කුසල්ගෙන් රික්සන්ට එරෙහි පැමිණිල්ලක් | දිනමිණ

කුසල්ගෙන් රික්සන්ට එරෙහි පැමිණිල්ලක්

චමිල කරවිට

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරග 3 දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බලන ස්ටීව් රික්සන්තම සීමාව ඉක්මවාලමින් කටයුතු කරන බවටකණ්ඩායම් අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ල වන අතර ඒ සම්බන්ධ වූ අර්බුදය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙත පැමිණිලි කරන තරමටම දුරදිග ගොස් තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පිලේ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා විසින් ලිඛිතවම පැමිණිලි කරමින් කියා ඇත්තේ රික්සන් හැසිරෙන්නේ පුහුණුකරුවකුට කිසිසේත්ම සුදුසු නොවන අයුරින් බවයි. විද්‍යුත් තැපෑල උපයෝගී කරගනිමින් යොමු කර ඇති එම ලිපියෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇති කුසල්, පුහුණුවීම් සිදුකරන අවස්ථාවන් වලදී මෙන්ම ක්‍රීඩාගාරයේ සිටින අවස්ථාවන්වලදී පරුෂ වචන භාවිතා කරමින් තමන් ඇතුළු කණ්ඩායමේ සාමාජිකයින්ට රික්සන් බැන වදින බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා වෙත එම ලිපිය යොමු කර ඇති කුසල්, පුහුණුකරුවකු විසින් ක්‍රීඩකයකුට සැලකිය යුතු ආකාරයේ මූලධර්ම සියල්ල පසෙකලමින් කටයුතු කිරීම කිසි විටෙකත් අනුමත කළ නොහැකි බවද පෙන්වා දී තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 153 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල ජය කණුව කරා රැගෙන ගිය කුසල් පෙරේරා, තෙවැනි එක්දින තරගය අතරතුරදී හටගත් ආබාධයක් හේතුවෙන් මෙරටට පැමිණ සිටියි.

කුසල් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්බන්ධව සෙසු ක්‍රීඩකයන්ගේ ප්‍රසාදයද පළ වී තිබෙන බව මේ පිළිබඳව 'දිනමිණ' අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිලේ සාමාජිකයකු සඳහන් කර සිටියේය. පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් රික්සන් කණ්ඩායමට පැමිණ සිටියද වයසින් මුහුකුරා ගොස් ඇති නිසා ඔහුට පන්දු රැකීම වෙනුවෙන් වූ ක්‍රියාකාරකම්වල නියැළීමේ ශක්තියක් නොමැත. මෙම තත්ත්වය හේතුකොට ගෙන තමන්ට හිමි පන්දු රැකීමේ කාල සීමාවේදී ඔහු වැඩි හරියක්ම සිදුකරනු ලබන්නේ ක්‍රීඩකයින්ව නිකරුණේ එහාට මෙහාට දිවවීම බවද එම ක්‍රීඩකයා වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.

මෙතරම් වයස් ගත වූවකු පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් බඳවා ගනු ලැබුවේ කුමන කරුණක් මතද යන්න ක්‍රීඩකයින් තුල මතයක් ගොඩ නැගී තිබෙන බවද එම ආරංචි මාර්ගය ඔස්සේ වැඩිදුරටත් සඳහන් විය.

රික්සන්ගේ මේ පහත් හැසිරීම කුසල් හමුවේ පමණක් නොව තවත් කීප දෙනෙකුටම සිදුකර තිබෙන බවද කියැවේ. උක්ත තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගෙන් කරන ලද විමසීමේදී, පන්දු රැකීමේ පුහුණු කිරීමේදී ඇති අඩුපාඩු පෙන්වා දෙමින් වූ ලිපියක් එවා තිබෙන බව සත්‍යයක් නමුත්, එය තවමත් තමන් වෙත නොලැබුණු බවයි. මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටි ක්‍රිකට් සභාපතිවරයා, පන්දු රැකීමේ පුහුණුව සම්බන්ධව වූ අඩුපාඩු එම ලිපියෙන් පෙන්වා දී තිබෙන බවද සඳහන් කර සිටියේය.

නවසීලන්තය සමඟ මෙම වසර ආරම්භයේ පැවැති එක්දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ ධුරයට පැමිණි රික්සන්, දකුණු අප්‍රිකාව සමඟ හෙට ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේදී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.


නව අදහස දක්වන්න