මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායමට බහුතරය නැති බව අය-වැය ඡන්දයේදී ඔප්පු වූවා | දිනමිණ

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායමට බහුතරය නැති බව අය-වැය ඡන්දයේදී ඔප්පු වූවා

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම පසුගිය නොවැම්බර් මාසයේ නීත්‍යානුකූල නොවන ලෙස බලහත්කාරයෙන් ආණ්ඩුව උදුරාගැනීමට ගිය අවස්ථාවේ තමන්ට බහුතරය තිබෙනවා කියා ජනතාව ඉදිරියේ කිවූ බොරුව නැවතත් පසුගියදා (12) පාර්ලිමේන්තු අය-වැය ජන්ද විමසීමේදී ඔප්පු වූ බව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය.

අය-වැයට පක්ෂව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් චන්දය ප්‍රකාශ කළ නිසා විපක්ෂයේ කණ්ඩායම් ඔවුන්ව ත්‍රස්තවාදීන් කියා හංචඩු ගසමින් සිටින බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහතා මේ බව පැවසුවේ ඊයේ (14) සිරිකොත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

පසුගිය වසරේ ඔක්තොම්බර් 26 මේ රටේ ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංගනය වුණා. ඒ හා සමානව රටේ ප්‍රජාත්‍රන්තවාදයට විශාල බලපෑමක් එල්ල වුණා. එම ගැටළු නිරාකණය කිරීමට හැකි වුණේ මේ රටේ ස්වාධින කොමිෂන් සභා නිසි ලෙස ක්‍රියාත්මක වුණ නිසා. ස්වාධීන කොමිෂණ් සභා සඳහා වැය ශීර්ෂ කීපයක් පෙරේදා (13) අයවැය විවාදයේදී සම්මත වුණා.

නොවැම්බර් මාසයේ 05 වැනිදා පාර්ලිමේන්තුව ඉදිරිපිටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වේදිකාවේ නැගලා මහා හයියෙන් රටට කිව්වා ඹහුට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් ඉන්න බව. නමුත් අපි කිව්වා බහුතරයක් නෑ මේ අයට ආණ්ඩුව ගන්න කියලා. එදා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු පිටියේදී පැවැත්වූ දේශපාලන බොරුව අපි නැවත වතාවක් බොරුවක්ම කිය ඔප්පු කළා (12) දින අයවැය දෙවන වර කියවීමේදී බහුතරයක් තිබෙන බව අපි පාර්ලිමේන්තුවේ පෙන්නුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 119 ක් එක්සත් ජාතික පක්ෂයට ඉන්නවා. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට ඉන්නේ මන්ත්‍රීවරුන් 71ක් පමණයි.

දෙමළ ජාතික සංධානය කියන්නේ ප්‍රජාත්‍රන්තවාදී ක්‍රමයට මේ රටේ ජනතාවගේ ජන්ද බලයෙන් පාර්ලිමේන්තුවට ආව මන්ත්‍රී කණ්ඩායමක්. ඒ අය අයවැයට පක්ෂව ජන්දය දීලා ජනතාවාදී අයවැයක් ජනතාවට ලබාදෙන්න උත්සාහ කළා. ඒ මන්ත්‍රීවරුන් කණ්ඩායම ත්‍රස්තවාදීන් කියලා විපක්ෂයේ කණ්ඩායම් කියනවා. ඒ අය කියන්නේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සංධානය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් කියලයි. එම ප්‍රකාශ මගින් පෙනෙනවා විපක්ෂයේ කණ්ඩායම් කොච්චර බොලද දේශපාලනයක්ද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ කියා.

එදා මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ දෙමළ ජාතික සංධානයට ආණ්ඩුවක් හදන්න ආරාධනා කරද්දි ඒ අය ත්‍රස්තවාදීන් නෙමෙයි. අපි ජනතාවාදී අයවැයක් පාර්ලිමේන්තුවේ සම්මත කරද්දි ඒ අය ත්‍රස්තවාදීන්. මේ රටේ ජනතාව දැනගතයුතුයි විපක්ෂයේ උදවිය කොයි ආකාරයෙන්ද ජානතාව මුලා කරන්නේ කියා.

පසුගිය ආණ්ඩුව විසින් මේ රටේ ජනතාවට පුරුදු කරලා තියෙනවා අයවැයක් කිව්වාම පරිප්පු, හාල්, එළවළු, තෙල් මිල රෑ දොළහ වෙද්දි අඩුවුණොත් ඒක තමයි නියම අයවැය කියා. ඒක නෙමෙයි නියම අයවැය කියන්නේ. නියම අයවැය කියන්නේ කෙටිකාලීනව සහ දීර්ඝ කාලීනව අප රටේ ආර්ථිකය ශක්තිමත් කරලා, අනෙකුස් යටිතලපහසුකම් සියල්ල සම්පූර්ණ කරගනිමින්, විදෙස් ආයෝජන වැඩිකරගනිමින්, අපනයනය වැඩිකර ආනයනය අඩු කර අවුරුද්දක ඉදිරි අනාගතය සඳහා වැඩපිළිවෙලක් ලෙස ඒ යෝජනාවලිය ඉදිරිපත් කිරීම තමයි අපි දකින්නේ.

මේ අයවැයේදී උසස් පෙළ ඉහළ ප්‍රතිපල ගන්නා දරුවන් 14 දෙනෙකුට ලෝකයේ තිබෙන ඉහළ විශ්වවිද්‍යාල වල උපාදිය හැදෑරීමට ආණ්ඩුව වියදම් කරනවා. ඒ මගින් සල්ලිකාරයන්ට විතරක් සීමාවී තිබූණ විදෙස් උපාධි සිහිනව දුප්පත් දක්ෂ දරුවන්ට හිමිවෙනවා. ඒ උපාධිය ගත්තට පස්සේ ඒ අයට මේ රටේ දියුණුව වෙනුවෙන් ඉදිරියේදී වැඩකරයි, දිස්ත්‍රික් මට්ටමෙන් වැඩි ළකුණු ගන්නා දරුවන්ටද මේවැනි දීමානාවක් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා.

රටේ සියලු දරුවන් අපි රක්ෂණය කර තිබෙනවා. කිසියම් ලෙඩ රෝගයක් වැලදුනොත් අපි ඒ සඳහා ප්‍රතාලාභ ලබාදී තිබෙනවා, ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කරදී තිබෙනවා, ස්මාර්ට් ක්ලාස් මගින් එම දරුවන් 21 වැනි සියවසේ අධ්‍යාපනයට ගැලපෙන ලෙස සූදානම් කර තිබෙනවා.

රටේ අපනයනය වැඩි කිරීම සඳහා වාණිජමය කෘෂිකාර්මික ගම්මාන ඉදිකිරීමට මෙම අයවැයෙන් සැලසුම් කර තිබෙනවා. ජාත්‍යන්තරයට අපේ රට තුළින් අපනයනය කළ හැකි බෝග වැඩිදියුණු කර උසස් නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් ලෙස කුරුඳු, අඹ වැනි බෝග මේ සඳහා යෝජනා වී තිබෙනවා. මෙම වැඩපිළිවෙල මගින් අපනයනය ශක්තිමත් වෙනවා. ඒ මගින් රුපියලේ අගය ඩොලරයට සාපෙක්ෂව සමබර කරගැනීමට සහ අපගේ සංචිතය වැඩිකරගැනීමට අපනයනය වැඩිකරගතයුතුමයි.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නඩය ජනතාවට දීර්ඝ කාලයට සිට කළේ සමෘද්ධි නියාමකයන් හරහා ජනතාව සමෘද්ධියේ ඔබලා තියාගෙන, භයකරගෙන, ජන්දය දුන්නේ නැතිනම් සමෘද්ධිය කපනවා කියා බයකරගෙන තියන් හිටියා. සමෘද්ධිය කියන සංකල්පය තමයි වසර තුනක් සමෘද්ධිය ලබන අය එය ලබන් නැති තත්වයට පත්කිරීම. ඒ අයගේ තැන්පත් එකතු කර ඒ අයගේ ආර්ථිකය සෑම අංශයෙන්ම දියුණු කීරීමේ වැඩපිළිවෙලක් තිබෙනවා. නමුත් මෙතෙක් කල් එය සිද්ද වුණේ නෑ. නමුත් අපි තීරණය කර තිබෙනවා සමෘද්ධිය හරහා ජනතාවගේ ආර්ථීකය දියුණු කර ඔවුන් සමාජයේ දුප්පතුන් ලෙස තවදුරටත් තබා නොගැනීමට.

පෙහොට්ටුවේ අය පාර්ලිමේන්තුව තුළත් පිටතත් කියනවා ඒ අය දේශපාලන වශයෙන් ශක්තිමත් කියා. ඒ අය දේශපාලන වශයෙන් ශක්තිමත් නෑ. පොහෝට්ටුව කොතරම් බංකොලොත් කියනවා නම් කාලයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හිනාවුණා. දැන් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව අඩනවා අනේ අපිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැතිව යන්න බෑ කියලා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පස්සෙන් ගිහිත් අඬන ගානට පොහොට්ටුව පත්වෙලා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අපිට කියනවා දැන් වැඳවැටෙන රාජපක්ෂලා වැචවැටෙන්නේ බලය නැතිව කියලා. බලය ගත්තට පස්සේ ඔවුන්ගේ කෙරුවාව හොදින් දන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අපිට කියනවා.

අසේල ලියනගේ
ජායාරූප - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න