පොලීසිය - සෙරන්ඩිබ් පාපන්දු අවසන් සටන හෙට | දිනමිණ

පොලීසිය - සෙරන්ඩිබ් පාපන්දු අවසන් සටන හෙට

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා පොලීසිය හා මාවනැල්ල සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජ අතර අවසන් මහා තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද හෙට පැවැත්වෙයි.

මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් පරාජයට පත්වූ නිව් ස්ටාර් හා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල පිල අතර තෙවැනි ස්ථානය තෝරා ගැනීමේ තරගය අද පස්වර් 3.30ට කැළණිය පාපන්දු සංකීර්ණ පිටියේදී පැවැත්වෙයි.

අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා පොලීසිය වෙතින් නිව් ස්ටාර් පිල ගෝල් 4-0කින් හා මාවනැල්ල සෙරන්ඩිබ් වෙතින් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩල පිල ගෝල් 3-1කින් පරාජයට පත්වී මෙම අවසන් සටන නිර්මාණය විය.

ක්‍රීඩා සමාජ පළමු පෙළ ප්‍රීමියර් ලීග් තරගාවලිය අවසන් සටනින් ජය ගන්නා කණ්ඩායම චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියට උසස්වීම් ලබන අතර, ශූරයින්ට හා අනු ශූරයින්ට මුදලින් තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා පොලීසිය සුපර් සික්ස් වටයේදී සාන්ත මේරී පිල ගෝල් 3-1කින්, මොරගස්මුල්ල යුනයිටඩ් පිල ගෝල් 2-1කින් හා සෙරන්ඩිබ් පිල ගෝල් 4-1කින් පරාජය කිරීමට සමත් විය. පොලිස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහින්ද ගලගෙදර මහතා කටයුතු කරන අතර ජාතික පිලට ක්‍රීඩා කළ චතුර ගුණරත්න ඇතුලු දක්ෂ ක්‍රීඩකයින් රැසකගෙන් එම කණ්ඩායම සන්නද්ධව සිටී.

මාවනැල්ල සෙරන්ඩිබ් සුපර් සික්ස් වටයේදී ගමනා ගමන මණ්ඩල පිල ගෝල් 2-1කින්, නිවි ස්ටාර් පිල ගෝල් 2-0කින් ජයගත් අතර ශ්‍රී ලංකා පොලීසිය සමග පැවැති තරගය ගෝල් 4-1කින් පරාජයට පත් විය. සෙරන්ඩිබ් පුහුණුකරු ලෙස ජාතික පිලට හා යුද හමුදාවට ක්‍රීඩා කළ මොහොමඩ් ඉසෙදීන් මහතා කටයුතු කරන අතර මෙවර තරගාවලියේ පෙරැළිකාරී කණ්ඩායමක් බවට පත්ව ඇත.

 

නව අදහස දක්වන්න