ලෝක ක්‍රිකට් අභිමානයට වසර 23යි | දිනමිණ

ලෝක ක්‍රිකට් අභිමානයට වසර 23යි

දශක දශක 4 කට ඈත ඉතිහාසයක උරුමකම් කියන මෙරට එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ රන් අකුරින් ලියැවුණු දිනයක් වේ නම් ඒ 1996 වසරේ මාර්තු මස 17 වැනිදා දිනය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව හැරවුම් ලක්ෂය බවට පත්වූ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ 6 වැනි තරගාවලිය හෙවත් විල්ස් ලෝක කුසලාන ශ්‍රී ලංකාව අප දිනා ගත්තේ එදිනය. එදා දිනූ ඒ කුසලාන නොවන්නට අදටත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචිව තිබෙන තවත් එක් ක්‍රීඩාවක් වන්නට ඉඩ තිබිණ.

අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එදා ඒ දිනූ මේ සුවිශේෂී කුසලාන නොවන්නට කෝටිපති ව්‍යාපාරිකයින් දෙපිළකට බෙදී සිදු කරන බල අරගල නැති වන්නට තිබුණි. මේ කුසලාන නොවන්නට මෙකී පිරිස් බලනයට ඒමට දත කන්නේ නැත. කියන තරම් මෙරට ක්‍රිකට් ජනප්‍රිය වන්නේද නැත. එමෙන්ම දැනට අප වෙත ලැබෙන්නා වූ මළු ගණන් වලින් වූ ඩොලර් කුට්ටිද නැත. එපමණක් නොව ලෝක සිතියමේ පෑන් තුඩකට හා සමාන ශ්‍රී ලංකාව නම් කුඩා දිවයින ලෝකය තුළ මෙතරම් කීර්තියකට ලක් වන්නේද නැත.

ක්‍රිකට් උපන් සුද්දගේ රටට තවමත් ලෝක කුසලානයනක් දිනා ගත නොහැකි වී ඇති සමයක අප අත්පත් කරගන්නා ලද ඒ සුවිශේෂී ජයග්‍රහණය මෙරටට මහ මෙරකි. ක්‍රිකට් ලොව පතාකයන් වූ මාක් ටේලර්ගේ නායකත්වයෙන් යුතු ඔසට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලබා දුන් ලකුණු 242 ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ග්ලෙන් මැක්ග්‍රා විසින් යවන ලද පන්දුව අර්ජුන රණතුංගයන් විසින් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ සීමාවට යවමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ ඒ සුවිශේෂී ජයග්‍රහණය එදා වාර්තා කළේය.

එබැවින් එම වර්ෂය, මාසය සහ දිනය අප හදවත්වලින් කිසිදාක අමතක නොවනු ඇත. එම සදා අනුස්මරණීය වූ මොහොතට හෙට (මාර්තු 17 දා) දිනට හරියටම වසර 23 ක් සපිරෙනු ඇත. මෙතරම් කලක් ගත වුණද එදා අර්ජුන රණතුංග ප්‍රමුඛ සිංහ කැළ ලබාගත් ඒ සුවිශේෂී ජයග්‍රහණයේ වටිනාකමේ නම් තවමත් අඩුවක් වී නැත. මෙරට ක්‍රිකට් වංශ කතාවට ස්වර්ණමය පරිච්ඡේදයක් එක් කළ, එසේත් නැතිනම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කරන ලද ඒ අසිරිමත් ජයග්‍රහණය නැවත සිහිපත් කර ලීම වෙනුවෙන් සහ එම ජයග්‍රහණයට උරදුන් කණ්ඩායමේ සාමාජිකයන්, පුහුණු අංශය සහ එවකට පරිපාලනයේ යෙදුණවුන් ට උපහාරයක් විදියට මෙම සටහන තැබීමට 'දිනමිණ' අපේ ක්‍රීඩා අංශය කටයුතු කළා.

- චමිල කරවිට

නව අදහස දක්වන්න