ගත සිත සුව පිණිස යෝගා | දිනමිණ

ගත සිත සුව පිණිස යෝගා

යෝගා යනු ඉන්දියාවේ පාරම්පරික ශාස්ත්‍රයකි. එසේම එය වසර 5000ක පමණ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ‍එමෙන්ම කිසිදු ආගමකට සම්බන්ධතාවයක් නොමැති මුළු විශ්වයටම සම්බන්ධ ශාස්ත්‍රයක් තරගකාරී ක්‍රීඩාවකදී කිසියම් කාලයක් අවශ්‍ය වන අතර සීමිත ක්‍රීඩකයන් ප්‍රමාණයක්, ක්‍රීඩා ඇමැතිවරයෙක්, ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ ආදී නොයෙකුත් දෑ අවශ්‍යය. එසේම ක්‍රීඩකයන්ගේ ජවය අවසන් වූ විට ක්‍රීඩාව අවසන් වේ.

භාරතීය සම්භවයන් සහිත යෝගාහි ප්‍රධානම ලක්ෂණය වන්නේ සමබරතාවයයි. නම්‍යතාවය ඇතිකිරීම, මානසික ඒකාග්‍රතාවය, කායික වශයෙන් සකස්වීම මෙන්ම මෙම ශාස්ත්‍රය දියුණු කිරීම මගින් ආධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කළ හැකිය. එසේම හොඳ පෞරුෂයක් ද ඉන් වර්ධනය වේ. ශරීර අභ්‍යන්තරයේ තිබෙන පද්ධති ආධ්‍යාත්මිකව දියුණු කිරීම සඳහා විශේෂිත වන්නේ යෝගා ආසනයි. එමෙන්ම එම පද්ධතිවල ක්‍රියාකාරීත්වය හා ශරීර අභ්‍යන්තරයේ රුධිරය ගමන් කරන ආකාරය ක්‍රමානුකූල කෙරේ. විවේකී නාඩි වේගය හොඳ මට්ටමක තබාගැනීම තුළින් මානසික ඒකාග්‍රතාවය ඇතිකර ගැනීම සඳහා මෙම යෝගා ආසන වැදගත්ය. යෝගා ආසන 25ක් මෙම ශාස්ත්‍රය තුළ දක්වා ඇත. 1. පද්මාසන් 2. බද්ධ පද්මාසන් 3. යෝගමුද්‍රා 4. බකාසන් 5. ලයන් පෝස් 6.වජිරාසන 7. අර්ධ මත්ස්යේන්ද්‍රසන් 8. පචචිමොටනාසන් 9. සර්වාන්ගසන් 10. මත්ස්යාසන 11. හලාසන් 12. චක්‍රාසන් 13. අක්‍රනාධනුරාසන් 14.බුජන්ගාසන 15. ධනුරාසන් 16. පූර්ණ ධනුරාසන් 17. ඕම්කාරසන් 18. රුචිකාසන් 19. ගර්තාසන් 20. සුප්ත වජ්‍රාසන් 21. ශවාසන් 22. තදාසන 23. සෘක්ශාසන් 24. ශ්‍රීශාසන් 25. මයුරාසන් යනුවෙනි.

යෝගා ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමේදී විශේෂිත ආහාර රටාවකටද පුරුදු පුහුණු විය යුතුය. මෙම ශාස්ත්‍රය පුහුණු වෙන බොහෝ අය නිර්මාංශ ආහාරවලට පුරුදු වී සිටිති. කැඳ වර්ග පානය කිරීම මැල්ලුම් වර්ග ආහාරයට එක්කිරීම මෙන්ම මස්, මාළු පාලනයද මෙහිදී වැදගත් වේ.

යෝගා යනු ජීවන විද්‍යාවකි. එමගින් ජීවිතයේ විභව්‍යතාව වර්ධනය කෙරේ. එමෙන්ම එය සිරුරේ සහ මනසේ සංකලනයකි. සිත දමනය කිරීම, සිත පාලනය කිරීම ඉන් සිදුකෙරේ. ඉන්දියාවේ වේද ග්‍රන්ථ තුළින් සංස්කෘතිකාංග සහ දේව වන්දනා තුළින් ද අපට යෝගා හම‍ුවේ.

භාවනා යෝගා සහ ප්‍රාණසෙයියම් (ආශ්වාස ප්‍රශ්වාස කිරීම පාලනය කිරීමේ යෝගා) යනුවෙන් යෝගා දෙවර්ගයකට බෙදේ. භාවනා යෝගාද ආකාර දෙකකි. එනම් 1. භක්ති යෝගා, 2. කර්ම යෝගා යනුවෙනි. ප්‍රාණ සෙයියම් එනම් ආශ්වාස ප්‍රශ්වාස කිරීම පාලනය කිරීමේ යෝගා ආකාර තුනකි. අටි යෝග, මන්ත්‍ර යෝග, කුණ්ඩලී යෝග යනුවෙනි.

අටි යෝග අතරට ගැනෙන හත යෝගා සහ අෂ්ටාංග යෝගා ඉතා ජනප්‍රියය. ස්නායු සහ මස්තිෂ්ක අතර ඇති සහ‍සම්බන්ධතාව පවත්වා ගැනීම සිරුරේ ස්වාධීනත්වය පවත්වා ගැනීම මෙම යෝගාවලින් සිදුකෙරේ. සියල්ලටම මනස ස්ථාවරව පවත්වා ගැනීම වැදගත්වේ.

හතයෝග

පිරිසිදු කර ගැනීමේ ක්‍රියාවලිය මෙයට අයත් වේ. ශරීරය ඇස්, නහය, උදරය සහ ගුදමාර්ග මෙම ක්‍රියාවලිය තුළින් පිරිසිදු කරනු ලබයි. කිරි පොඟවන ලද අඩි 22ක් පමණ දිග රෙද්දක් මුඛයෙන් උදරය තුළට ගිල්ලවා උදරයේ සහ බඩවැල් ආශ්‍රිතව ඇති මේදය සහ අපද්‍රව්‍ය එළියට ඇද ගනී. රබර් බටයක් ශරීරය තුළට ගිල්ලවා වතුර විද පිරිසිදු කර ගැනීමේ ක්‍රමවේදයක් ද ඇත. වස්ති කිරීම මෙන්ම නාසය පිරිසිදු කරගැනීමේ ක්‍රමවේදයන්ද මෙහිදී අනුගමනය කෙරේ.

භාවනා යෝගාවලදී අනුගමනය කරනු ලබන්නේ බුදුන්වහන්සේ අනුදැන වදාළ විපස්සනා භාවනාව සහ ආනාපානසතියයි.

විපස්සනා භාවනාවේදී මනසේ කලබල ගතිය (Stress) පාලනය කෙරෙන අතර ආනාපානසතියෙන් උදරයේ වැඩිම (Belly fat) පාලනය කෙරේ.

ඉන්දියාවේ HVPM ආයතනය (Shree Hanuman Vyayam prasarak mandal) ලෝකය පුරා පාරම්පරික ක්‍රීඩා සහ යෝගා ව්‍යාප්ත කරමින් ක්‍රීඩාවේ සැබෑ අරුත ලෝකයට කියාදෙමින් ක්‍රීඩාවේ නව මානයන් නිර්මාණය කරමින් සිටී. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය ව්‍යාප්ත කරමින් සිටින ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ ආශිර්වාද‍ෙයන් චිකිත්සාව පිළිබඳ සහ ක්‍රීඩා කළමනාකරණය පිළිබඳ පාඨමාලා HVPM ආයතනය සමඟ එක්ව සංවිධානය කරමින් එම ආයතනය සමඟ සබඳතා ගොඩනඟාගෙන ඇත.

ශාරීරික උපදේශන පාඨමාලාවන් සමඟින් සිදුකරන අතර රටපුරා යෝග මධ්‍යස්ථානවල උපදේශකයන් පුහුණු කිරීම ද සිදු කෙරේ. මෙම පාඨමාලාව තුළින් යෝගා ආයතනවල මූලික දැනුමක් ලබා දේ. ජාතික සංගම් සමඟ එක්ව අදියර 1, 2, 3 වශයෙන් පාඨමාලා පවත්වනු ලැබේ. ඒ යටතේ යෝග්‍ය සහතික පත්‍ර පාඨමාලාවක්ද පවතී. මෙහිදී විශේෂයෙන්ම සෑම දිස්ත්‍රික්කයකින්ම පුහුණුකරුවන් දෙදෙනෙකු බැගින් පුහුණුකෙරේ. ත්‍රිවිධ හමුදාවල, පොලිසිය, තරුණසේවා සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, ගුරුවරු, ස්වෙච්ඡා සංගම්වල අයද යෝග ගුරු අභ්‍යාස සහතිකපත්‍ර පාඨමාලාව සම්පූර්ණ කොට ඇත. ඒ ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා වන සජිත් ජයලාල් මහතාගේද අධීක්ෂණය යටතේය.

දිවයිනේ විවිධ ස්ථානවල යෝගා පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි. මේ තුළින් යම් පිරිසකට යෝගා අභ්‍යාස පිළිබඳ දැනුමක් ලබා දීමට හැකි වී තිබේ. ශාරීරික යෝගාසන පාඨමාලාව මගින් රටට අවශ්‍ය පුද්ගල පිරිසක් නිර්මාණය කිරීමට හැකිවේ. පාඨමාලාවේ අරමුණු කිහිපයකි. ජනතාවගේ ශාරීරික යෝග්‍යතාව (physical fitness) තබා ගන්නේ කෙසේද යන්න, ස්වායු ව්‍යායාම බෝ නොවන රෝගවලින් ජනතාව මුදා ගැනීම සඳහා ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම මේ අතර ප්‍රධානය.

ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය සහ ඉන්දියාවේ HVPM ආයතනය එක්ව ජාත්‍යන්තර යෝගා සමුළුවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විය. ආසියා අප්‍රිකා යෝගා සම්මේලනයේ සභාපති සහ ඉන්දියාවේ HVPM ආයතනයේ අධ්‍යක්ෂ මෙන්ම එම ආයතනයේ විදුහල්පති සහ 1976 වසරේ ඉන්දියාවේ ආරම්භ කළ යෝගා සම්මේලනයේ සාමාජිකත්වය දරන යෝගා ශූර ආචාර්ය අරුණ එන්. කොඩස්කර් මහතා මෙම Dr, (Arun N. Khodaskar) සම්මේලනයට සහභාගි වීම විශේෂත්වයකි. යුනෙස්කෝ සංවිධානයේ සාම්ප්‍රදායික ක්‍රීඩා සම්බන්ධ මහාචාර්ය රවී සාහු (Prof. Ravi sahu) මහතාද මෙම සමුළුව සාර්ථක කර ගැනීම සඳහා එක්ව සිටියේය. මෙම ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකටද එකඟ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පාසල් ළමයින් අතරට යෝගා අභ්‍යාස ගෙන ඒමටය. දැනටමත් 5 ශ්‍රේණියේ දරුවන්ට සූර්ය නමස්කාරය ලෙසින් හඳුන්වනු ලබන්නේ මෙම යෝගා ශාස්ත්‍රයේම කොටසක් ලෙසිනි.

යෝගා අභ්‍යාස පාසල් විෂය ධාරාවට ඇතුළු කිරීම තුළින් පාසල් දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව, සිරුරේ සමබරතාව මෙන්ම ආවේගශීලී දරුවන් බිහි නොවීම සිදුවනු ඇත.

සටහන-චතුමී පිටිපන
ඡායාරූප-සමන් ශ්‍රී වෙදගේ


නව අදහස දක්වන්න