රාජකීයයෝ අපරාජිතව ඉදිරියට | දිනමිණ

රාජකීයයෝ අපරාජිතව ඉදිරියට

ෆවුස් මොහොමඩ්

අවසන් භාගයේදී පිට පිට ගෝල දෙකක් තබමින් ජයග්‍රහණය හඹා ගිය වෙස්ලි විදුහල් පිලේ උත්සාහය අපතේ යවමින් ලකුණු 24-19ක ජයක් අත්කර ගත් රාජකීය විදුහල් පිල අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවදුරටත් සිය අපරාජිතභාවය රැක ගැනීමට සමත්විය.

තුන්වැනි සතියේ තරගයක් ලෙස පෙරේදා පස්වරුවේ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මේ තරගයේ අවසන් මිනිත්තු දහයේදී ලකුණු 24-05කින් පෙරමුණ ගෙන සිටි රාජකීය විදුහල් ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කළ වෙස්ලි කණ්ඩායම සැමුවෙල් ඔබෙබොර් සහ කවින්දන පෙරේරා තැබූ සටන්කාමී උත්සාහක දිනුම් දෙකකින් නැවත හිස ඔසවා ගැනීමට සමත්වූහ. එම උත්සාහක දිනුම් 2ම මුර්ෂීද් සුබේර් ගෝල බවට පත් කරද්දී රාජකීය විදුහල් පිල ඉදිරියෙන් පසුවූයේ ලකුණු 5කින් පමණි. එහෙත් ඊළඟ මිනිත්තු කිහිපයේදී සිය ආරක්ෂක වළල්ල ශක්තිමත් කරගත් රාජකීයයෝ ජයග්‍රහණය තහවුරු කර ගත්හ.

පළමු භාගය නිමාවනවිට ලකුණු 12-5කින් පෙරමුණ ගත් රාජකීය විදුහල් පිල තරගය පුරා ගෝල් 2ක් සහ උත්සාහක දිනුම් 2ක් තැබූ අතර වෙස්ලි විදුහල් පිල රැස් කළේ ගෝල් 2ක් සහ උත්සාහක දිනුමක් පමණි. රාජකීය විදුහල් පිල වෙනුවෙන් කලිඳු නන්දික, අචින්ත රදීෂාන්, මිගාර මිහිසංඛ සහ කෙවින් සමරසේකර උත්සාහක දිනුම් තැබූ අතර දුලාන් ගුණවර්ධන උත්සාහක දිනුම් 2ක් ගෝල බවට පත් කළේය. වෙස්ලි විදුහල් පිල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම තබනු ලැබුවේ එරංග හර්ෂණ විසිනි.

මේ ජයග්‍රහණයත් සමග මෙවර තරගාවලියේ තුන්වැනි සතියේ තරග නිමාවට පත්වනවිට තරග 3ම ජයගෙන ප්‍රසාද ලකුණු 17ක් ලබා පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට රාජකීයයෝ සමත්වූහ.


නව අදහස දක්වන්න