ද. අප්‍රිකාවට එරෙහි අවසන් එක්දින සටන අදයි | දිනමිණ

ද. අප්‍රිකාවට එරෙහි අවසන් එක්දින සටන අදයි

තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4-0 ක් ලෙස දැනටමත් පරාජයවී සිටින ශ්‍රී ලංකා පිල බලවත් වෙහෙසකින් අද පැවැත්වෙන අවසන් එක්දින තරගය ජයගෙන අවමානයෙන් ගැලවීමේ උත්සහයක නිරතවනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්දින තරගාවලියේදී සිය ගෞරවය ආරක්ෂා කර ගැනීමට ඇති හොදම හා එකම අවස්ථාව ලෙස මෙම අවසන් එක්දින තරගය හැදින්වුවද තරගය පැවැත්වෙන කේප් ටවුන් නිව්ලෑන්ඩ් ක්‍රීඩාංගණය ඉතිහාසයේදී දකුණු අප්‍රිකාවට වාසි ගෙනදුන් ක්‍රීඩාංගණයෙක් වීම හේතුවෙන් ඔවුන්ගේ විශ්වාසය වැඩි කරවන්නක් බවට පත්ව ඇත. මෙම අවසන් සටන දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30 ට තරගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

වේග පන්දුවට තරමක් හිතකර කේප් ටවුන් නිව්ලෑන්ඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරග දෙකක් පවත්වා ඇති අතර එම තරග දෙකම දකුණු අප්‍රිකාව ජය ලබා තිබේ. දකුණු අප්‍රිකාව නිව්ලෑන්ඩ් ක්‍රීඩාංගණයේ එක්දින තරග 35කට සහභාගීවී එයින් 29ක් ජයගෙන ඇති අතර, තරග 6ක් පරාජයවී තිබේ. ශ්‍රී ලංකාව තරග 3කින් තරගයක් ජයගෙන තරග දෙකක් පරාජයවී ඇත.

අවසන් වරට ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර 2017දී මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 40ක ජයක් දකුණු අප්‍රිකාව හිමිකර ගත්තේය. වසර 2013 පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 6ක සියුම් ජයක් ලැබීම පමණක් නිව්ලෑන්ඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට හිමිවූ එකම සුන්දර අත්දැකීම වේ. එහෙත් දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර මෙයට මාසයකට පමණ ඉහතදී පැවැති තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 124ක දැවැන්ත පරාජයක් හිමිවීම තවමත් මතකයෙන් ගිලීහී නැත.

දකුණු අප්‍රිකා සංචාරයේදී සාර්ථක පිතිකරුවෙකු ලෙස දසකම් පෑ කුසල් ජනිත් පෙරේරා සිවුවැනි එක්දින තරගයේ සිට ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටීම මුහුණදෙන ගැටලුවක්වී තිබේ. ශ්‍රී ලංකා පිත්කරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුවද දිගු ඉනිමක් ගොඩ නැගීමට අසමත්වීමෙන් ඉනිම අතර මඟ කඩා වැටීම තරග 4ම පරාජයට ප්‍රධාන හේතුවක් විය. නායක ලසිත් මාලිංග තරග පරාජයෙන් පසු පිතිකරුවන්ට දෝෂාරෝපණ එල්ල කළේ සැලකිය යුතු ඉලක්කයක් සහිත ලකුණු එකතුවක් ශ්‍රී ලංකාවට හිමි නොවීමේ වේදනාවෙනි.

නිමාවට පත්වූ එක්දින තරග හතරේදී ලකුණු 347ක් ලබා සිටිව ක්වින්ටන් ඩී කොක් ශතකයක් හා අර්ධ ශතක 3ක් ලබා සාර්ථකම පිතිකරුබවට පත්ව ඇති අතර නායක ෆෆ් ඩු ප්ලෙසිස් තරග හතරේදී ශතකයක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 248ක් ලබා හොද විශ්වාසයකින් සිටී. පරාජයන් හමුවේ වුවද කුසල් මෙන්ඩිස් තරග හතරේදී අර්ධ ශතකයක් සමග ලකුණු 146ක් ලැබීම ශ්‍රී ලංකාවේ හොදම පිතිකරණ දක්ෂතාවකි. නවක පිතිකරුවන් තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයට ගතයුතු යැයි ප්‍රබල මතයක් ගොඩ නැගී තිබියදී අලුතින් එක්ව සිටින ඔෂධ ප්‍රනාන්දු නිමාවූ තරග හතරේදී ලකුණු 105ක් ලබා ඇත. අවසන් එක්දින තරගයේදී ඉසුරු උදාන පන්දු 66කදී ලකුණු 78ක් ලබා ගැනීම හේතුවෙන් දකුණු අප්‍රිකානුවෝ මේ තරගයේදී උදාන කෙරෙහි විශේෂ අවධානයකින් පසුවීම පුදුම සහගත නොවනු ඇත.

ආබාධ හේතුවෙන් පළමු තරග 3 ට ක්‍රීඩා නොකළ දකුණු අප්‍රිකානු පිලේ ප්‍රභලතම ක්‍රීඩකයින් වන හෂීම් අම්ලා, ඩුමිනි හා මාක්‍රම් සිවුවැනි එක්දින තරගයේ සංචිතයට කැදවා තිබුණද ඔවුන්ට එම තරගයේ ඉඩක් නොලැබුණි. එහෙයින් අද අවසන් එක්දින ගැටුමේදී ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිකරදී ළග එන විස්සයි 20 තරගාවලියට රිද්මයක් එක්කර ගැනීමේ අවකාශ උදා කරනු ඇතැයි විචාරක මතය වී තිබේ.

ශ්‍රී ලංකා පිල - ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, ලක්ෂාන් සඳකැන්

දකණු අප්‍රිකානු පිල - ෆෆ් ඩු ප්ලෙසිස් (නායක), හෂීම් අම්ලා, කුවින්ටන් ඩි කොක්, පෝල් ඩුමිනි, ඉම්රාන් තහීර්, අයිඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, ලුන්ග් න්ගිඩි, අන්රික් නෝර්ජ්, අන්ඩ්ල් පෙලිකුල්වායෝ, ඩ්වයින් ප්‍රෙටෝරියස්, කගිස් රාබා, ටබ්‍රාස් ශම්සි, ඩේල්ස් ස්ටේන්, රසී ඩුසෙන්.

නව අදහස දක්වන්න