වැඩියෙන්ම කැමැ­ති අධ්‍ය­ක්ෂ­ණ­යට | දිනමිණ

වැඩියෙන්ම කැමැ­ති අධ්‍ය­ක්ෂ­ණ­යට

 

ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු ලෙස ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි මේනක රාජපක්ෂ, මීට වසර කිහිපයකට පෙර සිය බිරිය නෙහාරා පිරීස් හා විදේශ ගත වූහ. වසර තුනකට පසු, පසුගිය ජනවාරි මාසයේ කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන්, නැවත විදේශගත නොවී රංගන දිවියට අවතීර්ණ වීමට තීරණය කර ඇත.

 

ඔබ නැවතත් කාර්යබහුල ටෙලි නාට්‍ය නළුවාගේ භූමිකාවට පිවිසෙමින් සිටින හැඩයි?

මේ වෙද්දි මම රඟපාන ටෙලි නාට්‍ය තුනක් විකාශය වෙනවා. ඒ, අහස් මාලිගා, හිරු දේව හා මොණර කඩදාසි යි. මොණර කඩදාසි නම් නැවත විකාශනයක් . අනෙක් ටෙලි නාට්‍ය දෙකේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. අහස් මාලිගා සහ හිරු දේව කියන්නෙ, මම ලංකාවට එන විටත් පටන් අරන් තිබුණු ටෙලි නාට්‍ය දෙකක් . අහස් මාලිගා ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වුණේ, ටෙලි නාට්‍යයේ මැද හරියෙදි. හිරු දේව ටෙලි නාට්‍යයේ කොටස් 40 කට පස්සෙයි මගේ චරිතය එන්නෙ.

ඔබ පෙර සේ ම, වෘත්තීය මට්ටමෙන් රංගනට ප්‍රවේශ වෙලාද?

ඔව් . මම නැවතත් වෘත්තීය රංගන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයේ වැඩ කරනවා.

ඔබ ඔබට ලැබෙන හැම චරිතයක්ම බාර ගන්නවද?

හැමදේම නෙමෙයි . ලැබෙන චරිතත් එක්ක මට යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම්, මම එය බාර ගන්නවා . මට කරන්න තියෙන චරිතයෙන් නිර්මාණයට ලැබෙන දායකත්වය ගැන සෑහීමකට පත් වෙන්න බැරිනම්, මම ඒක බාර ගන්නෙ නැහැ.

ඔබ විදේශගත වෙලා අධ්‍යාපනය ලබන්නෙ, කිසියම් වෘත්තියක් අරමුණු කරගෙනද?

රැකියාවක් ඉලක්ක කරගෙනම නෙවෙයි. මම ව්‍යාපාරයක් ඉලක්ක කරගෙනයි ඒ අධ්‍යාපනය ලබන්නෙ. අමෙරිකාවෙදි මම මගේ උපාධිය සම්පූර්ණ කරන්නෙ මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධවයි. ඒ ඉගෙනුම ඇසුරෙන් ව්‍යාපාරයක් ඇරැඹීම, මේ වනවිට හිතේ තියෙන බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව ඉදිරියෙදි ඉෂ්ට කර ගන්නවා. මේ දවස් මම වෙන් කරන්නෙ, රංගන කටයුතුවලට දායක වෙලා, නැවත ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නයි.

ජනප්‍රියත්වයේ උපරිමයේ හිඳි සමයක, ඔබ ශ්‍රී ලංකාව හැරගියේ ඇයි?

දිගු කාලයක් නොකඩවා වැඩ කිරීම නිසා, අපට පොඩි නිදහසකුත් අවශ්‍ය වෙලා තිබුණා. ඒ වගේම, මම මොන ක්ෂේත්‍රයක හිටියත්, මගේ අධ්‍යාපනය සම්පූර්ණ කර ගන්න ඕනැ කියලා පොඩි කාලෙ ඉඳන් ම අපේක්ෂාවක් තිබුණා. ඒක මම ශ්‍රී ලංකාවෙ ඉදන් කර ගන්න උත්සාහ කළා . ඒත්, මෙහෙ තිබුණ කාර්යබහුලකමත් එක්ක, එය කරන්න නොහැකි වුණා. ඒ නිසයි අපි, විදේශයකට ගිහින් අධ්‍යාපනය ලබාගෙන ඇවිත්, ඒ දැනුම ශ්‍රී ලංකාවේ දී පලදායි දෙයක් සඳහා යොදවන්න අදහස් කළේ.

එදා ක්ෂේත්‍රයේ සිටිය දී ඔබට දැනුණු හැඟීම ම, වසර තුනක නිහැඬියාවෙන් පසුවත් අත්විඳිනවද?

නිර්මාණ අතින් නම් පෙර ලැබුණ ලෙස ම ආරාධනා ලැබෙනවා . ඒත්, මට දැන් දැනෙන දෙයක් තමයි, රසිකයන්ගෙ වෙනසක් වෙලා තියෙනවා. එදා, වයස් බේදයකින් තොරවම මා වටා රසික රසිකාවියන් පිරිසක් හිටියා. මට මේ වනවිට එවැනි රසික පිරිසක් ඉන්නවා කියන්න බැහැ . ඒ දවස්වල අවුරුදු හතර පහේ දරුවන් පවා මම කළ චරිතත් එක්ක මට ආදරය කළා. ඊට පස්සෙ ආව නිර්මාණවල චරිතවලට ඒ අය ආදරය කරන්න පටන් අරන් . මේ දේ දුරස් වීමක් නෙමෙයි . ඒත්, මට සිටි රසිකයන්ගේ යම්කිසි අඩුවක් මම දකිනවා.

ඔබට, පෙර ලැබුණු ආදරණීය පෙම්වතාගෙ තැන ලබා ගැනීමේ අභියෝගය, අද ඔබට තිබෙනවද?

මට ලැබෙන චරිතය සියයට දෙසියයක් සාර්ථකව කරන්නයි මම උත්සාහ කරන්නෙ . ඒ නිර්මාණය කොටස් හාර පන්සියයකට එහා එකක්ද? ප්‍රාසාංගිකද? දීර්ඝද? කියලා බලන්නෙ නැහැ. මට ලැබෙන චරිතය මොකක්ද? මම ඒක හරියට කරනවා. අපි කරන හැම චරිතයකටම රසිකයන් ආදරය කළ යුතුයි කියලා මම හිත්නෙත් නැහැ . දැන් මම අහස් මාලිගා ටෙලි නාට්‍යයේ කරන්නෙ දුෂ්ටයගෙ චරිතය. එදා ආදරණීය පෙම්වතාගෙ චරිතය කරපු මගේ වයසේ අය, මේ වෙද්දි ආදරණීය පෙම්වතාගෙ චරිතය කරනවා අඩුයි.

නළුවෙක් විදිහට ලද ජනප්‍රියත්වය, ඔබට කොතරම් බලපෑමක් වෙලා තියෙනවද?

මට අවුරුදු 21 විතර වෙනකම් වෘත්තීය රංගන ශිල්පියෙක් නෙමෙයි . ඊට පෙර කිසි කෙනක් මා දැනගෙන හිටියෙ නැහැ . මට දැන් වයස අවුරුදු 35 ක් වෙනවා. අවුරුදු දාහතරක කාලයක් තුළ තමයි මට මේ හැමදේම ලැබුණෙ . මේ අවුරුදු දාහතරෙනුත් අවුරුදු තුනක් මම ශ්‍රී ලංකාවෙ හිටියෙ නැහැ. ක්ෂේත්‍රයට ආව මුල් කාලෙ, අවුරුදු දෙකක් විතර වෙනතුරුත් මා එතරම් පිරිසක් දැනගෙන හිටියෙ නැහැ. ඔහොම බලද්දි අවුරුදු නවයක් වැනි කාලයක තමයි මට ඒ දේවල් ලැබිලා තියෙන්නෙ. ඒ කාලය තුළ මම ඒ ජනප්‍රියත්වය හා ජනතාවගේ ආදරය වින්දා. මම ශ්‍රී ලංකාවෙන් පිටවෙලා යන්නෙත්, අපට ටෙලි නාට්‍යවලට ඇරියුම් තියෙන කාලෙක, ඒ කියන්නෙ අපට හොඳට වැඩ ලැබෙන කාලෙකයි. වැඩ නැති කාලෙක අපි ශ්‍රී ලංකාවෙන් පිටවෙලා ගියා නෙමෙයි .දැන් මට ආපසු ඇවිල්ලත් වැඩ ලැබෙනවා. ඒ ගැන මම සතුටු වෙනවා.

මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් තිරයේ පෙම්වතුන් ලෙස දකින්න ප්‍රිය කරන රසිකයන්ට, පිළිතුක් දෙන්න හැකිද?

මේ වෙද්දි අපි දෙන්නා එකට රඟපාන නිර්මාණ නැහැ . ඒත්, තව නොබෝ දවසකින් අපි දෙන්නම එකට රඟපායි .

ඔබගේ රංගන දිවිය තුළ සිනමාවට ලබා දී ඇත්තේ අඩු ඉඩක් නේද?

මට සිනමාවේ ලොකුවට නිර්මාණ හම්බ වුණේ නැහැ. චිත්‍රපටවලට සහභාගි වෙද්දි, චරිතයක් තෝරා ගැනීමේ දී මම පොඩ්ඩක් පරෙස්සම් වෙනවා. සිනමාවේ නම් මට ලොකු ආරාධනා ලැබිලා නැහැ. ඉදිරියෙදි චිත්‍රපටයක ආරාධනාවක් ලැබුණොත්, එම චරිතය උපරිමයෙන් කරන්න මම සූදානම්.

ඔබගේ පරම්පරාවේ නළුවන්, අද ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට යොමු වෙද්දි, ඔබ නළුවා කියන තැන නතරව සිටිනවා?

මම රංගනය වඩා අධ්‍යක්ෂණටය කැමැත්තත් දක්වනවා . මම මේ වෙද්දි සැමී පවෙල් කියන විදේශ අධ්‍යක්ෂවරයාගෙන් හා මගේ පළමු ගුරුවරයාගෙන්, රංගනය හා අධ්‍යක්ෂණය ඉගෙන ගනිමින් සිටිනවා. අධ්‍යක්ෂණයට කැමැත්තක් දැක්වුවත්, මම රංගන ශිල්පියෙක්. රංගන ශිල්පියෙක් වෙලා රංගනය සොයමින් යන කාලෙක, අධ්‍යක්ෂණයට අත ගහන්න මම කොහෙත්ම කැමැති නැහැ. මම දැන් හොඳ රංගන ශිල්පියෙක් කියලා කවදාවත්, මට මා ලේබල් කර ගන්න බැරිවෙයි. ඒත්, මම අධ්‍යක්ෂණයට පිවිසෙනවා නම් පිවිසෙන්නෙ, රංගනය ගැන තව ඉගෙනගෙනයි .

ඔබ ශ්‍රී ලංකවෙන් පිටවෙලා සිටි කාලය තුළ, ක්ෂේත්‍රයේ සිදුව ඇති වෙනස්කම ගැන මොකද හිතන්නෙ?

සමහර හොඳ වෙනස්කම් වෙලා තියෙනවා . තවත් සමහර දේ පිළිගත යුතු නැති මටට්මකත් තියෙනවා. පෙර තිබු රාජ්‍ය අනුග්‍රහය මේ වනවිට කලා ලොවේම නැතිවෙලා ගිහින් . ඒ ගැන මම කාටවත් ඇඟිල්ල දිගු කරනවා නෙමෙයි . අපේ රටේ ජන්දයක් තිබ්බොත් තමයි, දේශපාලනඥයන්ට කලාකරුවන් හා ඔවුන්ගේ ප්‍රශ්න මතක් වෙන්නෙ . ජන්දය ජයග්‍රහණය කළාට පස්සෙ, කලාකරුවන් හා ඔවුන්ගේ ප්‍රශ්න අමතක වෙනවා. විදේශ රටවල පවා මම දකින දෙය නම්, කලාව පෝෂණය කළොත් තමයි රටක් වශයෙන් ඒ රට දියුණු වෙන්නෙ. කලාව කියන්නෙ රටක මිනිසුන්ගෙ සිතුම් පැතුම් දියුණු කරගත හැකි විෂයක් . ඒත්, ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් තමන් හැර වෙන පිරිසක් කැපීපෙනෙනවට කැමැති නැහැ. ඒ නිසා ඔවුන් කලාකරුවන්ට සහය දෙන්නෙ නැහැ . මේ ක්ෂේත්‍රයෙන් දේශපාලනයට ගිය අය පවා, මේ ක්ෂේත්‍රයට කරපු යහපතක් නැහැ.

ඔබට දේශපාලනයට එන්න ඇරියුමක් ලැබුණොත්, එය බාර ගන්නවද?

විදෙස්ගත වීමට කලින් මට ඒ වගේ ආරාධනාවක් ලැබුණා. ඒත් මම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව, ඒකට සුදුසු කාලය එය නොවුණු නිසයි. කිසි ම අධ්‍යාපන සුදුසුකමක් නැතිව දේශපාලනයට යන්න මම කැමැති වුණේ නැහැ. ඒත්, දැන් මට අධ්‍යාපන සුදුසුකමක් තියෙනවා. ඒකෙන් මම අදහස් කරන්නෙ නැහැ, මම දේශපාලනයට එනවා කියලා . හැබැයි මම ඉගෙනුම ලබන්නෙ අපේ රටේ මගේ නිර්මාණ බලපු ජනතාවගේ සල්ලිවලින් . මම සාමාන්‍ය පුවලක කෙනෙක්. මගේ රටේ මිනිසුන් කලාකරුවෙක් විදිහට මා පිළි නොගත්තා නම්, මගේ නිර්මාණ නොබැලුවා නම්, අමෙරිකාවෙ අධ්‍යාපනය ලබන්න මුදල් හොයා ගන්නවා කියන එක මට හීනයක් විතරයි . කවදා හරි ඔවුන් මා වෙනුවෙන් වියදම් කළ ඒ මුදල්, ආපසු මගේ රටේ පුරවැසියන්ට ලබාදිය හැකිනම්, එදාට මම ඒ දේ කරනවා.

නැවතත් විදේශගත වෙන්න අදහසක් තියෙනවද?

අපි අධ්‍යාපන කටයුතු සඳහායි විදේශයකට ගියේ . දැන් අපි අපේ අධ්‍යාපනය නිමා කරලා ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්නවා.

අපි අපේ රටේ ඉඳන් ඉතිරි වැඩ කරගෙන යන්නයි

බලාපොරොත්තුව.

ධම්මිකා සුරංජි පති­රණ

 


නව අදහස දක්වන්න