සමථ මණ්ඩලයට සවියක් දෙන්න | දිනමිණ

සමථ මණ්ඩලයට සවියක් දෙන්න

වර්තමාන සමථ මණ්ඩල වනාහී 1988 අංක 72 දරන 'සමථ මණ්ඩල පනතක්' මඟින් ස්ථාපිත කරන ලද නීත්‍යානුකූලව රජය පිළිගත් රාජ්‍ය ආයතනයක් ලෙස හඳුන්වනු ලැබේ. එසේම එහි සාමාජිකත්වයට පත්කෙරෙන අය එහි සාමාජිකත්වය දරනාතුරු රජයේ සේවකයන් මෙන්ම අධිකරණමය ක්‍රියාදාමයක යෙදෙන්නන් බව ද එකී පනතේ 20 වන වගන්තියෙන් අවධාරණය කෙරේ.;

ඒ අනුව විමසා බලන විට සමථ මණ්ඩලවල සේවය කිරීම වූ කලී ස්වේච්ඡා සේවයක් නොව රාජ්‍ය සේවයක් ලෙස පිළිගැනීමට සිදුවෙයි. විධිමත් ආකාරයෙන් රජය විසින් ඊට සාමාජිකයන් බඳවා ගැනීමේ හෙවත් පත්වීම් ප්‍රදානයන් තුළින් ද ඒ බව සනාථ කෙරේ.

ඒ එසේ වුවත් සමථ මණ්ඩල සාමාජිකයන් යනු ස්වේච්ඡාවෙන් සේවයේ යෙදෙන සේවක පිරිසක් වග දැන් සාමාන්‍ය සමාජයේ ව්‍යවහාර වන ආකාරයක් ද පෙනෙන්නට ඇත. එපමණක් නොව රජයේ අදාළ බලධාරීන් තුළ ද එම මතය නොහොත් හැඟීම් මූලික කොටගෙන සමථ මණ්ඩල සාමාජිකයන් සමඟ ක්‍රියා කරන ආකාරයක් ද දක්නට ලැබෙයි. දැනට ප්‍රායෝගික තත්ත්වයන් තුළින් උද්ගත වන සමහර ගැටලුකාරී ප්‍රශ්නාර්ථයන් තුළින් එකී කුකුස නොහොත් යථා තත්ත්වය පැහැදිලි වනු ඇත. ඒ පහත සඳහන් ආකාරයෙනි.

දැනට සමථ මණ්ඩල රැස්වීම් සතියට එක් වරක් පමණක් රැස්විය යුතු වුවත් රැස්වීම් සඳහා පහසුකම් සහිත Òරාජ්‍යÓ හෝ Òපෞද්ගලිකÓ ස්ථානයක් නිශ්චිත වශයෙන් හිමිවන්නේ නැත. පහසුකම් සහිත සුදුසු තැනක් සමථකරුවන් විසින්ම කෙසේ හෝ සොයාගත යුතු අතර එය ද පහසු නොවේ. සොයා ගත්තද එය ද ගැටලුකාරී වෙයි. ඒ සඳහා අදාළ රාජ්‍ය ආයතන සඵලදායී වගකීමක් දරන්නේ ද නැත. එක් එක් මණ්ඩලයන් අනුව තත්ත්වය වෙනස් වීමට ද පුළුවන.

එසේම ඔවුනොවුන්ට විරසක වූ ආවේගශීලී පාර්ශ්වකරුවන් දෙපිරිසක් තමන් ඉදිරියේ එක ළඟ හිඳුවාගෙන කිසියම් අනතුරුදායක තත්ත්වයක් ද සහිතව සාකච්ඡා වේ. යෙදුන ද අදාළ ස්ථානවලට අවශ්‍ය පොලිස් ආරක්ෂාවක් සපයා දීම ද අදාළ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. එය සමථකරණයට සුදුසු නැතැයි ද තවදුරටත් ප්‍රකාශ කෙරේ.

තවද ගමන් වියදම් යයි හඳුන්වමින් දැනට රැස්වන එක් දිනක් වෙනුවෙන් ‍ඉතා සොච්චම් දීමනාවක් ලබා දුනද එය ද මාස 3 කට වරක් (එක්ව) කාර්තු වශයෙන් ලබා දෙනු ලබයි. එහෙත් රජයේ සේවකයන්ගේ හා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ද වැටුප් හෝ දීමනා හෝ වරින් වර වැඩිකර ගන්නා නමුත් සමථකරුවන්ගේ දීමනා වැඩිකිරීමට උනන්දුවක් දක්වන බවත් පෙනෙන්නට ද නැත.

එසේම සමථකරුවන්ට ඒ පිළිබඳ ඉල්ලීම් කිරීමට හෝ කිසිදු අයිතියක් නැතැයි ද, පවතින තත්ත්වයන් තුළ ස්වේච්ඡාවෙන් සේවය කළ නොහැකි නම් වහා ඉවත්ව යා හැකි යයි ද අදාළ බලධාරීන්ගේ අවසන් නිවේදනය වන බව ද දැනගන්නට ඇත. දිනකට ලක්ෂ ගණනින් වැටුප් ලබන පුද්ගලයන් සිටින සමාජයක සමථකරුවන්ට තුට්ටු දෙකක් දීමෙන් කරන අවතක්සේරුව ලජ්ජා සහගතය.

ඒ අනුව බලන විට සමථ මණ්ඩල සාමාජිකයන් සැබැවින් ම රජයේ සේවකයන් ද? නැතහොත් ස්වේච්ඡා සේවකයන් ද යනුවෙන් ගැටලුකාරී ප්‍රශ්නාර්ථයක් ද ඇතිවන්නේය. එනිසා ඒ තුළින් පහත සඳහන් ආකාරයේ අනාත්මාවාදී දර්ශනයක්Ó සිහිපත් කර දෙන්නා සේය. ඒ කෙසේද යත්?

සමථ මණ්ඩල සාමාජිකයන් වනාහී රජයේ සේවකයන් වන්නේත් නොවේය. නොවන්නේත් නොවේය. එසේම ස්වේච්ඡා සේවකයන් වන්නේත් නොවේය. නො වන්නේත් නොවේ ය යනුයි. ආශ්චර්යයෙක්මැයි!

එච්. ඩී. ආර්. වෑගන්තලේ
කුරුණෑගල


නව අදහස දක්වන්න