පුහුණුකරු නොමැතිව ශ්‍රී ලංකා පිල අද විස්සයි 20 තරග බිමට | දිනමිණ

පුහුණුකරු නොමැතිව ශ්‍රී ලංකා පිල අද විස්සයි 20 තරග බිමට

දකුණු අප්‍රිකානු සංචාරය යටතේ වඩාත්ම උද්වේගකර සහ වේගවත්ම තරග අංශය ලෙසින් සැලකෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි20 තරගාවලියේ පළමු තරගය අද (19 දා) දකුණු අප්‍රිකාවේ අගනුවර වන කේප්ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ඇරඹේ. නිත්‍ය පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නොමැතිව පිතිකරණ පුහුණුකරු ස්ටීව් රික්සන් මහතා යටතේ මෙම තරගයට ශ්‍රී ලංකා පිල මුහුණදීම විශේෂත්වයකි.

ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවද එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවද ජයගෙන සිටින බැවින් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අදින් ඇරඹෙන විස්සයි20 තරගාවලිය දෙපිළටම වැදගත් වනු ඇත.

එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව අන්ත පරාජයක් ලක් කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත් වුවද විස්සයි20 තරග අංශයටද ඔවුන්ගේ උපරිම ශක්තිය යොදවනු ඇත. දෙපිළේම ක්‍රීඩකයින් ලබන අප්‍රේල් මස මුල් සතියේ සිට ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අයි. පී. එල්. තරගාවලිය සඳහා තරග වැදීමේ සූදානමින් සිටින බැවින් විස්සයි20 තරග රටාවට හැඩ ගැසීමට මෙම තරගාවලිය අතිරේක සුදුසුකම් ලෙසින් යොදා ගැනීමේ හැකියාව එම ක්‍රීඩකයින් සතුය.

අදින් ආරම්භ වන විස්සයි20 තරගාවලිය ලසිත් මාලිංගට සුවිශේෂී වන්නේ විස්සයි20 තරග අංශයේ වැඩිම කඩුලු ලාභියා වීමේ ආසන්නයට ඔහු පැමිණ තිබෙන බැවිනි. ලොව විස්සයි20 වැඩිම කඩුලු ලාභීන් අතර ශහිඩ් අෆ්රිඩි ලබා සිටින කඩුලු 98 සීමාව ඉක්මවා යෑම සඳහා මාලිංගට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 5 ක් පමණි. තරග 99 කට ක්‍රීඩා කරමින් අෆ්රිඩි එම දස්කම දක්වද්දී මාලිංග කඩුලු 94 දවාගෙන ඇත්තේ තරග 70 කට පමණක් ක්‍රීඩා කරමිනි. එපමණක් නොව විස්සයි20 තරග අංඩුලු 100 ක් බිඳ හෙළන ලද පළමු පන්දු යවන්නා බවට පත්වීමටද මාලිංගට අවශ්‍ය වන්නේ කඩුලු 6 ක් පමණි.

පළ පුරුදු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිල තුළ නොමැති වීම ශ්‍රී ලංකාවට දැවැන්ත පාඩුවක් වන අතර ඒ වෙනුවට ආදේශ කර සිටින ක්‍රීඩකයින් ඉකුත් කාලය පුරාම සුපුරුදු දක්ෂතා වලට පැමිණීමට අපොහොසත් වීම කණ්ඩායමක් ලෙස පසු බෑමට මූලික වී තිබේ.

මේ වන විටත් ශ්‍රී ලංකා ලංකා පිතිකරුවන්ගේ භීෂණය බවට පත්ව තිබෙන ඉම්රාන් තහීර්ද විස්සයි20 තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිල නියෝජනය කරන බැවින් ඔහුගේ පන්දුවලට කල්පනාකාරීව මුහුණ දීමේ අභියෝගය ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ තිබේ.

පෞද්ගලික හේතුවක් මත හෂීම් අම්ලා මේ තරගාවලියටද ඇතුළත් නොවීම නිසා එක්දින තරගාවලියේ අති සාර්ථකත්වයට පත් කුවින්ටන් ඩි කොක් සමග රීසා හෙන්ඩ්‍රික්ස් ඉනිම ආරම්භ කරනු ඇත. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් බොහෝ විට නිරෝෂන් දික්වැල්ල සමග සදීර සමරවික්‍රම ඉනිම ආරම්භ කරනු ඇති බවට අනුමාන කළ හැක. ප්‍රහාරාත්මක අයුරින් පන්දුවට පහර දෙන්නකු ලෙස ප්‍රචලිත ඇන්ජලෝ පෙරේරා ටද අද තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතියි. එමෙන්ම එක්දින තරගාවලිය අතරතුරදී පිතිකරුවකු ලෙස ඉසුරු උදාන කිසියම් ප්‍රගතියක් පෙන්නුම් කිරීම ශ්‍රී ලංකා නායකයාට යම්දුරටක සහනයක් ගෙන දෙන කරුණක් ලෙසින් සැලකේ.

දෙරට අතර මේ දක්වා විස්සයි20 තරග 10 ක් පවත්වා තිබෙන අතර දෙපිළම 5 වතාව බැගින් ජය ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව එම තරග අංශයේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම කවුරුන්ද යන්නද මෙම තරගාවලියේ ප්‍රතිඵලය අනුව පැහැදිළිවම තීරණය වනු ඇත.

අපේක්ෂිත ශ්‍රී ලංකා විස්සයි20 පිල - නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ඉසුරු උදාන, කමිඳු මෙන්ඩිස්, අකිල ධනංංජය, ලසිත් මාලිංග(නායක), සුරංග ලක්මාල්.

අපේක්ෂිත දකුණු අප්‍රිකානු විස්සයි20 පිල - කුවින්ටන් ඩි කොක්, රීසා හෙන්ඩ්‍රිකස්, ෆෆ් ඩු ප්ලෙසිස් (නායක), රසී වැන්ඩර ඩුසෙන්, පෝල් ඩුමිනි, ඩේවිඩ් මිලර්, ඇන්ඩ්ල් පෙලුක්වායෝ, කගිසෝ රාබාඩා, අබ්රික් නෝර්ජ්, ලුන්ගි එන්ගිඩි, ඉම්රාන් තහීර්.

නව අදහස දක්වන්න