දහම් පාසල් ශාලා 226ක් ඉදිකිරීමට මිලියන 745ක් | දිනමිණ

දහම් පාසල් ශාලා 226ක් ඉදිකිරීමට මිලියන 745ක්

චමීර ඇල්ලදෙණිය

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට සමගාමීව රුපියල් මිලියන 745.8 ක වියදමින් දහම් පාසල් 226ක් සඳහා ධර්ම ශාලා ඉදිකිරීමට නිවාස හා සංස්කෘතික අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඉදිරි මාස තුන තුළ මෙම දහම් පාසල් සඳහා ශාලා 226 ඉදිකර අවසන් කරන බව නිවාස හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ යටතේ මේ මස 16 වන දා සිට 23 වනදා දක්වා ත්‍රිපිටකවන්දනාභි සතියක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

නිවාස හා සංස්කෘතික අමාත්‍යාංශයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී ඇමැතිවරයා එම සතිය තුළ සෑම නිවසකම හා වාහනයකම බෞද්ධ කොඩිය ඔසවා තබන බවද ප්‍රකාශ කළේය.

ත්‍රිපිටකය ජාතික උරුමයක් කර එය ලෝක උරුමයක් බවට පත්කිරිමට කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවත් ඉතිහාසයේ සිටි කිසිදු නායකයකුට මෙය සිදු කළ නොහැකි වූ බවත් ඇමැතිවරයා සිහිපත් කළේය.

ත්‍රිපිටකවන්දනාභි සතියට සමගාමීව ධාතු ප්‍රදර්ශනයක්ද දිස්ත්‍රික්ක පහක් මුල් කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර හම්බන්තොට, අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව හා රත්නපුර දිස්ත්‍රික්කවල පැවැත්වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනු ලබන අතර, ඉදිරියේදී යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කර ලෝක උරුමයක් බවට පත්කිරීම සාර්ථක කර ගැනීමට සැලසුම් කර තිබේ.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඡායාරූපය වාසිත පටබැදිගේ

නව අදහස දක්වන්න