පරිසර හිතකාමී ආර්ථිකය සියලු රටවල ප්‍රධාන වගකීමක් | දිනමිණ

පරිසර හිතකාමී ආර්ථිකය සියලු රටවල ප්‍රධාන වගකීමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(14) දහවල් එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරයට සහභාගි වූ අවස්ථාව. ඡායාරූපය- සුදත් සිල්වා

ජනපතිගේ පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙළ ජගත් ප්‍රජාවගේ ඇගැයීමට

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හඳුන්වාදීම අද දවසේ සියලුදෙනාගේ ප්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය අමතා සිය විශේෂ දේශනය කරමිනි.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයකු ලෙස ජනාධිපතිවරයා මෙම සමුළුවට එක්විය.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන්, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මැඩගස්කර් ජනාධිපති ඇන්ඩ්‍රි රජොයිලිනා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නයිරෝබි නුවර එක්සත් ජාතින්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වුණු සමුළුවට රටවල් 58ක පරිසර අමාත්‍යවරුන් සහ

නියෝජිතයන් පන්දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.

පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්, යන්න සමුළුවේ තේමාව විය.

මෙම සමුළුවට සහභාගීවීම සඳහා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා ඇතුළු සෙසු රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළු පරිශ්‍රය වෙත පැමිණියේ පා ගමනිනි.

සමුළුශාලාව වෙත පැමිණි ජනාධිපවරයාව කේන්යාවේ කැබිනට් ලේකම් මොනිකා කුමා මහත්මිය සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ කෙන්යාවේ නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිසක් හරසරින් පිළිගත්හ.

පුනර්ජනනීය බලශක්ති සඳහා නව ව්‍යාපාර ආකෘති, නමින් සමඟාමී සමුළුවක් ද ප්‍රධාන සමුළුවට පෙර ආරම්භ කෙරණු අතර, ජනාධිපතිවරයා ඊට ද සහභාගී විය. එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරයේ ඉහළ පෙළේ සැසිය ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවය.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා සමුළුවේ ආරම්භක දේශනය කළ අතර, තුන්වන කථිකයා ලෙස ජනාධිපතිවරයා සමුළුව ඇමතීය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බෞද්ධයකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්ෂිත කිරීමට පමණක් නොව, සමස්තයක් වශයෙන් ලොව සෑම ජීවියකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැඳී සිටින බවයි.

සොබාදහමින් මෙන්ම සංස්කෘතික උරුමයන්ගෙන් ද පොහොසත් රටක් වන ශ්‍රී ලංකාව රටේ සමාජ ආර්ථික සංවර්ධනය නංවාලීම සඳහා සොබාදහම සහ සොබාදහමට නෑකම් කියන තිරසර ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය යෙදවීමට කැමැත්තෙන් සිටින බව පැවසූ ජනාධිපතිවරයා මෙවැනි තත්ත්වයකින් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිය ශක්තිමත් පදනමක් සහ මෙවලමක් ලබාදෙන බව කියා සිටියේය.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයේ ගෝලීය කැපවීමක් පෙන්නුම් කරන පැරිස් ගිවිසුමට ශ්‍රී ලංකාව අස්සන් තබා ඇති අතර, 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයෙහි අප රට දෙවන ස්ථානයට වැඩිම අවදානමක් පවතින රට වශයෙන් නම් කිරීම හේතුවෙන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාව දැඩිව කැපව සිටින බවද අවධාරණය කළේය. එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ගෝලීය පරිසර ගැටලු සඳහා දරිද්‍රතාව සුවිශේෂි හේතුවක් බවයි. පාරිසරික පරිහානිය සහ දරිද්‍රතාව අතර එකිනෙකට සමීප සම්බන්ධතාවක් පවතින අතර එය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙන් කළ නොහැකි සම්බන්ධතාවක් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය වශයෙන් ජීවත් වන්නන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කෘෂිකර්මාන්තය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලංකාවේ ග්‍රාමීය වශයෙන් ගත් කළ ගොවිතැනට අවශ්‍ය වන කාලගුණික තත්ත්වයන් මෙන්ම හරිතකරණය සඳහා හොඳ විභවයන් පවතින බවද පැවසීය. එබැවින් ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයට තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනයත්, විද්‍යාව සහ තාක්ෂණයත් ගොනු කිරීමට කැමැත්තෙන් සිටින බව කීය.

මේ අතර ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් යෝජනා හතරක් එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය සඳහා ඉදිරිපත් කිරීම සුවිශේෂී විය. කඩොලාන තිරසර ලෙස කළමනාකරණය, ආහාර නාස්තිය සහ අපතේයාම කළමනාකරණය, සමුද්‍රික කසළ සහ ක්ෂ්ද්‍ර ප්ලාස්ටික් කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන ක්ෂේත්‍ර යටතේ එම යෝජනා ඉදිරිපත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෑතක දී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයන්ගේ රැස්වීමේ දී ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය නිල් ප්‍රඥප්තිය යටතේ කඩොලාන ශාක ප්‍රතිෂ්ඨාපණය කිරීම පිළිබඳ කාර්ය සාධන බළකායේ පුරෝගාමියකු ලෙස කටයුතු කරන බවයි.

තිරසර පරිභෝජනය සහ නිෂ්පාදන ප්‍රතිපත්තියක්, ප්‍රතිපත්ති අනුග්‍රහ වැඩසටහනෙහි සහයෝගය ඇතිව සකස් කළ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ගොඩබිම හා සමුද්‍රය ආවරණය වන පරිදි නීල හරිත ප්‍රවේශයක් වෙත ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව බිම් මට්ටමේ පියවර කිහිපයක්ම ගෙන ඇති බවද සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාව ගංගා වේලි පද්ධතියේ සහ වෙරළබඩ කළමනාකරණය පිළිබඳ මනා ප්‍රවේශයක් ගැනීමට සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා ඉන් අපේක්ෂා කරන්නේ සාගරය සහ වෙරළ සම්පත් එනම් ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍ය මඟින් කෙරෙන සාගර දූෂණය වළක්වාලීම බව සඳහන් කළේය.

පරිසර අමාත්‍යවරයා වශයෙන් පොලිතින් තහනමට ගත් පියවර මෙන්ම තම මඟපෙන්වීමෙන් වන ඝනත්වය ඉහළ නංවා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන වනරෝපා වැඩසටහන පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.

පරිසර අමාත්‍යවරයකු ලෙස මෙන්ම රාජ්‍ය නායකයකු ලෙස පරිසරය සුරැකීම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන සහ ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළැඹි නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශනය සමුළුවට සහභාගී වූ සියලුදෙනාගේ දැඩි අවධානයට ලක්ව තිබූ අතර, ජනාධිපතිවරයාගේ පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙළ ඔවුන්ගේ ඇගැයීමට ලක් කෙරිණි.

නව අදහස දක්වන්න