මිය­න්මා­ර­යෙන් ඉඟුරු ගෙන්වී­මෙන් ගොවීන්ට දුෂ්ක­රතා | දිනමිණ


 

මිය­න්මා­ර­යෙන් ඉඟුරු ගෙන්වී­මෙන් ගොවීන්ට දුෂ්ක­රතා

බදු සහන යටතේ මියන්මාර රටින් ඉඟුරු ගෙන්වීම හේතුවෙන් දිවයිනේ ඉඟුරු වගා කරන පන්දහසකට

වැඩි ගොවීන් පිරිසක් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි පැවැසේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉඟුරු රට තුළම නිෂ්පාදනය වෙමින් පැවැතිය දී ව්‍යාපාරිකයන් කිහිප දෙනකු විසින් මියන්මාරයෙන් ඉඟුරු ගෙන්වීම හේතුවෙන් ඉඟුරු මිල ඉතා ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බව ඉඟුරු වගා කරන ගොවීහු සඳහන් කර සිටිති.

මෙතෙක් කලක් අමු ඉඟුරු කිලෝවක් රුපියල් තුන්සීයත්, තුන්සිය පනහත් අතර මුදලකට අලෙවි වූ බවත් එහෙත් මේ වන විට ඉඟුරු කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් එකසිය පනහකටත් රුපියල් දෙසීයකටත් අතර මුදලකට බවත් ඉඟුරු ගොවීහු හෙළිදරවු කර සිටිති. ගොවීන්ගෙන් අඩු මුදලකට මිල දී ගන්නා ඉඟුරු මියන්මාර ඉඟුරු සමඟ කලවම් කර ශ්‍රී ලංකා නාමය යටතේ වැඩි මිලකට වෙළෙඳ පොළට නිකුත් කිරීමේ ජාවාරමක් දියත් කෙරෙන බව ද ගොවීහු පෙන්වා දෙති.

මෙරට පවතින ඉඟුරුවල උසස් තත්ත්වය හේතුවෙන් පිටරටවලින් පවා ඉඟුරුවලට හොඳ ඉල්ලුමක් පවතිත්දී ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු විසින් මෙරට ඉඟුරු නිෂ්පාදනය විනාශ කර දැමීමට කටයුතු කරමින් සිටින බව ද ගොවීහු හෙළිදරව් කර සිටිති. ඉඟුරු මිල පහත වැටීම හේතුවෙන් ඉඟුරු බීජ නිෂ්පාදනය කළ ගොවීහු ද ඉමහත් දුෂ්කරතාවකට පත්ව සිටින අතර, එයට තුඩු දී ඇත්තේ බීජ ඉල්ලුම ඉතා ශීඝ්‍ර ලෙස පහතට වැටීම නිසා බව ගොවීහු සඳහන් කරති.

කලාවැව සමූහ කේ. ජී. සමරකෝන්

නව අදහස දක්වන්න