සිනමාව රටක සංස්කෘතිකාංගයක් | දිනමිණ

සිනමාව රටක සංස්කෘතිකාංගයක්

අනුරුද්ධ ජයසිංහ

අනුරුද්ධ ජයසිංහගේ නවතම සිනමා අධ්‍යක්ෂණය “ගින්නෙන් උපන් සීතල” මේ වන විට දෙස් විදෙස් සිනමා ශාලාවල තිරගත වෙමින් පවතින්නේ දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ය. මේ එම දැවැන්ත සිනමා නිර්මාණය පිළිබඳ අනුරුද්ධ ජයසිංහයන් සමඟ කෙරුණු සුහද සංවාදයයි.

“ගින්නෙන් උපන් සීතල” අපේක්ෂිත අරමුණු ඉටුකරගැනීමට සමත්වන සිනමාපටයක් බව ඔබ විශ්වාස කරනවාද?

චිත්‍රපටය බොහොම හොඳ ප්‍රතිචාර මැද දින පනහ පසුකරමින් මේ වන විටත් ප්‍රදර්ශනය වෙනවා. ඉතිං තවම ප්‍රදර්ශනය වෙන හින්දා අපේ ඉලක්කවලට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ සිනමාපටය දින 75 දක්වා ප්‍රදර්ශනය කිරීමටයි අපි සැලසුම් කරලා තියෙන්නෙ.

“ගින්නෙන් උපන් සීතල” විදෙස් රටවලත් ප්‍රදර්ශනය කෙරෙනවා නේද?

මාර්තු මාසෙ ඉඳන් විදෙස් රටවල ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා. මේ දිනවල කැනඩාවේ ටොරන්ටො, ඔටාවා.කැල්ගරි, වැන්කුවර් නගරවලත් ඊට සමගාමීව ඇමරිකාවේ වොෂින්ටන්, නිව්යෝර්ක් වැනි නගරවලත් ප්‍රදර්ශනය වෙනවා. සිංහල අවුරුද්දෙන් පස්සේ සියලු ම යුරෝපා රටවල ප්‍රදර්ශනය කිරීමටයි සූදානම් කරලා තියෙන්නෙ. ජූනි මාසයේ ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කරනවා.

දැනට ප්‍රදර්ශනය වන රටවලින් කොහොමද ලැබෙන ප්‍රතිචාර?

බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මුලින්ම පෙන්නන්න පටන් ගත්තෙ කැනඩාවේ ටොරන්ටෝ නගරයෙ ඇල්බියන් සිනමා ශාලාවෙ. ඒ සිනමා ශාලාවෙ ප්‍රේක්ෂකයින් 750කටයි ආසන පහසුකම් තියෙන්නෙ. සිනමා ශාලාවේ අසුන් මදි වන තරමට සෙනඟ ඇවිත් හිටියා. අනිත් සියලුම නගරවලත් ටිකට් විකිණිලා ඉවරයි.

ලංකාවෙදි ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?

මේ නිර්මාණය තම තමන්ට දැනෙන විදිහ අනුව තමයි ප්‍රතිචාර තීරණය වෙන්නෙ. අධ්‍යක්ෂකවරයා විදිහට මම මේ චිත්‍රපටියෙන් දැකපු දේ අනෙක් අයට විවාදාත්මක වෙන්නත් පුළුවන්. කෙනෙකුට හොඳ වෙන්න පුළුවන් වගේ ම තවත් කෙනෙක් යම් යම් අඩුපාඩු දකින්න පුළුවන්. විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙනවා. ෆේස්බුක් එක හරහා තමයි මේ සිනමා නිර්මාණය පිළිබඳ විශාල කතාබහක් ඇති වුණේ. ලංකාවේ පළවෙනි වතාවට සිනමාවේ උපසංස්කෘතියක් බිහි වුණා. ෆේස්බුක් හරහා විචාර කලාව අලුතෙන් පටන්ගත්තා. සම්ප්‍රදායිකව පත්තරවල දකින්න තිබුණු විචාර කලාව සහ ඒ වෙනුවෙන් හිටිය විචාරකයන්ට අමතරව මේ නිර්මාණය නැරඹූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, ආචාර්යවරු, වෛද්‍යවරු වැනි සමාජයේ විවිධ පැතිකඩවල අය මේ සම්බන්ධව විචාර ලියන්න පටන්ගත්තා, මුහුණු පොතේ. මේ තමයි ලංකාවේ සිනමා පටයකට මේ තරම් විචාර ලියූ පළවෙනි වතාව. ෆේස්බුක් එකේ සහ පත්තරවල විචාර දෙසීයකට වැඩිය ලියවිලා තියෙනවා. න්‍යායාත්මකව විචාර කලාවේ නොසිටියත් ඒ චිත්‍රපටිය බලපු බොහෝ දෙනෙක් ඔවුන්ට මේ නිර්මාණය දැනුණෙ කොහොමද කියන දේ ලියලා ලොකු ප්‍රචාරයක් ලබා දුන්නා. සිනමාව කියන එක රටේ සංස්කෘතිකාංගයක් බවට පත්වෙන්න ඕනෙ. එතකොට තමයි මිනිස්සු සිනමාපට බලන්න යන්නෙ. අපේ රටේ සිනමාව නිකම් ම විකල්ප මාධ්‍යක් බවට පත්වෙලානෙ තියෙන්නෙ. අද මිනිස්සු වෙනත් ප්‍රශ්න ගොඩකට මැදිවෙලා ඉන්නෙ. සිනමා ශාලාවකට යන පිරිස බොහොම අඩුයි. නගරවල අය යනවා වුණත් ගම්බද අය යන්නෙ බොහොම අඩුවෙන්. නමුත් මේකෙදි අපි දැක්කා ඈත පළාත්වල මිනිස්සු එකතු වෙලා බස්, ට්‍රැක්ටර්, ලොරිවලින් ඇවිත් මේ සිනමාපටය බලලා යනවා. විජේවීර වීරයෙක් විදිහට සිතන අය ඉන්නවා වගේ ම දේශපාලන වශයෙන් වෙනස් අදහස් තියෙන අය තම තමන්ගේ ප්‍රතිචාර සහ විවේචන ඉදිරිපත් කරලා තිබුණා. අධ්‍යක්ෂකවරයා විදිහට මම ඒ සියලුම ප්‍රතිචාර මැදිහත්ව පිළිගත්තා. අපි ප්‍රේක්ෂකාගාරයත් එක්ක ගැටෙන්න ගියේ නෑ. විජේවීර, කෙනෙකුට වීරයෙක් වගේ ම තව කෙනෙකුට ද්‍රෝහියෙක්. ඒක එක එක්කෙනා හිතන විදිහ. කොහොම වුණත් මේ විදිහට සිනමාව සම්බන්ධයෙන් ප්‍රේක්ෂක මැදිහත්වීම වැඩි වශයෙන් සිදු වුණොත් සිනමාව තව බොහෝ කාලයක් මිනිස්සු අතර තියෙන සජීවි කලාවක් බවට පත්වෙයි කියන එකයි මගේ අදහස.

“ගින්නෙන් උපන් සීතල” ජාත්‍යන්තර සිනමා උළෙලවලටත් ඉදිරිපත් කෙරුණා?

අපි මේ චිත්‍රපටිය වැඩ ඉවර කරපු සැණින් තිරගත කළා. ඒ නිසා බොහෝ සිනමා උළෙලවලට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණෙ නෑ. හේතුව ප්‍රදර්ශනය වුණු සිනමාපටයක් ලෝකෙ ප්‍රධාන පෙළේ සිනමා උළෙලවලට භාරගන්නෙ නෑ. ප්‍රදර්ශනයට කලින් තමයි භාරගන්නෙ. මේ සිනමාපටයත් ප්‍රදර්ශනය වීමට කලින් සිනමා උළෙල කිහිපයකට ඉදිරිපත් කළා. ඒෂියා පැසිපික් සිනමා උළෙලේ තරගකාරී අංශයට ඉදිරිපත් වුණා. බැංගලෝර් ජාත්‍යන්තර සිනමා උළලේ තරගකාරී අංශයට තේරී පත්වුණා. හයිද්‍රාබාද්වල ඕල් ලයිට් ඉන්දියා නම් සිනමා උළෙලෙදි ලෝක සිනමා අංශය නියෝජනය කළා. ඒ වගේ ම 2019 ඔස්කාර් උළෙලෙ මූලික තෝරාගැනීමටත් ඉදිරිපත් වුණා.

මෙවැනි දැවැන්ත නිර්මාණයකට නිෂ්පාදකයෙකු සොයාගැනීම අපහසු වුණේ නැද්ද?

නිෂ්පාදකවරයෙක් මේ වගේ දේකදි විශාල අවදානමක් දරනවා. ලංකාව වගේ කිසිම දෙයක් ස්ථාවර නැති රටක,ඒ කියන්නෙ ආර්ථික වශයෙන් දේශපාලනමය වශයෙන් සහ සමාජීය වශයෙන් විශාල හැලහැප්පීම් තියෙන සහ අවුරුදු පනහක් විතර තිස්සෙ ම සංවර්ධනය වෙමින් පවතින කියන ලේබලයේ යට තියෙන රටක්නෙ මේක. නිරන්තරයෙන් ම දේශපාලන කලකෝලහල සහ අස්ථාවර භාවයන් තමයි දකින්න තිබ්බෙ. ඒ නිසාමයි මේ රට දියුණු වෙන්නෙ නැත්තෙ. එවැනි වාතාවරණයක තමයි මේ චිත්‍රපටියට නිෂ්පාදකවරයෙක් ලැබෙන්නෙ. මේක දැවැන්ත නිර්මාණයක්. අවදානමක් අරගෙන Cine Pro ආයතනය වෙනුවෙන් මේ නිර්මාණය නිෂ්පාදනය කරපු චමත්කා පීරිස් මෙනවියට ස්තූතිවන්ත වෙන්න ඕනෙ. විධායක නිෂ්පාදකවරුන් විදිහට ජයලත් මෙන්ඩිස් සහ චන්දන සමරකෝන් කියන දෙදෙනාත් රේඛීය නිෂ්පාදනයෙන් ජූඩ් මුතුගල සහ සෙනුර පීරිස් දෙපළත් විශාල දායකත්වයක් ලබා දුන්නා.

මේ සිනමා පටයට දායක කරගත් නිර්මාණකරුවන්ගෙන් සහ තිරයෙන් පිටුපස පිරිසගෙන් ලැබුණු සහයෝගය ගැන මතක් කළොත්?

කමල් අද්දරආරච්චි, සුලෝචනා වීරසිංහ, ජගත් මනුවර්ණ ඇතුළු සියලුම නළුනිළියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ. මොකද මේ නිර්මාණය මිනිස්සු අතරට යන්න ඔවුන්ගේ විශිෂ්ට රංගනය විශාල රුකුලක් වුණා. කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට ධනුෂ්ක ගුණතිලකත් කලා අධ්‍යක්ෂණයෙන් උදේනි සුබෝධි කුමාරත් දුන්නු දායකත්වයත් සුළුපටු නෑ. නාරද තොටගමුව මෙහි අංගරචනා ශිල්පියා විදිහට විශාල කාර්යභාරයක් ඉටු කළා. සහය අධ්‍යක්ෂකණයෙන් දායක වුණේ හසුන් සමීර සහ දේවිකා කුමාරි. නිෂ්පාදන කළමනාකරණයෙන් සුලෝචන අකලංකත් මේ සඳහා විශාල දායකත්වයක් ලබාදුන්නා. කොණ්ඩා සැකසුම් ශිල්පියා ලෙස හරුන් ෂයිඩීන් මේ නිර්මාණයට දායක වුණා. පසු නිෂ්පාදනයේ දී රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද නදීක ගුරුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද දිනිඳු ජාගොඩ වර්ණ සංයෝජනයෙන් ද දායකත්වය ලබාදුන්නා. ශබ්ද සංකලනය කළේ ප්‍රියන්ත කළුආරච්චි. ගායනයෙන් දායක වුණේ නවරත්න ගමගේ සහ උමාරියා සිංහවංශ. මේ සියලු දෙනා චිත්‍රපටියට විශාල ආලෝකයක් වුණා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනෙ.

මීළඟ නිර්මාණය ගැන ඔබට තිබෙන්නේ මොන වගේ සැලසුමක්ද?

ඉදිරියේදී තවත් චිත්‍රපට දෙකක වැඩ පටන් ගන්න සැලසුම් කරගෙන ඉන්නවා. ඉන් එකක බොහෝ විට ජූනි මාසේ වගේ වෙනකොට වැඩ පටන් ගන්න පුළුවන් වෙයි. මේ දිනවල නම් වෙනත් නිර්මාණවලට යොමු වුණේ නෑ. “ගින්නෙන් උපන් සීතල” මේ වෙද්දි දින පනහත් පසු කළා. හැමෝටම ආරාධනා කරනවා ඇවිත් බලන්න කියලා.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න