දියුණුවට පාරවල්! | දිනමිණ

දියුණුවට පාරවල්!

රට පුරා මාර්ග දෙසීයක් අද ජනතා අයිතියට පත් කෙරේ. මෙය සුවිශේෂී අවස්ථාවක් වන්නේ මාර්ග යනු රටේ දියුණුවේ සං‍කේතය වන බැවින් ය. ගමනාගමනය, ප්‍රවාහනය හා සන්නිවේදන සංවර්ධනයේ මූලික ලක්ෂණ බව සඳහන් වේ. ප්‍රාථමික සමාජය සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන ගියේ පරිභෝජනය සඳහා පමණි. එම කාලය තුළ ගමනාගමනය, ප්‍රවාහනය හා පාරවල් ඒ තරම් වැදගත් නොවීය. එහෙත් අද නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන ය. ඒ අනුව පාරවල් හා ප්‍රවාහනය අතිශයින් ම වැදගත් වේ. ආණ්ඩුව මේ තත්ත්වය වටහාගෙන මාර්ග සංවර්ධනයට ප්‍රධාන තැනක් ලබා දී ඇත.

මාර්ග දෙසීයක් සංවර්ධනය කිරීම යනු සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවේ. අමාත්‍ය කබීර් හෂීම් මහතා පෙන්වා දෙන ලෙස මේ සඳහා රුපියල් කෝටි තුන් දහසක් වැය කර තිබේ. අද ජනතා අයිතියට පවරන මාර්ග අතර මාවනැල්ල - ගම්පොළ මාර්ගය, මාවනැල්ල - රඹුක්කන මාර්ගය, මාවනැල්ල - අරනායක මාර්ගය හා මීගමුව - කොච්චිකඩේ මහ පාලමත් පවතී. මේ මාර්ග මීට පෙර පැවැතියේ බෙහෙවින් අබලන් තත්ත්වයක ය. ඉහත මාර්ග පමණක් නො ව; රටේ බොහෝමයක් මාර්ග අබලන් වී තිබිණි. දීර්ඝ කාලයක් තිස්සේ අලුත්වැඩියා නොකිරීම ද නවීකරණයට ලක් නොවීම ද ‍ඊට හේතුව ය. දැන් ඒ දෙක ම ඉහත මාර්ගවලට ලැබී තිබේ.

අපේ ඉතිහාසය ගතහොත්; විදේශාධිපත්‍යයට පෙර ද රටේ දියුණු මාර්ග පද්ධතියක් තිබිණි. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ වැනි පරිපාලන යුගවල ඓතිහාසික මූලාශ්‍ර දෙස බලනවිට ඒ බව පැහැදිලි වෙයි. අනුරාධපුර යුගය ගතහොත්; උතුර, වයඹ හා නැගෙනහිර ප්‍රදේශවල වරායවල් සම්බන්ධ කළ පුළුල් මාර්ග පද්ධතියක් අගනුවර වූ අනුරාධපුරය තෙක් විහිදී තිබිණි. මේ ඔස්සේ අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පවා සිදුවී ඇත. අනුරාධපුර මහාතිත්ථ මාර්ගය, අනුරාධපුර - ගෝකණ්ණ මාර්ගය අප කියන සාධකය තවදුරටත් සනාථ කරනු ඇත. ක්‍රි.පූ. දෙවන සියවසේ පවා ශ්‍රී ලංකාව මාර්ග සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකර ඇති බව පෙනෙයි.

රටක ඇති මාර්ග පද්ධතිය; එම රටේ සංවර්ධනයට අදාළ ප්‍රධාන අවශ්‍යතා හතරක් ඉටුකරයි. එක; සමාජ සම්බන්ධතා පුළුල් කිරීම ය. දෙක; සමාජ සංචලනවලට අවකාශය සැලසීම ය. තුන ආර්ථික හා වාණිජ කටයුතු ව්‍යාප්ත කිරීම ය. හතර; පරිපාලනය පහසු කිරීම ය. සංවර්ධනය පිළිබඳ විශේෂඥයන්ගේ එක් මතයක් වන්නේ දියුණුව අ‍ෙප්ක්ෂා කරන අය සෙසු ලෝකය සමඟ ගනුදෙනු ආරම්භ කළ යුතු බව ය. වෙනත් වචනයකින් කිවහොත් හුදෙකලාව සිටීමෙන් ගමත්, නගරයත්, පළාතත් රටක් දියුණුවන්නේ නැත. ඈත පිටිසර ඇතැම් ගම්මාන තව ම හුදෙකලා ය. ඊට ප්‍රධාන හේතුව ගමට යන පාරක් නොතිබීම ය. “අපට පාරක් ඉදිකර දෙනු!” යනුවෙන් විරෝධතා දක්වන පිරිස් ඊයේ පෙරේදා වන තෙක් ම දැකගන්නට ලැබිණි.

යටත්විජිත පාලන සමයෙහි විදේශිකයන් මෙරට ගමනාගමනය හා ප්‍රවාහනය ගැන දැක් වූ උනන්දුවෙන් ද රට හා රටේ සංවර්ධනය පිළිබඳ එක්තරා රහසක් හෙළිවෙයි. එනම්; ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා මෙන් ම පරිපාලන කටයුතු සඳහා ද දියුණු ගමනාගමනයක් හා ප්‍රවාහන මාධ්‍යයක් අවශ්‍ය බව ය. ලන්දේසි සමයේ ඇළ මාර්ග ඉදිකළ අතර ඒ ඔස්සේ බත්තල් හා බෝට්ටු මඟින් භාණ්ඩ ප්‍රවාහනය සිදුවිය. ඉංග්‍රීසි සමයේ උඩරට දුම්රිය මාර්ග ද, මහා මාර්ග ද ඉදිවිය. කෝපි, තේ හා කුළුබඩු ප්‍රවාහනය සිදුවූයේ දුම්රියෙන් ය. වතු වගාව මුළුමනින් ම පාහේ දියුණු වූයේ දුම්රිය මාර්ග හා මහාමාර්ග නිසා යැයි සිතන්නට පුළුවන. අදටත් එම සත්‍යය එසේ ම පවතී. ආර්ථික දියුණුවේ රහස ගමනාගමනය හා ප්‍රවාහනය මත රැඳී පවතී.

මහාමාර්ග නඩත්තු කිරීම සඳහා රජයක් කෙතරම් කැපකිරීමක් කළ යුතු ද යන්න අපේ ඉතිහාසයෙන් ද පැහැදිලි වෙයි. වැඩවසම් පාලන ක්‍රමය යටතේ ඉඩම් සංවර්ධනයට මෙන් ම මාර්ග සංවර්ධනයටද ජනතාව අනිවාර්යයෙන් ම සහභාගි විය යුතුව තිබිණි. ඉංග්‍රීසි පාලනය යටතේ මාර්ග නඩත්තුව සඳහා විශේෂ බදු ක්‍රමයක් ක්‍රියාත්මක විය. දඩ ක්‍රමයක් හා වැඩ ක්‍රමයක් ද ක්‍රියාත්මක විය. දියුණු රටවල් රජයේ වියදමින් මාර්ග නඩත්තුව, අධිවේග මාර්ග ඉදිකිරීම හා පාලම් ඉදිකිරීම සිදුකරයි. ඒවායෙහි වියදම් පියවාගැනීම සඳහා වාහනවලින් ගාස්තුවක් අය කරයි. ශ්‍රී ලංකාව පොදු පහසුකම් සැපයීම සිදුකරන්නේ රජයේ වියදමින් ය. ඒවා නඩත්තු කරන්නේ ද රජයේ වියදමින් ය. ඒ වෙනුවෙන් මහජනයාගෙන් විශේෂ ගාස්තුවක් අය කරන්නේ නැත. අධිවේගී මාර්ග භාවිතයේ දී පමණක් සුළු ගාස්තුවක් අය කරයි. මේ අනුව බලනවිට පෙනී යන්නේ මාර්ග නඩත්තුව හා සංවර්ධනය සඳහා රජය ගෙන යන ක්‍රියාවලිය අගය කළ යුතු බව ය.

අපේ මහාමාර්ග පද්ධතියේ දකින්නට ලැබෙන ප්‍රධාන අඩුවක් වන්නේ ඒවායෙහි නඩත්තුව නිසි පරිදි සිදුනොවීම ය. අදාළ ආයතනවල වැඩි අවධානය ‍ප්‍රධාන මාර්ග කෙරෙහි යොමු වී ඇති අතර අප්‍රධාන මාර්ග, අතුරු මාර්ග නඩත්තුව දුර්වල ය. ඒ හැරෙන්නට ඒවා නවීකරණයට ලක්වන්නේ ද අඩුවෙන් ය. මාර්ගවල පවතින අඩුපාඩු රිය අනතුරුවලට ද හේතුවක් බව කියැවේ. මාර්ගවල අඩුපාඩු නිසා රථවාහන ඉක්මනින් ම අබලන් වන බවට චෝදනාවක් ද තිබේ. දිනපතා ජනමාධ්‍ය ඇසුරු කරන කෙනකුට මාර්ග අඩුපාඩු ගැන කියැවෙන ප්‍රවෘත්ති දිනපතාම පාහේ අසන්නට දකින්නට ලැබේ. මේවායේ දී බොහෝවිට විවේචනයට ලක්වන්නේ පවතින ආණ්ඩුව බව ද සිහිපත් කළ යුතු ය.

ඇතැම්විට දේශපාලකයන් මැතිවරණ සමයේ දී ජනතාවට ලබාදෙන ජනප්‍රිය පොරොන්දුවක් වන්නේ ගමට එන පාර හා පාලම තනා දෙන බව ය. ජනතාව ඊට හොඳින් ප්‍රතිචාර දක්වා අදාළ මහජන නියෝජිතයාට ඡන්දය ලබාදෙන බවද පිළිගත හැකි සත්‍යයෙකි. එහෙත් මාර්ග සංවර්ධනය ඡන්ද පොරොන්දුවකට සීමා කළ යුතු නැත. මාර්ග යනු රටේ අනාගතය යැයි කියන්නට පුළුවන. දරුවන්ගේ අධ්‍යාපනයට, කර්මාන්ත බිහිවීමට, රැකියා බහුලවීමට, ගම දියුණුවීමට මාර්ග අවශ්‍ය වේ. මාර්ග ඉදිකිරීම මෙන් ම ඒවා නඩත්තු කිරීම ද මෙහිදී වැදගත් වෙයි. අලුත් මාර්ග ඉදිකොට ඒවායෙහි නඩත්තුව අතහැර දැමුවහොත් එම මාර්ග සංවර්ධනය යහපත් ප්‍රතිඵල උදාකරන්නේ නැත.

වත්මන් ආණ්ඩුව මීට සති දෙකකට ඉහත දී පාසල් ගොඩනැඟිලි දෙසීයක් එකවර ජනතා අයිතියට පත් කළේය. අද දිවයින පුරා මාර්ග දෙසීයක් ජනතා අයිතියට පත්කරයි. ආණ්ඩුව ජනතාවගේ පොදු පහසුකම් ගැන ද රටේ අනාගතය ගැන ද අලුතින් හිතන බව පෙනෙයි. එය සාධනීය ලක්ෂණයෙකි.

 


නව අදහස දක්වන්න