මිචෙල්ගේ වාර්තාවට ප්‍රතිචාර හෙට - රජය අවධාරණය කරයි | දිනමිණ

මිචෙල්ගේ වාර්තාවට ප්‍රතිචාර හෙට - රජය අවධාරණය කරයි

මහින්ද අලුත්ගෙදර

සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් (Michelle Bachelet) මහත්මිය ඉදිරිපත් කර තිබෙන වාර්තාවට හෙට (20) දිනයේ ශ්‍රී ලංකාව ප්‍රතිචාර දක්වාන බව රජය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව මේ වනවිට ඉහත ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ලබා තිබෙන තත්ත්වයන්ට අදාළව ජගත් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර, ඒ අනුව ඉදිරිපත් වන කරුණු සම්බන්ධයෙන් මේ වනවිට ජිනීවා නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ප්‍රතිචාර දැක්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ යන මහත්වරුන් මේ වනවිට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් සිටින අතර එම නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාව සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් මේ වනවිට ලබාතිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිත බවද එම අමාත්‍යාංශය කියයි.

ඊට අමතරව මෙරට සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍ය හා ජර්මනිය ඇතුළු රටවල් 5ක අනුග්‍රහය ඇතිව සකස් කළ 30/01 යෝජනාවට අදාළ කරුණු තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා වසර දෙකක කාලයක් දීර්ඝකර ගැනීම සම්බන්ධයෙන් වන යෝජනාව එළඹෙන (21) දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2015 ඔක්තෝබර් හා 2017 මාර්තු මාසයේ ඉදිරිපත් කළ යෝජනා මඟින් ශ්‍රී ලංකාව එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට දිරිගන්වන බවට මෙම යෝජනාවේ සඳහන්කර තිබෙන අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවීම, හමුදාව උතුරේ අත්පත් කරගෙන තිබූ සිවිල් ජනතාවගේ ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කිරීම ආදී කරුණු එම යෝජනාවෙන් පැසසුමට ලක්කර ඇත.

පසුගිය පෙබරවාරි මාසයේ 25 දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40වැනි සැසිවාරය‍ මේ මස 22 දා අවසන් වීමට නියමිතය.

 


නව අදහස දක්වන්න