ත්‍රිපිටකය පැරැණි නොවන විශ්ව කෝෂයක් | දිනමිණ

ත්‍රිපිටකය පැරැණි නොවන විශ්ව කෝෂයක්

සිතාරා සේනානි

ත්‍රිපිටකය යනු කිසිදා පැරැණි නොවන ඥානසම්භාරයක් සහිත සදාහරිත විශ්ව කෝෂයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, සිංග්පූරුවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන හා පාලි අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා පැවසීය.

දීර්ඝ ඉතිහාසයක් සහිත සද්ධර්ම ග්‍රන්ථයක් මෙන්ම, ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක් ලෙස ද හඳුන්වා දිය හැකි ත්‍රිපිටකය ලෝවැසියන්ගේ හිතසුව වෙනුවෙන් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඉතා වැදගත් වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා මේ බව පැවසුවේ 'ත්‍රිපිටකාභිවන්දනා' සතිය නිමිත්තෙන් කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ඊයේ (18) පැවති කොළඹ දිස්ත්‍රික් ජාතික උත්සවයේ දී අදහස් දක්වමිනි.

බුරුමයේත්, තායිලන්තයේත් ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති ත්‍රිපිටකය ම බව පවසන ඒ මහතා, එම රටවල් එය ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බවද පෙන්වා දෙයි. ත්‍රිපිටකය මෙසේ ලෝවැසියන්ගේ උරුමයක් බවට පත්ව ඇතත්, එය ලෝක උරුමයක් බවට යුනෙස්කෝව ප්‍රකාශයට පත් කර නොමැති නිසා ඒ සඳහා මෙතෙක් නීතිගත සම්මුතියක් නොමැති බවත් පවසයි. එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසකට අනුව ත්‍රිපිටකය මෙරට ජාතික උරුමයක් බව ප්‍රකාශයට පත් කළ බවත්, එය ලෝක උරුමයක් බවට ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාවෙන් යුනෙස්කෝව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ පැවැති කොළඹ දිස්ත්‍රික් ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ත්‍රිටකාභිවන්දනා ප්‍රතිඥාව ලබා දීම ආරාධිත පිරිස, ගුරුවරුන් සහ සිසුවියන් සිදුකළහ.


නව අදහස දක්වන්න