පේරලන්දේ දියුණුව හෙමින් | දිනමිණ

පේරලන්දේ දියුණුව හෙමින්

රාගම ග්‍රාමයේ ක්‍රමයෙන් දියුණුව කරා පිය නඟන පේරලන්ද ප්‍රදේශයට ශීඝ්‍ර දියුණුවක අවශ්‍යතාවය ඇත. රාගම, ඇලපිටිවෙල පෙට්‍රල් ෂෙඩ් හන්දියෙන් ඇරඹෙන කඳාන පාරේ මඳ දුරක් ගිය තැන පේරලන්ද ගම්මානය හමුවෙයි. පේරලන්දට ඇතුළුවන මායිමේ ඇත්තේ වසර ගණනාවකින් පිළිසකර නොකළ ජරාජීර්ණව ඇති ඉපැරණි පේරලන්ද වැවයි. මෙය දැන් සම්පූර්ණයෙන්ම ජපන් පාසි හා ජලජ විවිධ පැළෑටිවලින් වැසී ගොස් ඇත. පේරලන්ද පාරේ පාන්දර යාමයේ වාහනවලින් යන එන සමහරු තම කුණු බක්කිය ලෙස වැව සලකන බව පෙනේ. අපද්‍රව්‍ය, කුකුළු අතුණුබහන් කසළ උරවල දමා වැවට වීසිකර යති. දුර්ගන්ධය ප්‍රදේශයේ සොබා සෞන්දර්යය විනාශ කරයි. පරිසරය දූෂණය කරයි. මාධ්‍ය මඟින් කලෙක සිට මෙම වැවේ ජරාජීර්ණත්වය ගැන පෙන්වා දෙනු ලැබේ. වැව පිළිසකර කරන බවක් දේශපාලන අංශවලින් ඇසේ. ඒත් තවම ආරම්භයක් නැත. ගමට වින්නැහියක් වී ඇති වැව කලක් ගමේ සොබා සෞන්දර්යය වඩවාලූවේය.

පේරලන්ද සා. ජෝශප් විදුහල දැනට වඩා දියුණු මට්ටමකට ගෙන ඒමට වෑයමක් ගත යුතුය. පේරලන්ද මංසන්ධියේ පිහිටා ඇති දුම්රිය ස්ථානය, උප තැපැල් කාර්යාලය, ග්‍රාමීය බැංකුව ගමට ඇති රාජ්‍ය සබඳතා වෙයි. මාර්ග කීපයක්ම පිළිසකර වී ඇති අයුරු ද, කඩාවැටී තිබුණු පේරලන්ද දුම්රිය ස්ථානය අසල සිට ලින්ටන් ක්‍රීඩාංගණය දක්වා පැති කානුව ද ඉතා හොඳින් පිළිසකර කර දීම ග්‍රාමවාසීන්ගේ සතුටට හේතු වී ඇත. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා, ජාඇල ප්‍රාදේශීය සභා සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම, ප්‍රා. ස. මන්ත්‍රී රසික ද සොයිසා යන මහත්වරු ඊට දායක වූහ.

පේරලන්ද දුම්රිය ස්ථානය අසල වොලිබෝල් ක්‍රීඩාංගණය නවීකරණය කර තරුණ පෙළට දායාද කිරීම ද අගය කටයුතුය.

පේරලන්ද දුම්රිය ස්ථානය දැනට වඩා දියුණු මට්ටමකට ගෙන ආ යුතුය. තවත් රාජ්‍ය බැංකුවක අවශ්‍යතාවය පෙනේ. රාගම අතුරු ගම්මාන අතර පේරලන්දට ශීඝ්‍ර දියුණුවක් අවශ්‍ය වී ඇත.

ඩික්සන් කොංගනීගේ -රාගම

නව අදහස දක්වන්න