ගෝලීය උණුසුම මැද ජගත් පරිසර සමුළුව | දිනමිණ

ගෝලීය උණුසුම මැද ජගත් පරිසර සමුළුව

‘පාරිසරික අභියෝග සඳහා නවෝත්පාදන විසැඳුම් ධරණීය නිෂ්පාදනය හා ධරණීය පරිභෝජනය‘ යනු මෙවර එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ (UNEA) 4 වෙනි සැසිවාරයේ තේමාවය. කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේදී ඉකුත් 11 වැනිදා ආරම්භ වූ එය ඊයේ නිමාවට පත්විය. පරිසරය පිළිබඳ තීන්දු - තීරණ ගන්නා ලොව ඉහළම පෙළේ ව්‍යුහය වන ඊට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම නියෝජනය කරමින් රාජ්‍ය නායකයෝ සහ පරිසර ඇමැතිවරුන් ද, බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීහු ද සහභාගි වෙති. සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එය ඇමතුවේ ඉකුත් බ්‍රහස්පතින්දාය. මෙවර සමුළුවේ සභාපතිත්වය හිමිව තිබුණේ එස්තෝනියාවටය.

ඉහත කී තේමාව ඔස්සේ දිළිඳුකම සහ ස්වභාවික සම්පත් කළමනාකරණයට අදාළ පාරිසරික අභියෝග මෙන්ම ඒ යටතේ ධරණීය ආහාර රටා, ආහාර සුරක්ෂිතතාව හා ජෛව විවිධත්ව හානි ද බලශක්ති කාර්යක්ෂමතාව, බලශක්තිය, රසායනික හා කසළ කළමනාකරණය ද නවෝත්පාදන ධරණීය ව්‍යාපාර සංවර්ධනය හා ඊට සමගාමී ශීඝ්‍ර තාක්ෂණික වෙනස්කම් ද මෙවර සමුළුවේ ප්‍රමුඛ අවධානය යොමුවූ කාරණාය.

ජෛව විවිධත්ව විනාශය

ස්වභාවික සම්පත් නිස්සාරණය දේශගුණික විපර්යාස හා ජෛව විවිධත්වය කෙරෙහි ඇතිකර තිබෙන බලපෑම ද මෙවර අවධානයට යොමුවූ ප්‍රධාන මාතෘකාවකි. 1970 සිට සම්පත් නිස්සාරණය තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. පොසිල ඉන්ධන දහනය 45% කින් ඉහළ ගොසිනි. හරිතාගාර වායු මුදාහැරීම 43% ක වැඩිවීමකි. මේ සංඛ්‍යා දත්ත මඟින් පමණක් පිළිබිඹු වන චිත්‍රය වුවද ඉතා අමිහිරිය. ගෝලීය උෂ්ණත්වය ඉහළ නැඟීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති හරිතාගාර වායු විමෝචනය ඉහළ යාම සලකන විට ඉන් හරි අඩකටම වගකිවයුතු වන්නේ පොසිල ඉන්ධන දහනය හා ආහාර සැකසුම් බව පැහැදිලි වී තිබේ. ජෛව විවිධත්ව විනාශයට 90% ක් පමණ වගකිවයුත්තේ දේශගුණික විපර්යාස බව විද්‍යාඥයන්ගේ අදහසය.

වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් හා හරිතාගාර වායු ඉහළ නැඟීමට ගවමස් සැකසීමේ කර්මාන්ත වැඩිම දායකත්වයක් දක්වා ඇත. එබැවින් එම මාංශ පරිභෝජනය අවම කර ගැනීම යනු වායුගෝලීය හරිතාගාර වායු ප්‍රතිශතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දැමීමකි. ලෝකයේ නගර විසින් වායුගෝලයට මුදාහරිනු ලබන හරිතාගාර වායු ප්‍රතිශතය 60 - 80% පමණ වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් උද්ගතව ඇති ස්වභාවික ආපදා හා ව්‍යසනවල ආර්ථික හානිය ද ඉතා විශාලය.

මේ කාරණා තේරුම් ගනිමින් සිටීමත් සමඟ පරිසර හිතකාමී නිෂ්පාදනයන්ට හා පරිභෝජන රටාවකට යම් නැඹුරුවක් ද ඇතිවෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ මූලාශ්‍රවල දැක්වෙන පරිදි මාංශ ආදේශන ආහාර පරිභෝජනය ඉහළ යමින් පවතී. වසර 2025 වන විට මාංශ ආදේශන වෙළෙඳ පොළේ වටිනාකම ඇ. ඩො. බිලියන 7.5 ක් වශයෙන් ගණන් බලා තිබේ.

ධරණීය ආර්ථිකයේ වටිනාකම ඇ. ඩො. ට්‍රිලියන 12 ක් වශයෙන් ගණන් බලා ඇත. එමඟින් රැකියා මිලියන 380 ක් උත්පාදනය කළ හැකිය. අද වන විට පාරිසරික අභියෝගයක් බවට පත්ව ඇති ප්ලාස්ටික් පිළිබඳ ප්‍රශ්නයට පිළියම් යෙදීම සඳහා ඒක පුද්ගල ප්ලාස්ටික් භාවිතය වසර 2030 වන විට අවම කිරීම පිළිබඳ ද අවධානයට ලක්වී තිබේ. සමුද්‍ර පරිසර පද්ධතිය දූෂණය වීමට ප්‍රමුඛ හේතුවක් වී ඇත්තේ ක්ෂූද්‍ර ප්ලාස්ටික්ය. ප්ලාස්ටික් භාවිතය අවම කිරීම යනු එවැනි ප්‍රබල පාරිසරික අභියෝග ගණනාවකට පිළියම් යෙදීමකි. මේ පිළිබඳ පාරිසරික සමුළුවේ සභාපතිවරයා විසින් නියෝජිතයන්ගේ අවධානයට යොමුකර තිබේ.

ගෝලීය න්‍යාය පත්‍රයක්

පාරිසරික අභියෝග සඳහා පිළියම් යෙදීමේදී ගෝලීය ක්‍රියාන්විතයන් අවැසිය. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ වැඩබලන අධ්‍යක්ෂවරිය ජොයිස් මෂූයා පෙන්වා දුන් පරිදි දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ නොපමාව අවධානය යොමුවිය යුතුය. දේශගුණික විපර්යාස ආශ්‍රිත දිළිඳුබව, පරිසර දූෂණය, ජෛව විවිධත්ව විනාශය වැනි කාරණා පිළිබඳ පසුවට කල්තබා විසැඳුම් සෙවීමට නොහැකි බව ඒත්තු ගෙන තිබේ. ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්‍රන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගෝලීය න්‍යාය පත්‍රයක් පිළියෙල කිරීම පිළිබඳ කාරණය ඉදිරිපත් කර ඇත.

හතරවැනි සමුළු වාරයේ සභාපතිවරයා අවධාරණය කරන පරිදි මෙම කාරණා පිළිබඳ අවධානය යොමුකරමින් ප්‍රතිපත්ති සම්පාදනය, නවෝත්පාදන සංස්කෘතියක් ගොඩනැඟීම, අනාගතයේදී හරිත කරපටි රැකියා (Green Collared Jobs) නිර්මාණය කිරීම වෙනුවෙන් අධ්‍යාපනය සඳහා ආයෝජනය, හරිත ආයෝජන වැනි අංශ පිළිබඳ සාමුහිකව අවධානය යොමුකිරීම මෙන්ම ප්‍රායෝගික පියවර ගැනීම ද විය යුත්තකි. සභාපතිවරයා අපේක්ෂා සහගතව පවසන්නේ මෙවර සමුළුව ගෝලීය ආර්ථිකය හා සමාජයට ද ධනාත්මක බලපෑමක් ඇතිකිරීමට හේතුවනු ඇති බවය.

මිහිතලයේ නීරෝගී සෞඛ්‍ය වෙනුවෙන් ගත හැකි පිළියම් සඳහා යොමුවීමට මෙවර සමුළුවේදී හැකියාව ලැබෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ වැඩබලන අධ්‍යක්ෂවරිය ජොයිස් මෂුයා විශ්වාසය පළකර තිබිණි.

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ පසුගියදා අවධාරණය කළ පරිදි දේශගුණික විපර්යාස අපට ඇති ‘බලවත්ම තර්ජනය යි‘ එය ශිෂ්ටාචාර බිඳදැමීමට තරම් හේතුවනු ඇති බව ඔහුගේ අදහසය. එම ඛේදවාචක බොහොමයක් මිනිසා විසින්ම නිර්මාණය කර ඇති ඒවා බැවින් ඒවාට විසැඳුම් සැපයිය යුත්තේ ද සොබාදහම නොව මිනිසා විසින්මය.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෝලන්තයේදී පැවැත්වූ සාකච්ඡාමය සැසියකදී මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් අවධාරණය කර තිබුණේ දේශගුණික විපර්යාස යනු ජීවිතය සහ මරණය අතර කාරණයක් බවට පත්ව ඇති බවය. එය බොහෝ රටවල් සම්බන්ධයෙන් අදාළය. කාබන් අවම ආර්ථිකයක් ගැන සිතන්නට හා ක්‍රියාත්මක වීමට ලෝකයට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දී තිබිණි. මේ අදහස් ඔස්සේ ඉදිරි පියවර ගැනීම පැවරී තිබුණේ පරිසර සමුළුවේ 4 වැනි සැසිවාරයටය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ නැඟීම සෙල්සියස් අංශක 1.5 කින් අඩුකරගත යුතුය යන්න දැනට ඇති ඉලක්කයයි. එය සපුරා ගැනීමට නම්, වසර 2030 වන විට හරිතාගාර වායු විමෝචනය 45% කින් අඩුකරගත යුතුය. එසේ වුවද මෑතදී සිදුකළ අධ්‍යයනයකින් පැහැදිලි වූයේ කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම වැඩිවෙමින් ඇති බවයි. ඉදිරි වසර දෙක තීරණාත්මක බව සලකා වහා ක්‍රියාත්මක විය යුතුය යන්න විද්‍යාඥයන්ගේ අදහසය.

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ පළමු හා දෙවැනි සැසිවාරවලදී ප්‍රමුඛ අවධානය යොමුවූයේ වනජීවීන් නීති විරෝධී වෙළෙඳාම, වායුගෝලීය ගුණත්වය, පාරිසරික නීති, හරිත ආර්ථිකයක් සඳහා මූල්‍යයනය, ධරණීය සංවර්ධන ඉලක්ක වැනි මාතෘකාය.

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 4 වැනි සැසිවාරය කෙන්යාවේදී පැවැත්වෙන විට ලොව පුරා රටවල් 100 ක පමණ පාසල් සිසු සිසුවියන් දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගය කෙරෙහි අවධානය යොමුකරවමින් පංති කාමරවලින් පිටතට පැමිණ හඬ නැඟීම ද විශේෂ කාරණයකි. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මහලේකම් කුමී නායිදු සඳහන් කර තිබූ පරිදි මේ සඳහා පාසල් දරුවන්ට ඉගෙනීමට ඇති කාලය පරිත්‍යාගය කිරීමට සිදුවූයේ වැඩිහිටියන්ට නිවැරැදි ලෙස කිරීමට බලකිරීම වෙනුවෙනි. මෙය එක්සත් රාජධානියේ දියත් වූ ප්‍රමුඛ පෙළේ පංති වර්ජනයක් වූ බව වාර්තා විය. එමෙන්ම මෙය දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගය සම්බන්ධයෙන් මෙතෙක් මතු වූ දැවැන්තම විරෝධතාවක් ද වේ. ලෝක නායකයන්ට පාසල් ළමුන්ගේ හඬට කන්දීමට සිදුවනු ඇතැයි විචාරකයෝ කියා සිටියහ.

පෞද්ගලික අංශයේ සහභාගීත්වය

මෙවර පරිසර සමුළුව ආරම්භයේදීම පසුගියදා ඉතියෝපියාවේ සිදුවූ බෝයිං 737 ගුවන් අනතුරින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් 22 දෙනා වෙනුවෙන් ශෝකය පළකිරීම ද සිදුවිය. ඔවුන් සිය ජීවිත එලෙස නිමාකර තිබුණේ මෙම පරිසර සමුළුව සඳහා සහභාගිවීම සඳහා කෙන්යා‍වට පැමිණෙන අතරවාරයේය. එ. ජා. පරිසර වැඩසටහනේ වැඩබලන අධ්‍යක්ෂවරිය ඔවුන් පිළිබඳ සිහිපත් කරමින් සංවේදී වූවාය. එම මූලස්ථාන පරිශ්‍රයේ එ. ජා. ධජ අඩකුඹු කරමින් එම පිරිසට ගෞරවය පුදකර තිබුණි.

දේශගුණික විපර්යාස ඇතුළු පාරිසරික අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍ය අංශයේ ප්‍රමුඛත්වය මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය ද අවධාරණය කර තිබේ. හුදෙක් රාජ්‍ය අංශයට පමණක් තනිව ක්‍රියාත්මක විය නොහැකි තරමට අර්බුදය වැඩී අවසන්ය. මෙම සමුළුව සඳහා මුල්පෙළේ බහුජාතික සමාගම්වල ප්‍රධානීන් සහභාගි කරගැනීමෙන් අපේක්ෂා කෙරුණේ එම දායකත්වය ලබාගැනීම විය යුතුය. එමෙන්ම ඇතැම් පාරිසරික ගැටලු නිර්මාණය කිරීමට ද මුල් පෙළේ සමාගම් හේතු වී ඇති බව ද අවධානයට ලක්විය යුතුය. එම ගැටලු පරිසරයට ඉහඳ තබමින් මිනිසාගේ සෞඛ්‍යයට ද බලපෑම් එල්ල කර හමාරය.

මේ සියල්ලෙන් පිළිබිඹු වන පරිදි පරිසරය රැකගැනීම හා මතු පරපුරට දායාද කිරීම වෙනු‍ෙවන් සාමුහික ක්‍රියාමාර්ගයන් මිනිස් සංහතිය ඉදිරිපිට තිබේ. එය මෙවැනි සමුළු - සාකච්ඡා - සම්මන්ත්‍රණ පැවැත්වීම මඟින් පමණක් ඉටුකළ නොහැකිය. එසේ නම් විය යුත්තේ, එවායේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ, සම්මත කරන යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගබලා ගැනීමය. එසේ නොවන තාක් දුරට ඉදිරි සැසිවාරවලදී ද සාකච්ඡා කිරීමට සිදුවනු ඇත්තේ මේ අර්බුදවල ඉදිරි වර්ධනයන් ගැනය. කිසි විටෙකත් එතෙක් පමාවිය යුතු නැත.!

ධම්මික සෙනෙවිරත්න

නව අදහස දක්වන්න