ඇතැම් ක්‍රීඩා සංගම් කොඩි විනයක් වෙලා | දිනමිණ

ඇතැම් ක්‍රීඩා සංගම් කොඩි විනයක් වෙලා

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා සංගම් නිලධාරීන් අතර ඇති ප්‍රශ්න හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පීඩනයට පත්වන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඇතැම් සංගම් ඉතා යහපත් ලෙස ක්‍රියා කළද, සමහර සංගම් ප්‍රධානීන් පවුලේ බූදලයක් සේ ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් බව ඇමැතිවරයා සඳහන් කළේය. ඒ මහතා එසේ පැවැසූවේ ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේ පැවැති වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදීය.

“ ඇතැම් ක්‍රීඩා සංගම් කොඩි විනයක් වෙලා. සියයට 65ක් 70ක් විතර තත්ත්වය එතරම් සතුටුදායක නෑ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති ප්‍රශ්න විසඳනවා වෙනුවට ඔවුන් කරන්නේ වෙනත් වැඩ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රශ්න වලින් පීඩනයට පත්කළ යුතු නෑ. මේ නිසාම මා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ‘ඔම්බුඩ්ස්මන්‘ කෙනෙක් පත් කරනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න ඒ දුක්ගන්නාරාළ සොයා බලා අපට නිර්දේශ ඉදිරිපත් කරයි. විදෙස් ගතවන ජාතික කණ්ඩායම ක්‍රීඩා ඇමැතිවරයා අනුමත කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි. එම ක්‍රමවේදයෙන් ක්‍රීඩාව ඉබේම දේශපාලනය වෙනවා. ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය විය යුතුයි. හිටපු ඇමැතිවරු කළ කිසිදු හොඳ වැඩක් මා විසින් නවතා දමා නෑ. එවැනි පටු දේශපාලනික උවමනාවලින් ඈත්වී කටයුතු කිරීම මගේ අපේක්ෂාවයි“ ඇමැතිවරයා පැවැසීය.

විවේචන ඉදිරිපත් කිරීමේදී ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය බිද වැටෙන පරිදි මාධ්‍ය හැසිරවීමෙන් වලකින ලෙස ඇමැතිවරයා ක්‍රීඩා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් ද කළේය. “ක්‍රීඩකයන් පිළිබඳ ඇතැම් විවේචන වලදී රටේ විශාල ආන්දෝලනයක් ඇති වෙනවා. ඇතැම් අවස්ථාවලදී දක්ෂ ක්‍රීඩකයන් විනාශවී යා හැකියි. ක්‍රීඩකයින් ආරක්ෂාවන පරිදි විවේචන ඉදිරිපත් කිරීම වරදක් නෑ“ ප්‍රනාන්දු මහතා පැවැසීය.

හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල, වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සාරංග පතිරණ හා ලේකම් සිරිනාම රාජපක්ෂ යන මහත්වරු ද මෙම රැස්වීම ඇමැතූහ.

නව අදහස දක්වන්න