පාසල් හොඳ නම් ළමයින් නරක නැත | දිනමිණ

පාසල් හොඳ නම් ළමයින් නරක නැත

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපන සමාජ විද්‍යා අධ්‍යනාංශයේ
ජේෂ්ඨ කථිකාචාර්ය එස්. ගලගම

පැරණි සමාජයේ දරුවන් හොඳ නරක ඉගෙන ගත්තේ පවුල තුළිනි . සාමාජ විද්‍යාත්මක ලෙස විස්තෘත එසේත් නැත්නම් විස්තීරණ යනුවෙන් හඳුන්වන පවුල්වල පරම්පරා දෙකකට වැඩි සාමාජික සංඛ්‍යාවක් ජීවත් වූහ. එහි දී දරුවන්, මව්පියන්,සීයා, ආච්චි,මී මුත්තා සහ මී ආච්චි යනාදී සාමාජිකයින්ගේ ඇසුරට බඳුන් වූ දරුවන් වැරදි මාර්ගවලට යොමු වූයේ දුලභ වශයෙනි. විස්තෘත පවුල්වල ජීවත් වූ මුහුකුරා ගිය පුද්ගලයින්ගේ අත්දැකීම් මෙන් ම සාමකාමී, දඩබ්බර සදාචාරයට හිතැති යනාදී විවිධ චරිතාංග සහිත පුද්ගලයින්ගේ ඇවතුම් පැවතුම් දරුවන් තමන්ගේ ජීවිතය විනයගරුක කර ගැනීමට දරුවන් උපකාර කර ගත්හ. ඒ හේතුවෙන් වර්තමාන සමාජයට සාපේක්ෂව පැරණි සමාජයේ දරුවන් සංවරකම සහ ශීලාචාරව ජීවත් වීමට හුරු විය.

පවුලෙන් ලැබෙන විනය

සමාජය සංකීර්ණ වී රැකියා සඳහා නගරයට සංක්‍රමණය වු පිරිස් තරගකාරී ජීවිතයට අනුගතවීමත් සමඟ විස්තෘත පවුල බෙදී වෙන් විය . වත්මන් සමාජයෙහි බොහෝ විට දක්නට ලැබෙන්නේ පරම්පරා දෙකක් පමණක් ජීවත් වන න්‍යෂ්ටික පවුල් ය. මෙම පවුල්වල ජීවත්වන දරුවන්ට හොඳ නරක අවබෝධ කර ගැනීම සඳහා ආදර්ශවත් චරිත හමුවන්නේ නැත. මේ නිසා දරුවන් හිතුවක්කාර වී , සමාජයට පටහැනි ක්‍රියාවන්හි නිරත වීමට හුරු වේ.

සම්ප්‍රදායික පවුල්වලට අමතරව බිහි වී තිබෙන බිදුණු පවුල් ( Broken families ) තුළ මව හෝ පියා දික්කසාද වී තිබීම, රට හැර ගොස් තිබීම, මවුපියන් දරුවන්ගෙන් ඈත් වී සිටීම ආදි ලක්ෂණ දැක ගත හැකි වේ. මෙවැනි පවුල්වල දරුවන් බොහෝ විට විනයගරුකව ජීවත් නොවේ. ඇතැම් මවුපියන් නගරයේ රැකියාවන්හි නිරත වන අතරතුර දරුවන් ගම්මානවල ජීවත් වේ . මෙවැනි දරුවන්ද තමන්ගේ නිදහස උපරිම වශයෙන් භුක්ති වීඳී. එහෙත් බොහෝ විට ග්‍රාමීයව ජීවත්වන දරුවන්ගේ නෑදෑ සම්බන්ධතාවල තිබෙන ප්‍රබල බව හේතුවෙන් වැරදි ක්‍රියාමාර්ගවල නොයයි.

පැරණි සමාජයේ මව පවුලෙහි කාර්යයභාර්යය ඉටු කරමින් දරුවන් පිළිබඳව මැනවින් සොයා බැලූවා ය. එහෙත් වර්තමානයේ මව සහ පියා දෙදෙනාම රැකියාවන්හි නිරත වීම හේතුවෙන් දරුවන් පාසල් ගොස් පැමිණීමේ පසු හුදකලාව දිවි ගෙවයි. හුදකලාව දිවි ගෙවීමේදී දරුවන් අසභ්‍ය වීඩියෝ නැරඹීම, ජංගම දුරකථනවලින් විවිධ ක්‍රියා සිදු කිරීම සහ මත්කුඩුවලට පෙළඹවීම යනාදී ක්‍රියාකාරකම්වලට හුරු වේ.

බිඳුණු පවුල් ඔස්සේ යන තවත් පවුල් වර්ගයක් ලෙස ඒක මාපිය පවුල් ( one Parent families) හදුන්වනු ලබයි. විදේශ රටවල ඒක මාපිය පවුල් පිළිබඳ ගැඹුරින් පර්යේෂණ සිදු කර ‍තිබේ. මෙම පවුල්වල මව හෝ පියා පමණක් ජීවත් වේ. යුද්ධය හේතුවෙන් පියා මිය යාම, රැකියාව සඳහා පියා විදෙස්ගත වීම, පවුලෙන් මව හෝ පියා කුමන හෝ ගැටලුවක් නිසා ඈත් වී සිටීම ආදී ලක්ෂණ මෙම පවුල් තුළ දක්නට ලැබේ. ඒක මාපිය පවුල්වල වෙසෙන දරුවන්ගේ විනය පිළිබඳව විවිධ ගැටලුකාරී තත්ත්වයන් මතු වී තිබෙන බව පර්යේෂකයන් සොයා ගෙන තිබේ.

විදේශ රටවලින් හදුන්වා දී තිබෙන අනු යතුරු පවුල් ( Duplicate Key families ) හි ජීවත් වන දරුවන් තුළ ද විනය සම්බන්ධව ගැටලු උග්‍ර වී තිබේ. පවුලෙහි සමාජිකයන් හතර දෙනකු සිටී නම් ඒ හතර දෙනාටම යතුරු හතරක් තිබීම මෙම පවුල්වල ලක්ෂණයක් වේ. මෙය දරුවන්ගේ විනයට දැඩිව බලපාන බව පර්යේෂකයන් ප්‍රකාශ කර තිබේ. මෙවිට පවුලේ සමාජිකයින්ට තමන් කැමති විටක නිවසට පැමිණීමටත්, තමන් කැමති විටක නි‍වෙසින් පිටත් වීමටත් උපරිම නිදහසක් හිමි වේ. උදාහරණයක් ලෙස පවුලක දඩබ්බර පිරිමි දරුවකුට රෑ 12 න් පසුව වුව ද නිවසට පැමිණීමට හැකියාව ලැබීම පෙන්වා දීමට පුළුවන. මෙවැනි පවුල්වල දරුවන් යහළුවන් සමඟ එකතු වී වැරදි ක්‍රියාවන්හි නිරත වීම, අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමට පෙළඹීම, රේස් පැදීමට පුරුදු වීම, ස්නානය කිරීම සඳහා විවිධ ජලජ ස්ථානවලට රහසින් පලා යාමට පුරුදු වීම යනාදී දෑ තුළින් විනය පිරිහීම සිදු වේ. සමාජය දියුණු වී , පහසුකම් වැඩි වීමත් සමඟ විනය පිරීහීමේ තත්ත්වය වැඩි වී තිබේ. අතීත සමාජයට වඩා වර්තමාන සමාජය තුළ විනය කඩ වීම සඳහා අවශ්‍ය සමාජ පසුබිම නිර්මාණය වීම සුලභව දක්නට ලැබේ.

කුඩා කාලයේ පටන්ම තම පවුලෙන් ලැබෙන අත්දැකීම් තුළින් දරුවන් විනය විරෝධී ක්‍රියාවලට පුරුදු වී සිටියේ නම් එම දරුවා පාසලට ගියවිට ද එම ක්‍රියා සිදු කිරීමට පෙළඹේ. එවැනි දරුවන් පාසලේ දී අනෙක් දරුවන් සමඟ අන්තර් සබඳතා පැවැත්වීමේ දී එම විනය විරෝධී ක්‍රියා අනෙක් දරුවන්ට ද පුරුදු වේ. කුඩා කාලයේ දරුවකු එක් රටාවකට අනුගත වුවහොත් එම දරුවා වැඩිහිටියකු බවට පත් වීමෙන් පසුවත් ඒ රටාවම අනුගමනය කිරීමට පෙළඹේ.

පාසල යනු විනය සහ පිරිසුදුකම අතර විශාල සම්බන්ධතාවක් තිබෙන ස්ථානයක් බව විද්වතුන් හඳුන්වා දී තිබේ. අපිරිසුදු පාසලක විනය ඇති කිරීම අපහසු කාර්යකි. උදාහරණයක් ලෙස ඇතැම් පාසල්වල බස් ටිකට් එකක්වත් දමා යෑමට සිතෙන්නේ නැති අතර, ඇතැම් පාසල්වල පිටත තිබෙන කුණු හෝ දැමීමට සිතක් පහළ වීම පෙන්වා දීමට පුළුවන.

පාසල් දරුවන් තුළ විනය ඇති කිරීමේ දී ස්වයං පෙළඹවීම වඩාත් වැදගත් වේ. උදාහරණයක් වශයෙන්,” තම පාසල තුළ බිත්තිවල , ඉරක්වක් ගහන්න මට හිතෙන්නේ නෑ“ යන ස්වයං පෙලඹවීම ඇති විය යුතු ය. ඒ සඳහා විදුහල්පතිවරයා ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයම මහන්සි විය යුතු ය. දරුවකුගේ විනය සම්බන්ධව පාසල් සංස්කෘතිය (School Culture ) සෘජුව බලපාන සාධකයක් බව අමෙරිකානු පර්යේෂකයන් සොයාගෙන ඇත. යහපත් පාසල් සංස්කෘතියක් තිබෙන පාසලක දරුවන්ගේ විනයත් යහපත් වන අතර අයහපත් සංස්කෘතියක් තිබෙන පාසලක දරුවන්ගේ විනයත් අයපත් වේ. දරුවන්ගේ විනය රැකීම සඳහා නීති රීතී ක්‍රියාත්මක කරනවාට වඩා විනය කඩ නොකිරීම සඳහා දරුවන් තුළ අභ්‍යන්තර ස්වයං පෙලඹවීමක් ඇති කිරිම වඩාත් යහපත් වේ. ඒ සඳහා පාසල තුළ දරුවන්ට හිතකර ඉගෙනුම් ක්‍රියාවලීන් නිර්මාණය කිරීම වැදගත් වේ.

පාසලෙන් ලැබෙන විනය

1987 වර්ෂයේ දී අමරිකානු පර්යේෂකයන් වන ඕවන්ස් සහ ස්ටෙන් හෝප් දෙදෙනා , විනය , පිරිසිදුකම සහ පිළිවෙළ , ඒ අදාළ පාසල් සංස්කෘතියේ ළමයින්ගේ හොඳට නරකට බලපාන ආකාරය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ප්‍රශ්න කර පර්යේෂණයක් කර ඇත. එහි දී ඔවුන් තමන් ඉගෙන ගත් පාසල, අපේ නිවෙස, අපේ පවුල, අපේ උප්පත්ති ස්ථානය සහ අ‍පිව සමාජයට දායාද කළ ස්ථානය ලෙස හඳුන්වා දී තිබෙන අතර ඔවුන්ගේ පාසලේ විදුහල්පතිවරයාව , මඟ පෙන්වන්නෙක්, පෝෂණය කරන්නෙක් මෙන් ම මාපියෙක් ලෙස හඳුන්වා දී තිබේ. ඒ අයුරින් යහපත් පාසල් සංස්කෘතියක ජීවත් වූ දරුවන්ගේ තම අධ්‍යාපනය සාර්ථක කර ගනිමින්, සදාචාර සම්පන්න, විනයගරුක ලෙස ජීවත් වීමට හුරු වී සිටිති.

පාසලක ප්‍රචණ්ඩත්වය සහ පාසල් සංස්කෘතිය අතර ලොකු සම්බන්ධයක් තිබේ. උදාරණයක් ලෙස , ගුරුවරයකු මා සමඟ ප්‍රකාශ කළ පරිදි පසුගිය දිනක එක්තරා පාසලක සාමාන්‍ය පෙළ සිසුන් තම පාසලේ සිටින අවසාන දිනයේ දී පාසලේ භෞතික සම්පත්වලට හානි සිදු කිරීමට සැලසුම් කිරීමත්, එය වළක්වා ගැනීම සඳහා ගුරුවරු කිහිප දෙනකු රැකවල් ‍ යොදාගෙන සිටීමත් සඳහන් කළ හැකි ය.

පංති කාමර සංස්කෘතිය (classroom culture) පංතියකින් පංතියකට වෙනස් වේ. පංතිය තුළ කෑ ගැසීම්, අපචාර, අනෙකාගෙන් පිළිතුරු පිටපත් කිරීම්, ළමයින් එකිනෙකා සමඟ රණ්ඩු කිරීම, ආදිය හේතුවෙන් පංති කාමර සංස්කෘතිය පිරීහීමට ලක් වේ. එක් එක් පංතියක ගුරුවරුයා සහ දරුවන් මැනවින් විනය රැකගන්නවා නම්, එය ආදර්ශයට ගතිමින් මුළු පාසල් පද්ධතියේ ම විනය රැකී , අවසානයේ දී මුළු මහත් සමාජයේ ම විනය රැකීම සිදු වේ.

හොඳ පංති සංස්කෘතියක හැදුණු වැඩුණු දරුවකුට සංවරය සහ හික්මීම ජීව රුධිරය ලෙස මුළු ජීවිත කාලයටම බලපානු ලබයි. උදාහරණයක් ලෙස පාසල් සමයේ සිට ම පිළිවෙළට වැඩ කිරීමට පුරුදු වූ දරුවා මුළු ජීවිත කාලය තුළදීම පිළිවෙළට වැඩ කිරීම පෙන්වා දීමට පුළුවන.

විදේශ රටවල විනය

කුඩා කාලයේ සිටම විනය ගරුකව, තමන්ට පැවරූ කාර්යභාර්යය , කාර්යක්ෂමව, පිළිවෙළකට කිරීමට පුරුදු වූ පුද්ගලයකු තම පවුල තුළත් , රැකියා ස්ථානයේදීත් ඒ ආකාරයෙන් ක්‍රියා කරයි. පාසල කෙරෙහි , ගුරුවරයා කෙරෙහි, මෙන් ම විදුහල්පතිවරයා කෙරෙහි දරුවාට තිබෙන විශ්වාසය වැඩි නම් විනයගරුක බව ද වැඩි වේ. වර්තමානයේ දී දරුවන් පාසල්වල ගුරුවරුන්ට සාපේක්ෂව ටියුෂන් ගුරුවරුන් දේවත්වයෙන් පිළිගැනීමටත්, පාසල ජොලියට යන ස්ථානයක් වීමත් හේතුවෙන් පාසල සහ දරුවා අතර ති‍බෙන බැඳීම අඩු වී තිබේ. එය ද දරුවන් විනයගරුක නොවීමට බලපා තිබේ. පාසල ශිෂ්‍යයකුට අනුකරණයට මෙන් ම ආදර්ශයට සුදුසු ස්ථානයක් විය යුතු වේ. මේ සඳහා පාසල්වල ගුරුවරුන්, වැඩිහිටි ශිෂ්‍යයන් මෙන් ම විදුහල්පතිවරුන් ද තම කාර්යභාර්යය මැනවින් ඉටු කළ යුතු වේ.

පිරිමි දරුවන් සහ ගැහැනු දරුවන් වෙන වෙනම සිටින පාසල්වලට වඩා පිරිමි දරුවන් සහ ගැහැනු දරුවන් මිශ්‍රව සිටින පාසල්වල දරුවන් තුළ විනය ඇති කිරීම වඩාත් පහසු බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ. ඒ මන් ද යත් , පිරිමි දරුවන්, ගැහැනු දරුවන් ඉදිරියේ වැරදි ක්‍රියා කරමින් සමාජයේ වැරදිකරුවකු ලෙස සමාජගත වීමට තිබෙන බියත්, ගැහැනු දරුවන් පිරිමි දරුවන් ඉදිරියේ වැරදි ක්‍රියා කරමින් විනයගරුක නොවන හිතුවක්කාර දැරිවියක ලෙස සමාජගත වීමට ඇති බියත් නිසා ය. මෙහි දී ගැහැනු දරුවන් සහ පිරිමි දරුවන් ඔවුනොවුන් ඉදිරියේ වැරදි නොකිරීම සඳහා ඇති කරනු ලබන ස්වයං පෙළඔවීම වඩාත් හිතකර වේ. ඇතැම් අවස්ථාවලදී දරුවන්ගේ විනය සකස් කිරීමට නීතී රීතී අවශ්‍ය වුවත්, ස්වං පෙළඹවීම තිබේ නම් එලෙස නීරී රීතී අවශ්‍ය නොවේ.

විදේශ රටවලට සාපේක්ෂව ලංකාවේ දරුවන් තුළ විනය ඇති කිරීම පහසු ය . අපේ රටේ ආගම මඟින් විනය ඇති කරනු ලබයි. පවුලේ සාමාජිකයන්ගෙන්, පාසල් විෂයක් ලෙස, දහම් පාසල තුළින්, ආගම දරුවන්ට උගන්වනු ලබයි. අමරිකාවේ ආගම ඉගැන්වීම නීතීයෙන් තහනම් කර තිබේ. එලෙස සිදු කර තිබෙන්නේ ආගම ඉගෙන ගැනීම මඟින් දරුවන් ආගම්වාදීන්, ගැටුම්කාරීන්, මෙන් ම ජාතිවාදීන් වේ යැයි සිතන නිසාවෙනි. ආගම වෙනුවට සදාචාර අධ්‍යාපනය අමරිකාවේ විනය සකස් කිරීම සඳහා හඳුන්වා දී තිබේ.

මෙම සදාචාර අධ්‍යාපනයෙහි අනෙක් ආගම්වල තිබෙන හරය අන්තර්ගත වී තිබේ. මේ මඟින් මිනිසුන් සදාචාරසම්පන්න කිරීම සඳහා සැලකිය යුතු උත්සාහයක නිරත වේ. ඒත් එය සාර්ථක වී නොමැත. අමරිකා‍වේ පාසල්වල දරුවන් මෙන් ම ගුරුවරු ද ගිනි අවි රැගෙන පාසලට පැමිණෙති . එපමණක් ද නොව අවශ්‍ය නම් පාසල අවට තිබෙන වෙළෙඳසළකින් වුව ද ගිනි අවියක් මිල දී ගැනීමට හැකි ය . මෙහි දී පාසල තුළ යම් ගැටලුවක් පැමිණි විට දරුවන් එකිනෙකා සමඟ වෙඩි තබා ගැනීම්, මෙන් ම ගුරුවරුන්ට ද වෙඩි තැබීම සිදු වේ. මේ හේතු මත අමරිකාවේ සිසුන් තුළ විනය මුළුමනින්ම බිඳ වැටී තිබේ.

අමරිකාවේ ගැහැනු දරුවන්ට වධ බන්ධන, නවක වධ , ලිංගික හිංසන , ගැබ් ගැනීම්, මෙන් ම දරුවන් සමඟ පාසලට පැමිණීම යනාදී ගැටලුවලට මුහුණ දීමට සිදුවේ.තව ද අමරිකාවේ බොහෝ පවුල්වල ගැහැනු දරුවන් පාසලට නොයයි. ඒ වුවත් ගුරුවරු නිවසට ගෙන්වා ගැනීම මඟින් අවශ්‍ය අධ්‍යාපනය ලබා ගනී. මෙහි දී ගැහැනු දරුවන්ට තම විෂය මාලාව සම්පූර්ණ කර ගැනීමට හැකි වුවත්, සදාචාරසම්පන්නව, සමාජානුයෝජනය වෙමින් සමාජය තුළ ජීවත් වීමට හැකියාව නොලැබේ. ඔවුහු සමාජයට අවතීර්ණ වීමෙන් පසු විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙති .

විනය සකස් කරන ආකාරය

ලෝකයේ හොඳ, ගුණාත්මක තත්ත්වයේ අධ්‍යාපනයක් තිබෙන රටවල් ලෙස පින්ලන්තය සහ ඩෙන්මාර්කය හදුන්වනු ලබයි. මෙම රටවල පාසල් පද්ධතීන් තුළින් දරුවන්ට විනයගරුකබව සහ සදාචාරාත්මකව හුරු කරමින් යහපත් අධ්‍යාපනයක් ලබා දීමට දැවැන්ත උත්සාහයක නිරත වේ. පින්ලන්තය සහ ඩෙන්මාකයේ පාසල් තුළ උදෑසන අටේ සිට සවස හතර පමණ වනතෙක් විවිධ ඉගැන්වීම් වැඩසටහන් පැවැත්වීමත්, ගෙදර වැඩ ලබා නොදීමත් (Homework ) , පාසල්වල දොරටු සියල්ල විවෘත කර තැබීමත්, දක්නට ලැබෙන ලක්ෂණ වේ. මෙවැනි පාසල්වල , දී පාසල තුළදී මෙන් ම ඉන් පිටතදීත් දරුවන් මානසික පීඩනයකට ලක් නොවේ.

අවුරුදු ගණනාවක සිට ඩෙන්මාර්කය ලෝකයේ සතුටින්ම සිටින රට වශයෙන් පළමු තැන ගෙන තිබේ. ඊට හේතු වන්නේ ඩෙන්මාකයේ ජනතාව සතුටුදායක අධ්‍යාපනයක් ලැබීමට, සතුටුදායක රැකියාවන් කිරීමට , මෙන් ම සතුටුදායක ලෙස මිනිසුන් ඇසුරු කිරීමට යොමු වී සිටීම ය. කුඩා කාලයේ සිටම දරුවන්ට විනය හුරු කිරිම සිදු කළ යුතු ය. උදාහරණයක් වශයෙන් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා සිසුන් නිසි පිරිදි කසළ බැහැර කිරීමට යොමු නොවී සිටීමත්, මොන්ටිසෝරියේ දරුවන් එම කසළ බැහැර කිරීම පිළිවෙළකට සිදු කිරීමත් පෙන්වා දීමට පුළුවන.

ශාරීරික දඩුවම් දීමට අවශ්‍ය වන්නේ විනය විරෝධී ක්‍රියා කළහොත් පමණි. ඒ හේතුවෙන් හැකිතාක් විනය විරෝධී ක්‍රියා සිදු නොකිරීමට වග බලා ගත යුතු ය. මෙවැනි දෙයක් “මම සිදු කළහොත්, මෙවැනි ප්‍රතිඑලයක් අත්විඳින්නට සිදු වේ “ යන ස්වං පෙළඹවීම දරුවන්ගේ සිත්හි ධාරණය කළ යුතු වේ. යහපත් සංස්කෘතියක් ඇති කළ යුතු වන්නේ නීතීමය බැඳීමකින් තොරව ය. මෙහි දී දරුවන් මෙන් ම ගුරුවරුන් ද තම තමන්ගේ යුතුකම් සහ වගකීම් මැනවින් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු ය. දරුවන්ට ශාරීරික දඬුවම් ලබා දීම මඟින් දීර්ඝ කාලීන විසඳුම් ලබා ගත නොහැක. ස්වං පෙළඹවීම මඟින් දඬුවම් කිරීමෙන් කළ නොහැකි බොහෝ දෑ සිදු කළ හැකි ය. දඩුවම් දීමෙන් ලබාගත හැකි තාවකාලික හික්මීමට වඩා ස්වං පෙලඹවීම දරුවකුට තම ජීවිත කාලයටම වටිනා දායාදයක් වේ.

පවුල, පාසල, අවට ප්‍රජාව, රජය සහ අදාළ නීතීමය ආයතන, ජන මාධ්‍යය යනාදී සමාජය ගොඩනැගීමට උරදෙන ආයතන සියල්ල සාමුහිකව ක්‍රියා කරමින් , පොදු අරමුණකින් යුක්තව, එක ඉලක්කයක් මුදුන් පමුණුවා ගැනීමේ අටියෙන් දරුවන් තුළ විනය ඇති කිරීමට උත්සහ කළ යුතු ය. බොහෝ විට දහම්පාසල් යැවීමෙන් පමණක් දරුවන්ගේ විනය සකස් කිරීමට හැකියාව පවතින බව මවුපියෝ සිතති . එහෙත් එය මිථ්‍යාවකි . උදාහරණයක් වශයෙන් ලීක් වාන් යූ මුල් කාලයේ සිටම දැඩි නිතීවලින් සහ සියලු අංශයන් සහභාගී කරගනිමින් සිංගප්පූරුව නිර්මාණය කර , දියුණු රටක් බවට පත් කර , එහි විනය ද ඇති කළ ආකාරය පෙන්වා දීමට පුළුවන.

තවත් උදාහරණයක් ලෙස මහා තීර් මොහොමඩ් මැලේසියාවේ ජනාධිපති වී නොසිටි සමයේ මැලේසියාවේ විනය පිරිහීමත්, එයින් ඔහු දැඩි කනස්සල්ලට පත් වී, අවුරුදු කිහිපයකට පසු නැවත ඡන්දය දිනා ගනිමින් තම ධූරය නැවත ලබා ගැනීමත් පෙන්වා දීමට හැකි ය .

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ විනය ඇති කිරීම සඳහා විදේශ රටවල්වල ආදර්ශ ලබා ගැනීමත්, එම ආදර්ශ ශ්‍රී ලංකාවට ගැළපෙන ලෙස සකස් කිරීමත් කළ යුතු ය. දරුවන්ගේ විනය ඇති කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන්ගේ දැනුවත්භාවයෙහි අඩුපාඩුකම් දැක ගත හැකි ය . විදේශ රටවල වීර චරිත සහ ඔවුන් දරුවන් තුළ විනය ඇති කළ ක්‍රමවේද හැකිතාක් දුරට පරීක්ෂා කර බලා ඒවා පිළිබඳ පුළුල් අවබෝධයකින් යුක්තව කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාවේ දරුවන් තුළ විනය ඇති කිරීම එතරම් අපහසු කාර්යයක් නොවන්නේ ය‍.

 

සටහන
මදාරා මුදලිගේ
ඡායාරූපය - අන්තර්ජාලයෙනි

නව අදහස දක්වන්න