේ දී පසුගියදා (13) අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් ඉංජි: නිහාල් රූපසිංහ මහතා සහ එම සමාගම වෙනුවෙන් එහි දකුණු ආසියානු කලාපීය සාමාන්‍යාධිකාරී රොහෙයි ඉෂී මහතා අතර සිදුවිය.

මේ අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමැතිවරයා, එහි විස්තරාත්මක ඉංජිනේරුමය සැලසුම්කරණය, භෞතික වශයෙන් ගොඩනැගීමේ දී ටෙන්ඩර්පත් සැකසීම සහ ප්‍රසම්පාදනය, කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේ දී සුපරික්ෂාව සහ කළමනාකරණය වගේම වැඩ ආරම්භ කර මගීන් ප්‍රවාහනය කරන කාලයේ වසර දෙකක් වැඩ සුපරික්ෂාවෙන් යම් යම් අඩුපාඩු සිදුවනවා නම් ඒ පිළිබඳව කටයුතු කිරීම කියන බරපතළ වගකීම අපි තරගකාරී ලංසු කැඳවීමක් අන්තර්ජාතිකව සිදුකර ජපන් අාධාර කොමිෂන්වල තිබෙන ප්‍රසම්පාදනයන්ට අනුකූලව අපි මේ උපදේශන සේවාව ඔරියන්ටල් සමාගමට ලබාදෙනවා. ඒ අය මේ ක්‍ෂෙත්‍රයේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.ලබන මාසය වන විට එහි මූලික කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබෙයි කියා සිතනවා.

මෙහි වැට් බදු නොමැතිව මෙහි ආසන්නයෙන් ඩොලර් මිලියන 100 ක පමණ කොන්ත්‍රාත්තුවක් තිබෙනවා. එය අපට ජපානයෙන් ණය ආධාරයක් ලෙස ලැබෙන්නේ. එහි පොලී අනුපාතය සියයට දශම බින්දුවයි එකක් වැනි ඉතාමත්ම අඩු පොලියකට ජපානයෙන් අපට ලැබී තිබෙනවා. මෙහි වැට් ඇතුළු සියලුම අනෙකුත් කාරණා සමඟ මෙය ඩොලර් මිලියන 148ක වැනි අගයකට නැංවී තිබෙනවා. ඒ කියන්නේ බිලියන 22 ක ව්‍යාපෘතියක්. මේ රටේ දැනට රාජ්‍ය ආයෝජනයක් සිදු කර තිබෙන විශාලතම ව්‍යාපෘතිය මේක. මේකට මුළුමනින්ම වැය වෙනවා ඩොලර් මිලියන 2, 200ක් සියලුම බදු සමඟ. මේක තමයි මෙරට ඉතිහාසයේ රජයක් ආයෝජනය කරන විශාලතම ව්‍යාපෘතිය. ඒ වගේම අපේ ප්‍රවාහන ක්‍ෂෙත්‍රයේ බ්‍රිතාන්‍යයන් විසින් 1860 දී අපට දුම්රිය හඳුන්වා දුන්නා. බස්රිය හඳුන්වා දුන්නා 1902 දී. ඉන් පසුව මෙරට ඇතිවෙන ඉතාම බලගතු මහා මාර්ග ක්‍ෂෙත්‍රයේ, ප්‍රවාහන ක්‍ෂෙත්‍රයේ විශාලතම ආයෝජනය. මොකද අපේ රටේ උත්සාහ කළා අධිවේගී මාර්ග, මාර්ග පළල් කර මාර්ග තදබදයේ ගැටලුව විසඳන්න පුළුවන්ද කියා වසර 10 ක් ඒ සඳහා වියදම් කළා. එය සිදු කිරීමට බැරිබව දැනගෙන තමයි අපේ අමාත්‍යාංශය වසර 3 කට කලින් මේ සඳහා මැදිහත් වෙලා පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට යෝජනා ගෙනාවේ යැයි ඇමැතිවරයා කීය.

ඡායාරූප- ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න