අවස්ථාවාදී බලාපොරොත්තු | දිනමිණ

අවස්ථාවාදී බලාපොරොත්තු

බණිනවා නම් අප වඩාත් කැමති අමෙරිකාවට, බටහිරට බනින්නට ය. පදිංචිය හෝ අධ්‍යාපනය සඳහා රටකට යනවා නම් අප කැමති ද ඒ රටවලින් එකකට යෑමට ය. අප වර්ණනා කරන්නට කැමති වාණිජ්‍ය ක්‍රමයන්ගෙන් දූෂණය නොවුණු පාරිශුද්ධ නිර්ව්‍යාජ ගැමි සුවඳ වහනය වන ගම ය. ඒ වුනාට ඉන්නට කැමති හැම අතින් ම දූෂණය වුණු අශෝභන නගරයේ ය. ගෙන්දගම් පොළොවේ ය.

අපේ පිරිමි බලන්නට කැමති අඩුවෙන් ඇඟ ආවරණය වෙන්නට ඇඳුම් අඳින කාන්තාවන් දෙස ය. එහෙත් බඳින්න කැමති කිසි දෙයක් නිරාවරණය නොවන සේ වසා ගෙන ඉන්නා අයව ය. ගෑනු ද ඊට දෙවැනි වන්නේ නැත.ඡන්දෙ දෙන්නට සරමයි බැනියමයි අඳින අය සොයතත් බඳින්නට උන් සොයන්නේ කලිසම් කමිස අඳින අයව ය.

අප සාදු කාර දෙන්නේ නිවන් දකින්නට ය. ඉතිරි සියලු වැඩ කෙලෙස් එක් රැස් කරන්නට ය. ජිවිතය දුකක් වුව ද අප දැන්ම නිවන් දකින්නට කැමති නැත. නිවන් යනවා නම් ඒ දෙව් මිනිස් සැප කෙළවර ය. නිවන් සුව පරම සැපත වුව ද ජීවත් වන මිනිහකුට නිවන් සුව අත්වේවා යැයි කියන්නට අපට බැරි ය. එහෙම වුනොත් අපට සිද්ධ වන්නේ එවෙලේම නිවන් සැප ලැබ ගන්නට ය. ඒ සඳහා මියෙන්නට ය.

අප වඩන්නේ මෛත්‍රී භාවනාව ය. ඒ වුනාට අන් සියලු කටයුතු කරන්නේ අනෙකාට කෙළවන්නට ය. උන්ට වැට කොටු බඳින්නට ය.

බණ දෙසන්නේ අල්පේච්ඡ ජීවිතයක් ගැන ය. එහි වරුණය ගැන ය. එයින් ලැබිය හැකි ශාන්ත සුවය ගැන ය. නිවන ගැන ය. එහෙත් යන්නේ එන්නේ, නැත, සමා වන්න, වඩින්නේ, සුඛෝපභෝගී සැලුන් රථවල ය. වැඩ වාසය කරන්නේ රජ මාලිගාවල ය.

නොමරන්න කියන්නේ සතුන්ව ය. එල්ලා මරන්න කියන්නේ ජීවිතය වැරදුන මිනිසුන්ව ය.

බුදු පිළිමයකට පස්ස හැරෙව්වත් වැරදි ය. එහෙත් බුද්ධ ධර්මය කණපිට ගසා ඒ මත කරණම් ගැහැව්වත් කමක් නැත. බුදු රුවක් සිය සිරුරේ පච්ච කොටා ගැනීම බුදුන්ට අපහාස කිරීමකි. බුදුන් විකුණා දේශපාලනය කිරීම, බඩ වියත පාදා ගැනිම, අනෙකා පෙළීම බුදුන්ට කරන අපහාසයක් නොවේ.

අපූරු හොඳ නරක

ඇතැමුන් සල්ලි ද සලකනු ලබන්නේ පිළිකෙව් කටයුතු දෙයක් ලෙස ය. මිනිස් සිත් දූෂ්‍ය කරන නපුරක් ලෙස ය. ඒත් එසේ කියන බොහෝ දෙනකු කරන්නේ ම උදේ සිට සවස් වන තෙක් ඒ කියන නපුර එක් රැස් කිරීම ය. ඇතැම් විට එයට හේතු විය හැක්කේ එය අනුන් අතේ තිබීමෙන් මිසක තමන් අතේ තිබීමෙන් නපුරක් නොවන නිසා විය හැකි ය.

ගබ්සාව හොඳ නැත. එල්ලා මරන එක හොඳ ය. ගබ්සා කළා නම් ඇතැම් විට එල්ලා මරන්නට සිද්ධ වෙන එකක් නැතැයි කියා වත් ඔවුන්ට හැඟෙන්නේ නැත.

දේවාලයේ කපු මහත්තා අපේ නැති වූ දේ හොයා දෙන වගට අපට ලෝස් නැති පොරොන්දු දෙන්නේ ය. දෙවියන්ගෙන් ද හිරිකිතයක් ප්‍රශ්නයක් නැතුව ඊට උදව් ඉල්ලන්නේ ය. ඒත් දේවාලේ කොත නැතිවුනහම එයා දුවන්නේ පොලීසියට ය. අපට රැකවරණය දෙන දේවාලයට රැකවරණය දෙන්නේ සිසීටීවී කැමරා ය. ඒ දෙවියන් වුවත් හොරකම් කර ගෙන යෑමට පිළිවන් මිනිසුන් අප රටේ ඉන්නා නිසා විය හැකි ය.

දෙවියන්ට අප විසින් පින් දෙනවා මිසක දෙවියන්ට අප වෙනුවෙන් කළ හැකි කිසිවක් නැතැයි දේශනා කළ බුදුන් නැමැද අප ඊළගට යන්නේ එසේ කළ හැකි කිසිවක් නැතැයි බුදුන් දෙසූ එක්කෙනාට ද වැඳ උදව් ඉල්ලා සිටීමට ය. තමන්ට සරණ විය හැක්කේ තමන්ට පමණකැයි දෙසූ බුදුන් වැඳ ඉන් අනතුරුව බුදුන් පිට දුන් බෝ ගස වඳින්නේ කප්පරක් වර්ගයේ සරණ පතා ය.

බෝට්ටුවල නැගී දහසක් අවදානම් මැද්දේ වෙන රටවල සරණ පතා යන අප, එසේ යන අපේ මිනිසුන් මානුෂිකව පිළිගත යුතු යැයි අපේක්ෂා කරන අප, වැරදීමකින් එවන් බෝට්ටුවකින් මෙරටට සේන්දු වී තාවකාලික ලැගුම් ගත් මිනිසුන් සොයා උන්ට පහර දෙන්නට ද නිර්භීත ය. වෙන රටවලට අප සංක්‍රමණය වීම හෝ වෙන රටවලට ගොස් අපේ උන් බුරුතු පිටින් රැකියාව කිරීම හෝ වැරැද්දක් ලෙස නොදකින, ඒ සඳහා අපට අයිතියක් ඇතැයි හඟින අප, අපේ රටට එසේ මිනිසුන් එනවාට නම් එහෙමට මනාපයක් නැත.

අපට රැවුලත් ඕනෑ ය. කැඳත් ඕනෑ ය. බර වැඩ නොකර ත්‍රී වීලර් එලවන්නටත් ඕනෑ ය. බර වැඩ කරන්නට මිනිසුන් නැති නිසා වෙන රටකින් මිනිසුන් ගෙන්වා ගැනීමට ඉඩ දීමට ද අපේ කැමත්තක් නැත. ඒත් බර වැඩ කර රට දියුණු කරන්නටත් ඕනෑ ය. මේ සියල්ල එකට කිරීමට නොහැකි වුනාට එහෙම කරන්නට පුළුවන් විශ්ව කර්මයෙක් අපට ඕනෑ ය. ඒ සඳහා සක්කරයාගේ පුතා වයිමාගෙන් වුවත් කමක් නැත. මිනිසුන් නම් එපා ය.

මෙලොව සම්පත් ඕනෑ නිසා හොරකම් කරන කඩා වඩා ගන්නා අපට එලොව සම්පත් ඕනෑ නිසා දන්දෙන්නට ද ඕනෑ ය.

හොරුන්ට දූෂිතයන්ට චණ්ඩින්ට මැරයන්ට පියරු බබාලාට කටින් විරුද්ධ අප අතින් කතිරය ගසා චන්දය දී බලයට පත් කරන්නේ ද උන්ව ය. ඒ සඳහා කප්පරක් හේතු ද අපට තිබේ. හොරකම් කරත් යුද්ධය දිනුවා ය, වංචා කළත් ඌ අපේ එකෙක් ය, රට කෑවත් ඌ රට බෙදුවේ නැත, හදවතේ නැති වුනත් උගේ කටේ දේශප්‍රේමය තිබෙන්නේ ය, වැඩ බැරි වුනත් රංගනයෙන් ද ක්‍රීඩා කෞෂල්‍යයෙන් ද අපව පිනෙව්වා, කළ ගුණ සලකන්න එපායැ වැනි අපූරු හේතු ද ඒ අතර තිබෙන්නේ ය.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ යන ගමන් එය හැදූ එකාට බණින එක ගැන දෝස් මුර දෙන අප සුද්දා හැදූ රේල්ලුවේ යන ගමන් සුද්දාට බණින එක ගැන කෙළ පොදක්වත් හෙළන්නේ නැත. කන්න ඕනෑ වුනාම කබරගොයා තලගොයා කර ගැනීමට අප දක්ෂ ය.

අපේ වැඩ සහ උන්ගේ වැඩ

අල්ලස් ගන්නවුනට රිස්ස යන්නට බණින්නට දක්ෂ අප, අපේ වැඩය කර ගැනීම සඳහා ක්‍රමවේද නීති නමා ගැනීමට අල්ලස් දෙන්නට ඉදිරිපත් වන්නට නම් පැකිලෙන්නේ නැත. මිනිස්සු අල්ලස් ගන්නා එකට බැණ වදින අප දෙවියන් ම ඒ වැඩය කරන බව නොසළකා දෙවියන්ට වැඳීමට ද නොපැකිළෙන්නෙමු. ඒ එවැනි කප්පරක් වූ ඉල්ලීම් ඉටු කර ගැනීමට දෙවියන්ට අප අල්ලස් දෙන අල්ල පනල්ලේ ය.

අසල්වැසියාට ප්‍රේම කිරීමට අපට උගන්වා ඇතත් අපේ ප්‍රේමය අසල්වැසියාගේ දුවට හෝ බිරියට එසේත් නැතිනම් ගෘහ මූලිකයාට හෝ පුතාට පමණක් එල්ල කිරීමෙන් අපි නවතමු. එතැනින් එහාට අප දන්නා අසල්වැසි ප්‍රේමයක් නැත. එයට උත්තර නොලැබුනොත් ප්‍රේම කළ තැනැත්තාට උගැන්විය යුතු පාඩම අපට කියා දී නැති නිසා අප දන්නා ඉහළ ම පාඩම ඉගැන්වීමට ද අපි පසු බට නොවෙමු. ඒ අපට ප්‍රේමකරන්නට බැරි නම් එයා හිටිනවාට වඩා නොහිටින එක හොඳය යන්න මතු කර දක්වන පාඩමකි. ප්‍රේමය අසුරු සැණින් වෛරය බවට පත් කරන පාඩමකි.

මේ ලයිස්තුව තව දිග ය. එහෙත් මේ දක්වා ඇති කරුණු ටිකෙන් වුව ද පොදු නිගමනයකට ඒම ට අපට හැකි ය. අපේ මනස වැඩ කරන ආකාරය තේරුම් ගන්නට මේ උභතෝකෝටික තත්වය උදව් කර ගැනීමට අපට හැකි ය.

බොහෝ දෙනකුට තමන්ගේ ම මතයක් නැත. ඒ අය දරන්නේ සමාජය විසින් සකස් කර දී තිබෙන මතයන් ය. විශේෂයෙන් කුඩා කල හෝ තරුණ කාලයේ, මනස සකස් වෙමින් පවතින යුගයේ, හිතට ඇතුළු කරනු ලැබු අදහස් ය. ඒවා තුළ පැහැදිලි ලේබල් තිබිණි. එක ලේබලයක් යහපත ද අනෙක අයහපත ද නිරූපනය කළේ ය. එක ලේබලයක් දෙවියන් ද අනෙක සාතන් ද එකක් සුදු ද අනෙක කළු ද එකක් පින් ද අනෙක පව් ද නියෝජනය කළේ ය. එසේ ලේබල් ගසා බාර දෙන ලද ඒවා අප ඒ ලෙස ම අපේ මනස තුළ තැන්පත් කරගෙන ඇත්තෙමු.

බොහෝ දෙනකුට අනුව අප පෘතග්ජන ය. ඒ නිසා අප දෙවියන් වඳින්නේ වුව ද අපට දෙවියන් වන්නට බැරි ය. අප යහපත් දේ අගයන්නේ වුව ද ඒවාට සීමා වන්නට අපට බැරි ය. එසේ කොට මේ මනුලොව ජීවත් වෙන්නට බැරි ය. කවදා හෝ දේවත්වයට නිවනට පත් වන්නට සිතාගෙන සිටියත් එතෙක් අප ජීවත් විය යුතු ය. ඒ නිසා අපට ප්‍රායෝගික වීමට සිදු ව තිබේ. ගනුදෙනු දෙවියනට සීමා කරතොත් අපට ප්‍රායෝගික වෙන්නට බැරි ය. ඒ නිසා පිළිකුලෙන් යුතු ව වුව ද අපි සාතන් සමග ද ගනුදෙනු කරන්නෙමු. බැණ බැණ අමෙරිකාවට එංගලන්තයට ම රිංගන්නේ ඒ නිසා ය. අල්ලසට රිස්ස යන්නට බැණ බැණ අපේ වැඩේ කර ගන්නට වුවමනා වූ විට අල්ලස් දෙන්නේ ඒ නිසා ය.

අපි දෙවියන්ට කැමති ය. දේවත්වයට කැමති ය. පිනට දහමට කැමති ය. ඒවා මනස සනසන මනසට අහරක් වන අමෘතයක් වන කටයුතු ය. එහෙත් ඒවායින් බඩ පිරෙන්නේ නැත. ශරීරයට කිසිවක් වෙන්නේ නැත.

ප්‍රශ්නය අපට එක විට මනසක් පමණක් නොව සිරුරක් ද නඩත්තු කරන්නට සිදු ව තිබීම ය. මනස නඩත්තු කරන්නට අපේ මාතෘභූමිය දෙසට හැරී වඳින අපට සිරුර නඩත්තු කරන්නට ඊට පිටුපා බටහිරට කොන්ද නමන්නට ද සිදු ව තිබේ අරුමය එය ය.

බොරුව හා ජීවිතය

වෙනත් ලෙසකට කියනවා නම් මනස සනසන්න බොරුවට ඉඩ විවෘත කරන නමුත් මහ පොළොව මත ජීවත් වීම ඒ මවාගත් බොරුවෙන් කළ නොහැකි ය. ඇත්තට මුහුණ දෙන්නට සිදු වන්නේ එවිට ය. ඇත්ත කුමක් ද? බටහිර කොතරම් අඩු ලුහුඩුකම් තිබුණත් අපේ මව්බිමට වඩා එය බොහෝ කරුණුවලින් යහපත් බව ය. ජීවිතය තුළ කොතරම් දුක් ගැහැට තිබුණත් ඒ තුළ වින්දනය ද නෙක යහපත් දේ ද තිබෙන බව ය. අල්පේච්ඡ ජීවිතයක් ගැන බණ දෙසුව ද සුවපහසු වාහනයක ඇඳක සුවයක් ඇති බව ය. මත්පැන් බීම පස් පවින් එකක් වුවත් එය සීමාවක් ඇතිව බීවාට පසු ආතල් එකක් ඇති බව ය (මේ නොබොන අය බොන්නට යොමු කරනවා නොවේ. ඊට කිට්ටු හෝ එය ඉක්මවන ආතල් නොබී ද ගත හැකි බව ද ඒ නිසා ම මතක් කරමි). සතුන් මැරීම පවක් වුව ද මස් කෑල්ලක් මාළු කෑල්ලක් නැති කෑම වේලක ගතියක් නැති බව ය. අඩුවක් ඇති බව ය. මීයන් කැරපොත්තන් මදුරුවන් කෘමීන් සර්පයන් හා පිස්සු බල්ලන් සමග ජීවත් විය නොහැකි බව ය. උන් මරන්නට සිදු වන බව ය. තමන්ට බැරි නම් පූසෙකුට හෝ ඒ කොන්ත්‍රාත්තුව දිය යුතු බව ය. ඇතැම් විටක කෙනෙකුගේ හිත සනසන්නට බොරුවක් කියන්නට ද සිදු විය හැකි බව ය. ඇත්ත සඟවන්නට ඇතැම් විට සිදු වන බව ය.

මේ ප්‍රායෝගිකත්වයට පිටුපාන්නට ලෙහෙසි පහසු කෙනෙකුට බැරි ය. ඒ නිසා අපේ ජීවිතය දෙබිඩි ය.

එක් අතක අපට අපේ උරුමය විසින් පවරා ඇති නෙක වර්ගයේ දිව්‍යමය සංකල්පයන් ය. බොහෝ දෙනකුගේ ජීවිතයට අරුත් සපයා ඇත්තේ මේ සංකල්පයන්ගෙනි. දිව්‍යමය සංකල්ප තුළ ඇති බොරුව එලි වෙනවාට අප අකමැතිය. එවිට අපේ ජීවිතයට අරුත අහිමි වේ.

මේ දෙබිඩි චරිතය නඩත්තු කළ හැක්කේ විචාරශීලිත්වයට විලංගු දැමූ චරිතයකට ය. සිතීම නතර කළ මිනිසාට ය. අපේ සමාජයේ වැඩි පුර ඉන්නේ සිතීම නතර කළ මිනිසුන් ය. තමන්ගේ ම ජීවිත විවරණයක් නැති ඒ නිසා ම අනුන් ජීවිතයට දුන් අරුත, තමන්ගේ සේ ගත් මිනිසුන් ය.

අප වැඳිය යුත්තේ පසඟ පිහිටුවා ද දොහොත් මුදුන් දී ද කියා සිල්ලර ප්‍රශ්න නගමින් හාමුදුරුවන් වෙහෙසට පත් කරන්නේ මෙන්න මේ වර්ගයේ අය ය. ඔවුන් නිතර ලෑස්ති වී ඉන්නේ බුදුන්ගේ නම සඳහන් කළ පමණින් සාදු කාර දෙන්නට ය. නිවන කී පමණින් සාදු කාර දෙන්නට ය. තේරුම් නොදන්නා ගාථා හඩ නගා කියන්නට ය. තේරුම් ගන්නට වෙනත් ධර්ම කාරණා ඔවුන්ට නැත. කප්පරක් ප්‍රතිවිරෝධයන් සහිත ධර්මයක් පිලිවිසීමට තරම් ආත්ම ශක්තියක් හැකියාවක් ඔවුන්ට නැත. අඩුවශයෙන් ජාතක කතාවක ඇති ධර්ම විරෝධී කරුණක්වත් විමසන්නට වුවමනාවක් ඔවුන්ට නැත. වෙස්සන්තර රජු, ජූජක බමුණා වැනි අමනුස්සයකුට, දරුවන් හා බිරින්දෑ දන් දුන්නේ කුමන සදාචාරයකට අනුව දැයි ඒ නිසා ම ඔවුන් විමසන්නේ නැත. සුරඟනුන් පෙන්නා නන්ද කුමාරයා මුළා කළේ ඇයි දැයි ඔවුන් විමසන්නේ නැත. දෙවියන් වහන්සේ ලොව නිර්මාණය කරන විට සර්ව බලධාරිත්වය කොහේ තිබුණේ දැයි ඔවුන් අසන්නේ නැත. එවන් සර්වබලධාරිත්වයක් ඇතුව ද පොඩි එකා ලොකු එකාගේ ගොදුර වෙන ලෙස මේ ලොව බිහි කළේ කුමන සාර ධර්මයකට අනුව දැයි ඒ නිසා ම ප්‍රශ්න කරන්නේ නැත.

මෙසේ විවෘතව ප්‍රශ්න කිරීමෙන් අර්බුදයට යන්නේ වසර ගණනාවක් තිස්සේ අමාරුවෙන් ගොඩනගා ගත් විශ්වාසයන් බව ඔවුන් කියනු ඇත. මේ සියල්ල මග පාදනු ඇත්තේ ආගමක් දහමක් නොදන්නා නරුමයන් පිරිසක් බිහිකිරීමට බව ඔවුන් කියනු ඇත.

ජීවිතයට අරුතක් අවශ්‍ය බව ඇත්ත ය. එහෙත් ඒ අරුත සඳහා ආත්මීය බොරකාරයකු වීම නරක ය. බොරුකාරයකු නොවී අරුතක් අපට සපයා ගත හැකි ය.

ඒ සඳහා තව විදිහක් වන්නේ හරි වැරැද්ද ඇතුළත් තමන්ගේ ම හර පද්ධතියක් ගොඩ නගා ගැනීම ය. දෙබිඩි චරිතයක් නැතිව ජීවත් විය හැකි හර පද්ධතියක් හදා ගැනීම ය. ජීවිතයේ අරුත ගැන තමන්ගේ ම විග්‍රහයක් හදා ගැනීම ය. එය රැක ගැනීම ජීවිතයේ අරුත කර ගැනීම ය.

නිශාන්ත කමලදාස


නව අදහස දක්වන්න