දෙමුහුන් අධිකරණ අවශ්‍ය නැහැ | දිනමිණ

දෙමුහුන් අධිකරණ අවශ්‍ය නැහැ

අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් නීතිඥ නිමල්කා ප්‍රනාන්දු

මෙරට මානව හිමිකම්, ජිනීවා සමුළුව ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇති වටපිටාවක මෙරට මානව හිමිකම්, අධිකරණයේ ස්වාධීනත්ත්වය, නීතියේ ආධිපත්‍ය, ආදීකරුණු පිළිබඳව සාකච්ඡාවකට, අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් නීතිඥ නිමල්කා ප්‍රනාන්දු එක්වේ.

* මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විවිධ අවස්ථාවල එල්ලවෙන චෝදනා සහ පුරවැසියාගේ මානව අයිතීන් පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

මානව හිමිකම් කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් බව පෙන්වන ලක්ෂණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මක භාවය විදහා දක්වන කාරණයක් බවටත් මානව හිමිකම් හඳුන්වන්න පුළුවන්. ජනතාව ලැබිය යුතු ඒ නිදහස ලබාදීමට ජාත්‍යන්තර වශයෙන් නීති රීති තිබුණත්, ඒ අයිතිය භුක්තිවිඳීම සාක්ෂාත් කර ගැනීමයි මානව හිමිකම්වල පරමාර්ථය වෙන්නේ. නීතිවල තිබෙන ප්‍රතිඵලය පුරවැසියාට භුක්ති විඳින්න බැරිනම් ඒ නීති තිබුණාට වැඩක් නැහැ.

* වෙනත් රටවලට වඩා අපේ රටේ මානව හිමිකම් සුරක්ෂිතයි කියලා බොහෝ දෙනෙක් පෙන්නලා දුන් අවස්ථා තිබුණා?

දකුණු ආසියාවේ රටවල් අතරින් බලනකොට මානව හිමිකම් පරමාදර්ශී අයිතීන් 1978 ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තිබෙන නිසා ශ්‍රී ලංකාව සුවිශේෂී තැනකුයි ගෙන තිබෙන්නේ. විධායක ජනාධිපති ධුරය නැමැති අසීමිත බලතල සහිත තනතුරක් රාජ්‍ය මෙහෙයවීම වෙනුවෙන් පත් කළත්, ඊට සමගාමීව තියෙන්නේ මූලික අයිතිවාසිකම් කියන කාරණය යි. මූලික අයිතිවාසිකම් සහ විධායක ජනාධිපතිධුරය කියන කාරණා දෙකම තියෙන ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, මූලික අයිතිවාසිකම් කියන මේ සියල්ල අඩංගු ව්‍යවස්ථාවක් රටේ රාජ්‍ය පාලනය මෙහෙයවීමට අප විසින්ම ගොඩනඟාගෙන තිබෙනවා. මානව හිමිකම් සුරක්ෂිත කිරීම රාජ්‍ය පාලනයටම ඇතුළත් කරලා තියෙන නිසා පුරවැසි අයිතීන් සුරක්ෂිත වීම යහපත් කියලා පේන්න තියෙනවා.

* එහෙම නම් ඇයි මානව අයීතීන් උල්ලංඝනය වීම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගන්නේ?

විධායකයටත්, ව්‍යවස්ථාදායකටත්, අධිකරණයටත් තිබෙන බලතල තුළ මානව අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වැනි වගන්තිය හරහා මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණයට යොමු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීලා තියෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් දෙස සෘණාත්මකව බලන්නට හේතු තියෙනවා. ව්‍යවස්ථාවෙන් අපිට ලැබුණ දායාදය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා ඇති වුණ තත්ත්වයන් විදිහටයි මම ඒවාදකින්නේ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය හරහා සියලු පුරවැසියාට භුක්ති විඳීමට ඇති මූලික අයිතිවාසිකම්වලට එරෙහිව දේශපාලන අධිකාරිය තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපයක් මතුවුණ නිසයි මානව හිමිකම් පිළිබඳ විශාල ප්‍රශ්නයක් මේ රටේ ඇති වුණේ. මේ කාරණය අවාසනාවන්ත තත්ත්වයක්. පුරවැසි අයිතිවාසිකම් උපරිමයෙන් ආරක්ෂාකර ඇති ව්‍යවස්ථාවක් උරුම වූ අපට මොකද වුණේ කියන කාරණය පිළිබඳ මේ රටේ සියලු දෙනා නැවත හැරී බැලිය යුතුයි.

* පවතින ආණ්ඩුව 2015 බලයට පත් කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වුණේ ඔබ කියන දේශපාලන අධිකාරියේ අයහපත් ක්‍රියා මැඩපැවැත්වීම නේද?

2015 දේශපාලන පරිවර්තනයේ දී දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙනුත් මානව හිමිකම් න්‍යාය පත්‍රයක් ගොඩනඟා ගත්තේ ඒ කතිකාව නිර්මාණය කර ගැනීමට තමයි. එතැනදී ශ්‍රී ලංකාව මානව හිමිකම් ගොඩනඟා ගත යුතුයි කියලා ඉතා ප්‍රබල ලෙස කිව්වා. ඒ ගොඩනඟා ගත් සම්මුති නිසා අපේ රට කාටවත් දෙවැනි වෙන්නේ නැහැ. මේ රට තුළ මානව හිමිකම් ආරක්ෂා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ කාගෙන් හෝ ඇසිය යුතු වන්නේත් නැහැ. නමුත් එවැනි තත්වයකට අපේ රට පත් වුණේ දශක තුනකට වඩා පැවැති සිවිල් යුද්ධය සමයේදී ඇතිවූ ඇතැම් තත්ත්වයන් හා විධායක ජනාධිපති ධුරය හරහා නීතියේ ආධිපත්‍යයට එල්ල වූ සුළුපටු නොවුණ හානියත් නිසයි. ඊළඟට අධිකරණයේ ස්වාධීනත්වය කියන කාරණයත් සමඟ ව්‍යවස්ථාවෙන් පුරවැසියාට හිමි අයිතිවාසිකම් ලබා ගත නොහැකි තත්වයකට මේ රටේ පුරවැසියා පත් වුණා.

* මානව හිමිකම් උල්ලංඝනය කරන රාජ්‍ය නිලධාරියකුට හෝ වෙනත් පුද්ගලයකුට දඬුවම් පැමිණවීමට නීති පද්ධතියේ නිසි ක්‍රමවේදයක් නැද්ද?

ඒක දිහා බලන්න ඕනෙ රාජ්‍ය නිලධාරියා ද, හමුදා නිලධාරියා ද, පරිපාලන නිලධාරියා ද කියන කණ්ණාඩියෙන් නෙවෙයි. අපරාධයක් කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය අනුව නීතිය ක්‍රියාත්මක විය යුතු යි. නීති ක්‍රියාත්මක වීමේදී දේශපාලනඥයෙක්, රාජ්‍ය නිලධාරියෙක්, වෙනත් පුද්ගලයෙක් කියලා සඳහන් වෙලා නැහැ. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ විධි විධාන පනත අනුව යම්කිසි අයෙක් අපරාධයක් කර තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක්. ඒ නිසා අපරාධය කළ පුද්ගලයාට වඩා අපරාධයට අදාළ නීතිය සාක්ෂි මෙහෙයවීමක් තුළ වරදකරු වන ඕනෑම කෙනෙක් දඬුවම් ලබන පුද්ගලයෙක් විය යුතු යි.

* දෙමුහුන් අධිකරණයක් පිහිටුවන්න කියන්නේ දේශීය අධිකරණ ක්‍රියාවලියේ ඇති දෝෂ නිසා ද, එහෙම නැති නම් දශක තුනක යුද්ධයේ සිදුවූ අතීත කාරණා සම්බන්ධයෙන් බලපෑම් කරන්න ද?

මෙතැන කාරණා දෙකක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ශක්තිමත් අධිකරණ පද්ධතියක් තියෙනවා. ඒ තුළ උගත් විද්වතුන් ඉන්නවා. මමත් නීතිඥවරියක්. අපි ඉගෙන ගත්තු ගුරුවරු ඉන්නවා. අපි උසාවියට යන කාලේ හිටපු ජ්‍යෙෂ්ඨයින්ට දේශපාලන බලපෑම් ආවා. ඒත් ඒ අය දේශපාලනඥයින්ගේ අණසකට යටත් වුණේ නැහැ. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පොදු රාජ්‍ය මණ්ඩලයේ ගෞරවයට පාත්‍ර වුණේ. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව විධායකයේ අණසකට යටත් වූ පසු තත්ත්වයට වෙනස් වුණා. යුක්තිය පසිඳලීම දේශපාලනීකරණය වුණ තැන ජනතාවගේ යුක්තිය පිළිබඳ විශ්වාසනීත්යත්වය බිඳ වැටුණා. එය නැවත ස්ථාපිත කිරීම ලෙහෙසි පහසු නැහැ. ඒ නිසාම තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවක් නැවත අවශ්‍යයි කියන කාරණය මතු වුණේ. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට එය එක් කරුණක් වුණත් ඒ තුළින්ම අපට සෑහීමකට පත් වෙන්න බැහැ.

දෙමුහුන් අධිකරණය ගැන කතාව එන්නේ යුද්ධයත් සමඟ මතුවුණ වගවීම සහ වගකීම කියන කාරණයට. අපේ නෛතික පද්ධතිය ශක්තිමත් නම් දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය නැහැ කියලයි මගේ පුද්ගලික මතය. අපේ රටේ ශක්තිමත් අධිකරණ පද්ධතියක් තිබුණා. ඒ තත්ත්වය නැවත ඇති කරගන්න රටක් වශයෙන් අපි තීන්දු තීරණ ගන්න ඕනෑ. මේ වන විට ස්ත්‍රී දූෂණ නඩු ප්‍රමාදයි. ඒ වැනි තවත් බොහෝ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ ගැටලු තේරුම් ගෙන යුක්තිය ඉටු කිරීමට විශේෂ අධිකරණ පවා ගොඩනැඟීම අවශ්‍යයි. මේ රටට දෙමහුන් අධිකරණ අවශ්‍ය නැහැ කියන තැනයි මම ඉන්නේ.

* විධායකයේ බලතල 19 වැනි ව්‍යවස්ථාවෙන් සීමා කරලා ව්‍යවස්ථාදායක සභාවට පත්කිරීම් බලය දීලා තියෙනවා. පැවැති අධිකරණ පද්ධතියට වඩා වත්මන් අධිකරණ පද්ධතිය සාධනීය මට්ටමක තියෙනව ද?

අධිකරණ පද්ධතිය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය තුලනාත්මකව පවත්වාගෙන යාම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ක්‍රියාදාම ය. අපේ පරමාර්ථය විය යුත්තේ රාජ්‍ය පාලනය එතැනට ගෙන ඒමයි. විධායකයේ අනිසි බලතල නිසා පසුගිය කාලයේ අහිතිකර තත්ත්ව අත්දකින්න ලැබුණා. 2015න් පස්සේ ඒ තත්ත්වය වෙනස් වුණා. එහි තවත් අඩුපාඩු තියෙනවා නම් අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කාරණාව හරහා යළි සාකච්ඡා කළ යුතුයි. අධිකරණය, ව්‍යවස්ථාදායක, විධායකය එකිනෙකා සමඟ සංවාදයෙන් ඉදිරියට යන්න ඕනෑ. දැන් තියෙන තත්ත්වය අනුව මේ ආයතන තුනට එකිනෙක සහයෝගයෙන් ඉදිරියට යනවා මිස කිසිවකට විශේෂ බලයක් නැහැ.

* රටේ අපරාධ වළක්වා ගැනීමට විශේෂ අධිකරණ වුවත් ගේන්න ඕනෑ කියලා ජනපතිවරයා කිව්වා. ඔබ එය දකින්නෙ කොහොම ද?

අවශ්‍ය අවස්ථාවල විශේෂ අධිකරණ වුවත් පිහිටුවන්න ඕන. නමුත් ඒවා දේශපාලනීකරණය නොවීමට වගබලා ගන්නත් ඕන. නීතියේ ආධිපත්‍ය, සියලු දෙනාටම සමව හිමිවන ආකාරයෙන් කටයුතු කළ යුතු යි. විශේෂ අධිකරණයක් පිහිටුවීමේදී ඉතා ප්‍රවේශම් විය යුතු යි. පුද්ගලික ඉලක්ක සපුරා ගැනීමට අධිකරණ පිහිටුවීමක් සිදු නොවිය යුතු යි. විශේෂ අධිකරණයක් පිහිටුවනවා නම් මානව හිමිකම් උපරිමයෙන් ආරක්ෂා කිරීමටත්, යළිත් වරක් අතුරුදන්වීම් නොවීමටත් වගබලා ගන්නා අධිකරණයක් විය යුතුයි.

* මානව හිමිකම් ආරක්ෂා කිරීමට වත්මන් රජයේ මැදහත්වීම ඔබ දකින්නේ කොහොම ද?

වර්තමාන රජය පුරවැසියාට දීපු ප්‍රතිඥාවට අනුව ම එය ඉටුකරමින් ඉන්නවා ය කියන එකයි මම දකින්නේ. උදාහරණයක් විදිහට මෙවර අයවැයෙන් අතුරුදන් වූ පවුල් සඳහා රු. 6000ක් ලබාදීම, හානි පූර්ණය සඳහා කාර්යාලයක් පිහිටුවීම සහ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, නඩු කටයුතුවලදී මැදිහත් නොවීම වැනි කාරණා දෙස බැලීමේදී ශ්‍රී ලංකාව හෙමින් වුවත් සාධනීය රාජ්‍ය පාලනයකට අනුගත වෙමින් කටයුතු කරනවා ය කියන එක පේන්න තියෙනවා.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප-ගයාන් පුෂ්පික 


නව අදහස දක්වන්න