ලංකාවේ චිත්‍රවලට මාර්කට් එකක් නෑ | දිනමිණ

ලංකාවේ චිත්‍රවලට මාර්කට් එකක් නෑ

චමෝද් ලහිරු

සිත්තරුන් තෙලි තුඩින් ජීවිතය සිත්තම් කරන්නේ නොයෙක වර්ණ මුසු කරමිනි. සිත්තමට පෙම් බඳින්නන් ඒ වර්ණ අතරින් ජීවිතය දැකගනී. ගම්පහ දෙවලපොළ පදිංචි චමෝද් ලහිරු ද තෙලිතුඩින් ජීවිතය සිත්තම් කරන්නාවූ යොවුන් සිත්තරෙකි. සිතුවම් කලාව ගැන ඔහු කියන්නේ මෙබඳු කතාවකි.

චිත්‍ර විෂය ඔබට කොතරම් සමීපද කියලා කිව්වොත්?

මම චිත්‍ර අඳින්න පටන් ගත්තෙ අවුරුදු 12 දි විතර. සංජීවි සෙනවිරත්න කියන වෝටර් කලර් මාස්ටර් ළඟ තමයි මම ෆයින් ආර්ට් ඉගෙනගත්තෙ. ටික කාලයක් එතන ඉගෙන ගනිද්දි මගේ චිත්‍ර හැකියාව දියුණු වෙන්න පටන් ගත්තා. ජාතික මට්ටමේ සහ අන්තර්ජාතික මට්ටමේ තරගවලට මාව තෝරගත්තා. දැනට ඉතාලියෙත් මැලේසියාවෙත් වෝටර් කලර් චිත්‍ර තරග දෙකක ගැලරිවල මගේ චිත්‍ර ප්‍රදර්ශනය කරලා තියෙනවා. මගේ ළඟින් ම ඉඳන් මාව මේ දේවල්වලට පොළඹවන්නෙ අම්මයි තාත්තායි ආච්චියි. යක්කල ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලයෙන් මම කලා මාධ්‍යයෙන් උසස් පෙළ හදාරනවා. පාසලේදීත් මට මගේ චිත්‍ර හැකියාවන් දියුණු කරගන්න ලැබුණෙ විශාල සහයෝගයක්.

චිත්‍ර විෂයෙන් ඔබ ලැබූ ජයග්‍රහණ පිළිබඳ මතකය අවධි කළොත්?

මට රාජ්‍ය ළමා චිත්‍ර තරගයට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණෙ ගම්පහ “තිවර්ණ ෆයින් ආර්ට් ඇකඩමි” එක හරහා. ඒ තරගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගන්න මට පුළුවන්කම ලැබුණා. සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරගාවලියට මාව යොමු කළේ පාසලෙන්. ඒ තරගයෙනුත් මට ප්‍රථම ස්ථානය දිනාගන්න පුළුවන් වුණා. සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරගාවලියේ අන්තිම වටයට අනුරාධපුරයේ ඉසුරුමුණියට ගිහින් ඒ වටපිටාව බලාගෙන අඳින්නයි තිබුණෙ. මේ තරග දෙකේ දී ම මම චිත්‍ර ඇන්දෙ දිය සායම් මාධ්‍යයෙන්.

මේ විෂයේ වටිනාකම මිනිසුන් කොතරම් දුරට තේරුම්ගෙනද ඉන්නෙ?

අපේ මිනිස්සුන්ට මේකෙ වටිනාකම තේරුම් කරන්න ටිකක් අමාරුයි. සංගීතය, නර්තනය වගේ කලාවන් විඳින්න තමයි බොහෝ දෙනෙක් නැඹුරු වෙන්නෙ. ඒ දේවල්වල වින්දනාත්මක වටිනාකම වැඩියි. ෆයින් ආර්ට්ස් ගත්තොත් වෝටර් කලර් පේන්ටින්, ඔයිල් පේන්ටින් වගේ එකකට වියදම් කරනවට වඩා චිත්‍රපටියක්, සංගීත ප්‍රසංගයක් බලන්න යන එක ගොඩක් විඳින්න පුළුවන් දෙයක් විදිහටයි මිනිස්සු දකින්නෙ. වෝටර් කලර් වගේ පේන්ට් එකක් ගත්තොත් ඒකේ තියෙන වින්දනාත්මක වටිනාකම ලංකාවේ මිනිස්සුන්ගෙ ඔළුවට තාම ගිහින් නෑ. නමුත් පිටරට ගත්තොත් වෝටර් කලර් කියන එක මාධ්‍යයක් නෙවෙයි සංස්කෘතියක්. අනෙක් මාධ්‍යවලට වඩා වැඩි වටිනාකමක් තියෙනවා ලෝකෙ ඇතුළෙ දිය සායම් මාධ්‍යයට. ඒ කලාව මිනිස්සු ගොඩක් දුරට තේරුම් අරන් ඉන්නෙ.

ජාත්‍යන්තර චිත්‍ර ශිල්පීන් ඉන්නවා එයාලගේ චිත්‍ර විශාල මිල ගණන්වලට අලෙවි කරන. ඒ දේ ලංකාව තුළ කරන්න බැරි අපේ රටේ තියෙන මිනිස්සුන්ට තාම මේ කලාව හරියට අවබෝධ වෙලා නැති නිසයි. අනික ප්‍රධානම දේ බොහෝ දෙනෙක් බලන්නේ චිත්‍රයක තියෙන සුන්දරත්වය මිසක් ඒකෙ තියෙන කලාත්මක වටිනාකම නෙවෙයි.

චිත්‍රවලට ලංකාවේ හොඳ වෙළඳපොළක් හැදිලා තියෙනවා කියලා ඔබ හිතනවාද?

ඇත්තට ම නෑ. ඒකට හේතුව ආර්ට් කියන දේ ලංකාවේ මිනිස්සුන්ට තේරුම් ගිහිල්ලා නෑ තාම. ගොඩක් කලාකරුවන් ලංකාවේ මාර්කට් කරන්නේත් ඇබ්ස්ට්‍රැක්(ව්‍යුක්ත) වගේ පේන්ටින්. ඒ වගේ ම එ්වා ගොඩක් විකිණෙනවා. චිත්‍රවලට ලංකාවේ මාර්කට් එකක් හැදිලා තියෙනවා. ඒක එහෙම නෙවෙයි කියන්න බෑ. මං දන්න චිත්‍ර ශිල්පීන් ඉන්නවා ලක්ෂ එකහමාරකට වගේ මිලකට චිත්‍රයක් විකුණන. ලංකාවේ චිත්‍රවලට වෙළඳපළක් හැදිලා තියෙනවා. නමුත් පිටරට තියෙන තරමට කලාත්මක වටිනාකමක් සහ දැනීමක් චිත්‍ර සම්බන්ධයෙන් ලංකාවෙ මිනිස්සුන්ට නෑ. ඒ වුණත් පරම්පරාවෙන් ම චිත්‍රවලට දැඩි කැමැත්තක් ඇති කරගත් අයත් ඉන්නවා. එයාලට අපි කියනවා “ආර්ට් ලවර්ස්” නැත්නම් “ආර්ට් කලෙක්ටර්ස්” කියලා. ඒ අය චිත්‍ර එකතු කරනවා. සමහර අය ළඟ ස්ටැන්ලි අබේසිංහ වැනි චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර පවා තියෙනවා. එයාලගේ පරම්පරාවෙ ඉන්න උදවිය ම අපේ කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ චිත්‍රත් මිලදී ගන්නවා. ඉතින් වටිනාකමක් දන්න අය ඉන්නවා. නමුත් ලෝක වෙළඳපළේ තරම් ලංකාව තුළ චිත්‍රවලට වෙළඳපළක් හැදෙන්නෙ නෑ. මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය තුළ ලක්ෂ ගණන් වියදම් කරලා චිත්‍රයක් මිලදී ගන්න මිනිස්සු පෙළඹෙනවා අඩුයි.

ඔබේ අනාගත ඉලක්ක ගැන කතා කළොත්?

ලංකාව ඇතුළෙ චිත්‍ර පැත්තෙන් වෙනස් යමක් කරන්න හිතන් ඉන්නවා. ඒ වගේ ම අන්තර්ජාතික පැත්තෙනුත් මට මගේ චිත්‍ර කලාවට වටිනාකමක් දෙන්න ඕනෙ. ලංකාවේ තියෙන චිත්‍ර ම නෙවෙයි, අන්තර්ජාතික වටිනාකමක් වෙන ම තියෙනවා චිත්‍ර කලාවට. අපේ විශාල කණ්ඩායම් වැඩපිළිවෙලක් තියෙනවා චිත්‍ර කලාව වෙනුවෙන්. සංජීවි සර් ගාව මමත් ඇතුළු තව බොහෝ දෙනෙක් චිත්‍ර කලාව ඉගෙනගන්නවා වගේ ම චිත්‍ර කලාව වෙනුවෙන් වැඩ කරනවා. ඒ කණ්ඩායමත් එක්ක වැඩ කරනකොට මට අවස්ථාව ලැබෙනවා චිත්‍ර කලාවේ ප්‍රවීණයන් සමඟ වැඩ කරන්න. ඉදිරියේ දී අන්තර්ජාතික වටිනාකමක් තියෙන වැඩක් තමයි අපි කරන්න හිතන් ඉන්නෙ. ප්‍රදර්ශනයක්, වැඩමුළුවක් එහෙම පවත්වලා ලංකාව ඇතුළෙ චිත්‍ර කලාවත් වැඩි වශයෙන් දියසායම් චිත්‍රත් සම්බන්ධයෙන් අලුත් කතිකාවක් ඇති කරන්න අපි මහන්සි ගන්නවා.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න