පොලිස්-යුද අවසන් පූර්ව වටයට | දිනමිණ

පොලිස්-යුද අවසන් පූර්ව වටයට

ෆවුස් මොහොමඩ්

ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයෙන් සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩකයන් මෙල්ල කළ යුද හමුදා ක්‍රීඩා සමාජය දෙපිල අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 32-22ක ජයක් ලබා ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සේන්දුවීමට සමත්විය.

කොළඹ තුරඟ තරග පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 17-12කින් පෙරමුණ ගැනීමට සී.එච්.පිල සමත්වූවත් දෙවැනි භාගයේදී අශේන් බණ්ඩාර තැබූ උත්සාහක දිනුම් ද්විත්වයත්, මධුර බණ්ඩාරගේ උත්සාහක දිනුමත් හේතුවෙන් යුද හමුදා පිල අවසන් පූර්ව වටයට යද්දී තරගාවලියෙන් ඉවත්වීමට සී.එච්.පිලට සිදුවිය.

යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට උත්සාහක දිනුම් 5ක් ඇතුළත් වූ අතර ඉන් උත්සාහක දිනුම් 2ක් ගෝල බවට පත් විය. මීට අමතරව ඔවුහු දඬුවම් පහරක් ද සාර්ථක කරගත්හ.

සී.එච්.පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුම් 3ක් පමණි.

පොලිසියට සී.ආර්.පරදියි

මේ අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී විස්මිත පෙරළියක් සිදු කළ පොලිස් ක්‍රීඩා සමාජය ප්‍රබල ක්‍රීඩකයන් රැසකින් සමන්විත සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 28-15කින් පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පසුගියදා සමත්විය.

පොලිස් ක්‍රීඩා සමාජය තරගය පුරා ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3ක් වාර්තා කළ අතර සී.ආර්.පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුම් 3ක් පමණි.

ක්ලිෆර්ඩ් කුසලානයේ වත්මන් ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් නිතරග ජයක් ලැබූ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ මස 19 සහ දෙවැනි අවසන් පූර්ව තරගය 21 දා පැවැත්වෙන අතර අවසන් මහා තරගය 24 වැනිදා පැවැත්වීමට නියමිතය.

 


නව අදහස දක්වන්න