රැකියා ඉල්ලන උපාධිධාරීන් | දිනමිණ

රැකියා ඉල්ලන උපාධිධාරීන්

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්ය සිරි හෙට්ටිගේ

වර්තමානයේ පවතින සමාජ ආර්ථික වටපිටාව අනුව විශ්වවිද්‍යාල සිසුන් තුළ අසහනකාරී, ගැටලුකාරී, මෙන් ම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නොතිබුණා නම් එය පුදුම සහගත තත්ත්වයක් වනු ඇත . එනිසා මෙය අභව්‍ය තත්ත්වයක් නොවේ. විශ්වවිද්‍යාලවල පසුගිය අවුරුදු 30 කාලයක සිට සිසුන්ගේ අසහනකාරී මෙන් ම උද්වේගකාරී තත්ත්වය වර්ධනය වී, උග්‍ර තත්ත්වයකට පත් වීම , මෙන් ම ඇතැම් අවස්ථාවලදී සමනය වීමත් දක්නට ලැබිණි.

අවසානයේ දී අපට සිදු වන්නේ කුමක් ද? යන්න වර්තමාන විශ්ව විද්‍යාල සිසුන්ට මතු වී තිබෙන දැවැන්ත ප්‍රශ්නයකි. විශ්වවිද්‍යාල සිසුන් යනු පාසල් දරුවන් නොවේ . පාසල් දරුවෝ පාසලේ ඉගෙන ගන්නා කාල සීමාවේ පාසලේ පහසුකම්, ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය, කලාත්මක දෑ සහ අනෙකුත් තෘප්තිමත් දෑ යනාදී වශයෙන් පාසල තුළින් තමන්ට හිමි වන දේ පිළිබඳ දැඩිව විමසිලිමත් වෙති. ඒ අකාරයෙන් ම විශ්වවිද්‍යාල සිසුන් ද අවශ්‍යතා සහ වුවමනා පිළිබඳ දැඩිව විමසිලිමත් වේ. තමන්ට අවශ්‍ය කරන දෑ නොලැබෙනවාය යන්න දැන ගැනීමෙන් පසු විශ්වවිද්‍යාල සිසුන් ආවේගකාරී පුද්ගලයන් බවට පත් වේ.

තරුණ වැඩිහිටියන්

විශ්වවිද්‍යාල සිසුන්ව අප හඳුවන්නු ලබන්නේ තරුණ වැඩිහිටියන් ලෙසිනි. තමන්ගේ තනි කැමැත්තෙන් යුක්තව තීන්දු තීරණ ගැනීමේ ශක්තියක් ඔවුන් තුළ පවතී. තරුණ වැඩිහිටියන් වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් තමන්ගේ ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීම, සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම,වෘත්තීය ජීවිතය ස්ථාවර කර ගැනීම, විවාහය තුළින් පවුලක් නිර්මාණය කර ගැනීම,යනාදී කාරණා මඟින් ආර්ථික සහ සමාජීය වශයෙන් ස්ථාවර බවක් ගෙඩනගා ගැනීමට පෙලඹේ. මේ තත්ත්වය තුළදී මේ කපේ දී අපිට මේ දේවල් කර ගැනීමට නොහැකිවනවා යැයි තේරුම් ගිය විට ඔවුන් තුළ අවේගශිලීබව, මානසික පීඩනය, ඉච්ඡාභංගත්වයක් මෙන් ම පශ්චාත්තාපය ගොඩනැගේ.

විශ්වවිද්‍යාල සිසුහු මේ රට කුමන දිශාවකට ද යන්නේ, කුමන පිරිසක් ද පාලනය කරන්නේ, මේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ කුමක් ද? , සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රමවේදයන් මොනවා ද? යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශාල උනන්දුවක් දක්වති .මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ සිටින බොහෝමයක් පිරිස් වයෝවෘද්ධ , අත්දැකීම් බහුල පිරිසක් වේ. එබැවින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට හේතු පිළිබඳව පුළුල් දැක්මකින් සිතා බලා , විශ්වවිද්‍යාල සිසුන් සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක් සම්පාදනය කළ යුතු වේ.

පාසල් පද්ධතිය දුර්වල වීම

විශ්වවිද්‍යාල සිසුන්ගේ අරඟල ඇතුළු වෙනත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්වලට මුල් වන්නේ පාසල ය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය පවතින්නේ දුර්වල මට්ටමක ය. අධ්‍යාපන ක්‍රමය තුළ විවිධ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වී ඇත.

විශේෂයෙන් ම විශ්වවිද්‍යාල සිසුන් උපාධිය ලබා ගත් පසුව තමන්ට හිමි වන රැකියා කවරේ ද යන්න පිළිබවද අවධානය යොමු කළ යුතු වේ. විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා පිට වන සිසුන් රජයේ රැකියා ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවයකින් යුක්ත වුවන් වේ. හැටේ හැත්තෑවේ දශකවල දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ , කෘෂිකාර්මික, කර්මාන්ත, සේවා, හා රාජ්‍ය පරිපාලන යන අංශවල දැඩි පුළුල්බවක් දක්නට ලැබුණි. මේ තත්ත්වය තුළ විශ්වවිද්‍යාල සිසුන්ට රාජ්‍ය අංශය විවෘත විය. එහෙත් 1978 වර්ෂයෙන් පසුව විවෘත ආර්ථිකයත් සමග පෞද්ගලික අංශය පුළුල් විය. වර්තමානය වන විට දී අපට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ විවෘත ලෝක ආර්ථිකයත් සමග ය. ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙදාම රටේ අර්ථිකය මෙහෙයවයි. අද වන විට විදේශ රටවලින් ලංකාවට බොහෝ දෑ ගෙන්වයි. එහෙත් අපේ රටෙන් විදේශ රටවලට යැවීමට දෙයක් නැති තත්ත්වයක් දක්නට ලැබේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව අද වන විට විශාල ආර්ථික අර්බුදයකට ලක් වී තිබේ. මෙමගින් ද ශ්‍රී ලංකාවේ අනාගතය භාර ගැනීමට සිටින විශ්වවිද්‍යාල සිසුන්ට යම් බලපෑමක් සිදු වේ.

පසුගිය වසර 30 තුළදී මෙරට පෞද්ගලික අංශයේ වැඩිදියුණු වීමක් දක්නට ලැබිණි. ඒ හේතුවෙන් පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් ස්ථාපිත විය. රටේ ධනවතුත් තම දූ දරුවන්ව උසස් අධ්‍යාපනය සඳහා විදේශ විශ්ව විද්‍යාලවලට යැවූහ. එමෙන් ම ඇතැම් මව්පියන් තම දරුවන්ව දේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කළහ. විදේශ විශ්වවිද්‍යාලවලින් ව්‍යාපාර කළමනාකරණය, වෛද්‍ය වෘත්තීය, කාර්මික විෂය ක්ෂේත්‍ර යනාදී උපාධි හිමි කර ගෙන පැමිණි සිසුන් ලංකාවෙහි බහුල විය. ඒ හේතුවෙන් පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා මෙරට විශ්වවිද්‍යාලවලින් උපාධිය හිමි කර ගන්නා සිසුන් වෙනුවට විදේශ රටවලින් උපාධි හිමි කර ගත් සිසුන් බඳවා ගැනීමේ ප්‍රවණතාවය වැඩි විය. පෞද්ගලික අංශය සඳහා විදේශ උපාධි හිමි කර ගත් සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය ද මෙරට සිසුන්ගේ මානසික ව්‍යාකූලත්වයට දැඩි ලෙස බලපා තිබේ.එකල ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ කාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා විදේශ උපාධි හිමි කර ගත් සිසුන්ගෙන් ප්‍රයෝජන රැසක් හිමි කර ගත්හ.

මැතිවරණයක් ආසන්න වූ විට විශ්වවිද්‍යාලවලින් උපාධිය හිමි කර ගත් සිසුන්ට රජයේ රැකියා ලබා දෙනු ලැබේ . බොහෝ දේශපාලඥයින් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජන අරමුණු කර ගනිමින් කරන්නට දෙයක් නැති කමට , සිසුන්ට රැකියා ලබා දෙති . ක්‍රමානූකූල ක්‍රමවේදයකට අනුගත නොවී උපාධිය ලබා ගත් සිසුන්ට එලෙස රැකියා ලබා දීම විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇති වීම කෙරෙහි දැඩිව බලපායි. මේ නිසා ජාතික මට්ටමින් දරුවන්ගේ හැකියා සහ කුසලතා , මෙන් ම ඔවුන් වැඩි ඇල්මක් දක්වන විෂය ක්ෂේත්‍ර හදුනා ඊට අදාළව රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් ගොඩනැංවීම වඩාත් වැදගත් වේ. ශ්‍රී ලකාවේ 1989 වර්ෂය වන විට දී දැඩි අසහනකාරී මෙන් ම උදේවේගකාරී තත්ත්වයක් උද්ගත වී තිබුණි. මේ අවස්ථාව වන විට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ද දැඩි අවිනිශ්චිත තත්ත්වයක් දක්නට ලැබුණි. මෙම අසහනකාරී තත්ත්වය යම්තාක් දුරකට සමනයට පත් වූ පසු විශ්වවිද්‍යාල සඳහා දරුවන්ගේ පැමිණීමෙහි අඩු වීමක් දක්නට ලැබුණි. එකල ඇතැම් දරුවන් අතුරුදහන් වීම , මරණයට පත් වීම , මෙන් ම අත්අඩංගුවේ සිටීම ඊට හේතු විය . එදා අපි සිසුන් නැවතත් විශ්වවිද්‍යාලයට ගෙන්වා ගැනීමට පුළුල් වැඩපිළිවෙළක් කළෙමු. සිසුන්ගේ අසහනකාරී බව සමනය කිරීම සඳහා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් භාරව සිටි , මගේ නායකත්වය යටතේ කාර්යයාර්යයන් රැසක් සිදු කෙරුණි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට උනන්දුවක් සහ ප්‍රබෝධයක් හිමි කර දීම සඳහා මම පෞද්ගලිකව මැදිහත් වී විශ්‍රාම සුවයෙන් සිටි මහාචාර්ය එදිරීවීර සරත්චන්ද්‍ර මහතාව නැවත විශ්වවිද්‍යාලයට කැටුව ආවෙමි. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශවලත් ඇගයීමට පාත්‍ර වුණු අද්වීතීය චරිතයක් වූ සරත්චන්ද්‍රයන් තුළින් විශ්වවිද්‍යාල පද්ධතියයේ සෞන්දර්යාත්මක ක්ෂේත්‍රයේ වර්ධනයක් කළ හැකි බව මට පසක් විය. එපමණක් නොව ජයලත් මනෝරත්න,පණීභාරත,මෙන් ම සෝමලතා සුභසිංහ වැනි කලාකරුවන් කිහිප දෙනෙක් ගෙන්වා ගෙන සෑම සතියකම සංස්කෘතික වැඩසටහනක් පැවැත්විය.

විශ්වවිද්‍යාල දරුවන්ගේ පෞද්ගලික ගැටලු කථා කිරීම සඳහා සෑම සිසුවකුටම ආචාර්යවරයකු හදුන්වා දෙනු ලැබී ය. විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට උපදේශන පුහුණුවක් ලබා දී , එමඟින් සිසුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට උපකාර කෙරිණ . සිසුන්ගේ නවාතැන් පහසුකම් විසඳීම සඳහා වැඩපිළිවෙළක් දියත් කෙරිණ. සිසුන්ගේ ආර්ථික ගැටලු සඳහා ඔවුන්ට විවිධ ආයතනවල කෙටි කාලීන රැකියා අවස්ථාවන් සපයා දීමේ වැඩපිළිවෙළක් ද දියත් විය .

සංස්කෘතික අමාත්‍යංශයේ අනුදැනුමින් අප විශ්වවිද්‍යාලය තුළ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කර, සංගීත, සහ නැටුම් කණ්ඩායම් බිහි කිරීම විශේෂ සිද්ධියක් විය. කොළඹ විශ්ව විද්‍යාලයෙහි ආයතනික මට්ටමින් අප සිදු කළ දැවැන්ත වැඩපිළිවෙළ මඟින් පෙර පැවති විශ්වවිද්‍යාලයෙහි පරිසරය මුළුමනින් ම පරිවර්තනයකට ලක් විය.

එදා කොළඹ විශ්වවිද්‍යාල පද්ධතියේ තිබුණු දැවැන්ත අභියෝගවලට ආයතනික මට්ටමින් සාර්ථක විසදුම් ලබා දුන්නේ එසේ ය. එවැනි දේ වර්තමාන බලධාරීන් ආදර්ශයට ගනිමින් නැවත සිදු කරනවා නම් වඩාත් යහපත් ය .

ජාතික මට්ටමේ ගැටලු සදහා ආයතනික මට්ටමින් විසදුම් සෙවීම අපහසු ය.රටේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම, පාසල් පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීම, ඒ සදහා රටේ ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, පාසල් අතර තිබෙන පරතරය අඩු කිරීම,සිසුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම, ආදිය අනිවාර්යයෙන් ම කළ යුතු ය.සිසුන්ගේ භාෂා දැනුම වර්ධනය කළ යුත්තේ කුඩා කාලයේ සිට ය. කුඩා කාලයේ යම් දෙයක් මොළයට ධාරණය කර ගත් විට එය, ජීවිතකාලය පුරාවටම මතකයේ තබා ගත හැකි වේ. පාසල් පද්ධතියේ සිදු වන විෂමතා, විශ්වවිද්‍යාලය තුළදීත් සිසුන්ට බලපායි. විශේෂයෙන් ම සිසුන්ගේ ගුණාත්මකභාවයට පාසල් පද්ධතිය තුළින් විශාල බලපෑමක් සිදු වේ. උදාහරණයක් වශයෙන් මීට වසර 30 කට පෙර සිටි ශිෂ්‍ය පරම්පරාව , අද සිටින ශිෂ්‍ය පරම්පරාවට වඩා වෙනස් වී තිබීම පෙන්වා දීමට පුළුවන.

විශ්වවිද්‍යාල සිසුන් උද්වේගකාරී ක්‍රියාවන්හි නිරත වීම යන ගැටලුව , සුළු කොට තකා විසදීම සුදුසු නොවේ. මෙය ශ්‍රී ලංකාවේ අනාගතයට බලපාන සංකීර්ණ ගැටලුවක් බවට පත්ව තිබේ. සමස්ත ශිෂ්‍ය ප්‍රජාව පිළිබදව ආයතනික, ජාතික ,මෙන් ම පාසල් මට්ටමින් සාකච්ජා කර නිසි ප්‍රතිපත්තියකට අනූකූලව තීරණ ගත යුතු වේ. සැබවින්ම මෙම ගැටලුව පිළිබද සමාජ කථිකාවතක් ඇති කීරීම වඩාත් වැදගත් වේ.

අධ්‍යාපනයට පමණක් සීමා නොවීම

විශ්වවිද්‍යාල සිසුන් තම ඉල්ලීම් දිනා ගැනීම සදහා දිගින් දිගටම අරගල සිදු කිරීම රටේ පරිහානියට බලපාන ප්‍රධාන සාධයක් බවට පත් වේ. ඒ නිසා රටේ පෞද්ගලික අංශය මැදිහත් වී විශ්ව විද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාල සීමාවේ දී , අවම වශයෙන් සතියකට දින දෙකක් හෝ තම ආයතනවල සේවය කිරීමට අවස්ථාව ලබා දීම වඩාත් එලදායී වේ. එමගින් විශ්වවිද්‍යාල සිසුන්ට තමන්ගේ අනාගතය පිළිබඳව යම් ආකාරයේ ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමට හැකි වේ.

රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන තුළින් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසුන්ට කෙටි කාලීන රැකියා අවස්ථා ( Part time Jobs ) ලබා දීමට කටයුතු කිරීම තුළින් බොහෝ දුරට මෙම ගැටලුවට විසදුම් සපයා ගැනීමට හැකියාව ලැබේ.

සිසුන් ද, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පමණක් සීමා නොවී , තමන් ඇල්මක් දක්වන විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව අවධානය යොමු කර, නිර්මාණශීලී දෑ සමාජයට හදුන්වා දීම සඳහා උනන්දු විය යුතු ය. එමඟින් විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගතය පිළිබඳව තිබෙන සැකය මඟ හරවා ගැනීමට පුළුවන.

කලා ක්ෂේත්‍රයන්ට සම්බන්ධ සිසුන්ට , ඊට අදාළ ආයතන සහ පුද්ගලයින් සමඟ මනා සම්බන්ධතාවක් ගොඩනඟාගත හැකි ය . එතුළින් ඔවුන්ට තමන්ගේ අනාගතය පිළිබඳව විශ්වාස කළ හැකි වේ. ලිවීමට හෝ කියවීමට නිපුණතාවයක් දක්වන සිසුන් මාධ්‍ය ආයතන හෝ ඒහා සමඟාමී ආයතන සමඟ සම්බන්ධතා ගොඩනනඟා ගනිමින් , තමන්ගේ වෘත්තීය දැනුම අත්දැකීම් තුළින් වර්ධනය කර ගැනීමට උත්සාහ කළ යුතු ය. ලීවිම ඉගෙන ගත යුත්තේ ලිවීම ප්‍රගුණ කිරීමෙනි. කථනය පුරුදු විය යුත්තේ ද , එය කිහිප වතාවක් ප්‍රයෝගිකයව පුහුණු කිරීමෙනි.

සිසුන්ගේ කැමැත්ත

විශ්වවිද්‍යාල සිසුන් තමන් ඇල්මක් දක්වන විෂය ක්ෂේත්‍රයන් කෙරෙහි , පාසල් කාලය තුළදීම උනන්දු වීමෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුව ද, නොවුන ද, තමන්ගේ අනාගතය පිළිබවදව බලාපොරොත්තු තබා ගැනීමට පුළුවන. විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස් පෙළින් පසුව තිබෙන ඊළග පියවර පමණක්ම නොවිය යුතු වේ. විශ්ව විද්‍යාලය යනු ශාස්ත්‍රීය ආයතනයක්, පර්යේෂණ ආයතනයක්, මෙන් ම පුළුල් සන්දර්භවයක් තුළ අධ්‍යාපනය හැදැරීය හැකි ආයතනයක් වේ. වර්තමානයේ දී පාසල්වල දරුවන්ට 10 වන ශ්‍රේණියේ දී උසස් පෙළට කළ යුතු විෂයන් තෝරා ගැනීමට අවස්ථාව ලබා දේ. එහි දී දරුවන් තමන් තෝරා ගන්නා ප්‍රයෝගික හෝ ශාස්ත්‍රීය විෂය ධාරාවන් තෝරා ගැනීම කළ යුතු වන්නේ තමන්ගේ කුසලතාවන් සහ උනන්දුව මත ය. කිසිදු විටකවත්, විශ්වවිද්‍යාලයට යන්නන් වාලේ නොයා යුතු වේ.

රටේ නීතීය සහ සාමය ආරක්ෂා කිරීමේ වගකීම තිබෙන්නේ පොලිසියට ය. විශ්වවිද්‍යාල සිසුන් සිදු කරන ආවේගකාරී ක්‍රියාවන් හේතුවෙන් ප්‍රවාහන පද්ධතියේ , ආයතනික පද්ධතීන් යනාදී සියලු පද්ධතීන් තුළ ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් ආරවුලක් නොවන ආකාරයෙන් විසදීම පොලිසියේ කාර්යභාර්ය වේ. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් නිරපරාදේ පොලිසියට බලපෑම් කිරීම සිදු නොකළ යුතු දෙයකි. වඩාත්ම සුදුසු වන්නේ විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර සිටම සිසුන් තමන්ගේ අනාගතය කෙසේ විය යුතු ද? යන්න පිළිබදව පුළුල් දැක්මකින් කටයුතු කිරීම ය.ඒ සදහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලක්ම එකට ඒකාබද්ධ වී විශ්වවිද්‍යාල සිසුන්ව සවිබලගැන්වීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම තුළින් බොහෝ ප්‍රතිඑල ලබා ගැනීමට හැකියාව ලැබේ.

සටහන මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න