රණවිරුවන්ට-ජනතාවට හානිවෙන්න ඉඩදෙන්නේ නෑ | දිනමිණ

රණවිරුවන්ට-ජනතාවට හානිවෙන්න ඉඩදෙන්නේ නෑ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනා හේතුවෙන් රණවිරුවන්ට හෝ රටේ ජනතාවට කිසිදු හානියක් වන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ නොතබන බවත්, ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරය හමුවේ නැගී සිටීමට හැකි වතාවරණයක් වත්මන් ආණ්ඩුව උදාකර ඇති බවත්, විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) පැවසීය.

ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමෙන් රට බේරාගත් රජය වෙනත් අන්තර්ජාතික බලපෑම් නැතිකර රටේ ප්‍රශ්න දේශීය යාන්ත්‍රණයකින් විසඳා ගැනීමේ අවස්ථාව සකසා ඇති බවද පෙන්වා දුන්නේය.

ලබන 22 දින පැවැත්වෙන ජීනිවා මානව හිමිකම් කොමිසමේදී රජය දරන ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා අසන ලද 27/2 ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට, ජාතික ආරක්ෂාවට ජනතා අයිතිවාසිකම් කඩවන හෝ රණවිරුවන්ට හානිදායක කිසිදු කටයුත්තකට රජය මානව හිමිකම් කොමිෂමේදි ඉඩ නොතබන බවත් පැවසූ ඇමැතිවරයා රටේ සාමය, සංහිඳියාව, සංවර්ධනය මෙන්ම සමෘද්ධිමත් අනාගතයක් උදාකර පියවර ගැනීමට සෑම විටම කැපවන බවද ඇමැතිවරයා පැවසීය.

තිලක් මාරපන මහතා මෙසේද පැවසීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හොඳින් දන්නා පරිදි, එතුමාගේ ආරාධනයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බන් කී මූන් මහතා 2009 වසරේ මැයි මාසයේ ලංකාවේ සංචාරයක නිරත වුණා.

එම සංචාරය අවසානයේ දී රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පශ්චාත් යුද සමයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් යම් පියවර ගැනීමට එකඟ වුණා.

එතැනින් නොනැවතී, එවකට රජය 2009 වසරේ මැයි මාසයේ 27 වෙනිදා ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන් යෝජනාවක් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරලා, කවුන්සලයේ බෙදීමක් ඇතිකරමින් එම යෝජනාව ඡන්දයකින් සම්මත කරගත්තා. එම යෝජනාවේ අන්තර්ගතය බැලුවොත් කථානායකතුමනි, ඔබට පැහැදිලි වෙනවා, එවකට රජය බන් කී මූන් මහතා සමග නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයත් ඊට ඇතුලත් බව. ඒ විතරක් නෙවෙයි. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් මෙම අන්තර්ජාතික යෝජනාවට ඇතුළත් කරා. ගැටුම් අවසානයේ, 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් දේශපාලන විසඳුමක් හරහා සදාකාලික සාමය සහ සංහිඳියාව ඇති කිරීමටත් සියල්ලන්ගේම මානව හිමිකම් සුරැකීමට පියවර ගැනීමටත් එකඟ වුණා.

නමුත් මේ ගරු සභාවේ සියලු දෙනාම දන්නා පරිදි එවකට රජය විසින්ම ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද සම්මුතියවත් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සහ තමාම දේශීය වශයෙන් 2010 වසරේ මැයි මස 15 වන දින පිහිටුවන ලද “උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම (LLRC)” වාර්තාවේ අන්තර්ගත නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් 2012,2013, 2014 යන වසරවල, ශ්‍රී ලංකා රජයේ විරුද්ධත්වය සහ විරෝධතාව මධ්‍යයේ යෝජනා තුනක් මානව හිමිකම් කවුන්සලයේ සම්මත වුණා.

අවසානයේ 2014 වසරේ දී සම්මත වූ යෝජනාව තුළින් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට ශ්‍රී ලංකාව පිළිබඳව විදේශීය විමර්ශනයක් පත්කිරීම සම්මත වුණා.

2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය නැතිව, එම යෝජනාව ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වූවා නම්, මෙම විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආර්ථික සම්බාධක මෙන්ම වෙනත් අන්තර්ජාතික පියවර ගැනීමට ඉඩ තිබුණා.

නමුත් 2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරණයෙන් පසුව පත් වූ රජය විසින්, දින 100 යේ වැඩපිළිවෙළෙහි සඳහන් පරිදි, දේශීය ක්‍රියාදාමයන් හරහා අප රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් යම් පියවර ගැනීමට ප්‍රතිඥාදීම තුළින්, ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් අන්තර්ජාතික පියවර ගැනීමට තිබූ ඉඩ ප්‍රස්ථා සියල්ල නතර වුණා.

30/1 යන යෝජනාව මගින් අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය යළි තහවුරු කරගැනීමට අපි සමර්ථ වුණා. වෙන වචනවලින් කියනවා නම්, අපේ ප්‍රශ්න අපිටම විසඳාගන්න අවස්ථාව අපි සකස්කර ගත්තා. අපේම ජනතාව වෙනුවෙන් අපිම පෙනී සිටිමින් පුළුල් සාකච්ඡා මාර්ගයෙන් දශක ගණනාවක් විසඳුමක් නැතිව තිබුණු ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය කරන දේශීය ක්‍රියාදාමයන් සහ දේශීය යාන්ත්‍රණ පිහිටුවීමට අපි දේශීය වශයෙන් රජයක් හැටියට අපේ වගකීම අපි භාර ගත්තා.

අපි මෙම ක්‍රියාමාර්ග තුළින් අපේ රටට අපේ සන්නද්ධ හමුදාවේ නිලධාරීන්ට හෝ අපේ ජනතාවට කිසිදු හානියක් වෙන ආකාරයකින් ක්‍රියා කරලා නැති බව අවධාරණය කිරීමට කැමතියි. අපි ඇත්ත වශයෙන්ම කරලා තියෙන්නේ අපේ ප්‍රශ්න අපිටම විසඳාගැනීමට ඇති ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය තහවුරු කිරීම පමණයි. අපි අපේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට අගතිදායක වන කිසිම නීතියක් සම්මත කිරීමට ක්‍රියා කර නැහැ.

රටේ සංහිඳියාව සහ සංවර්ධනය ශක්තිමත් කරමින් සියලුම පුරවැසියන්ට සමෘද්ධිමත් අනාගතයක් සඳහා අවශ්‍ය කරන පියවර ගැනීමට අපි සැමවිටම කැපවීමෙන් ක්‍රියාකරන අතර කිසිදු ආකාරයකින් ජනවාරි 2015 ට පෙර තිබුණු ජාත්‍යන්තර ප්‍රජාවෙන් කොන්වුණු අගතියට අපේ රට සහ අපේ ජනතාව පත්වීමට කිසිදු ආකාරයකින් ඉඩ තියන්නේ නැති බව තරයේම ප්‍රකාශ කර සිටිනවා.

නව අදහස දක්වන්න