පන්සල් පන්සියය! | දිනමිණ

පන්සල් පන්සියය!

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තවත් අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට යන බව කියා ඇත. මෙවර එතුමාගේ ඉලක්කය වන්නේ දිවය‍ිනේ විහාරස්ථාන පන්සියයකට ගොඩනැඟිලි පන්සියයක් ලබාදීම ය. මේ වැඩසටහනේ දී ප්‍රමුඛතාව ලබා දෙන්නේ දහම් පාසල් ගොඩනැඟිලි ඉදිකිරීමට බව ද; එබඳු දහම් පාසල් ගොඩනැඟිලි දෙසිය දාහතරක් ඉදිකිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. පුරාණ විහාරස්ථාන ගැන නැවත සලකා බැලිය යුතු කාලයක් පැමිණ තිබේ. දරුවන්ගේ දහම් අධ්‍යාපනය සඳහා ඊටත් වඩා උනන්දු විය යුතු කාලයක් පැමිණ ඇත.

දිවයින පුරා විහිදී ඇති සෑම සිද්ධස්ථානයකට ම සමාන පහසුකම් නැත. ඇතැම් පන්සල්වලට ආදායම් තිබේ. තවත් පන්සල්වල දායකයෝ ධනවත්හු වෙති. ඔව්හු පන්සලේ දියුණුවට අත දිගහැර වියදම් කරති. එහෙත් දුෂ්කර ම පළාත්වල ඇතැම් පන්සලකට දානශාලාවක් නැත. තව පන්සලකට ආවාස ගෙයක් නැත. තවත් පන්සලකට බුදු මැදුරක් නැත. ස්වාමීන්වහන්සේගේ පැවැත්ම සඳහා දානය නොලැබෙන පන්සල් ද තිබේ. මෙබඳු දුප්පත් පන්සල් පිළිබඳ විස්තර වරින්-වර ජනමාධ්‍ය විසින් හෙළිදරව් කරනු ලැබේ. එහෙත් දේශපාලකයන්ගේ අවධානය කෙරෙහි යොමුවන්නේ කලාතුරකින් ය.

රටේ දහම් පාසල් අධ්‍යාපනය නැංවිය යුතුය යන සංවාදය පවතින්නේ දීර්ඝ කාලයක සිට ය. මේ සඳහා ඉදිරිපත් වූ යෝජනා මෙන්ම ක්‍රියාත්මක වූ සාධක ද පවතී. වරෙක යෝජනා වූයේ ඉරිදා දහම් පාසල් දිනයට ටියුෂන් නැවැත්විය යුතු බව ය. මෙය ඇතැම් පළාත්වල ක්‍රියාත්මක විය. තවත් පළාත්වල ක්‍රියාත්මක නොවී ය. දහම් පාසල් ගුරුවරුන් සඳහා දීමනාවක් ගෙවිය යුතු යැයි යෝජනාවක් තවත් වරෙක ඉදිරිපත් විය. එහෙත් එය සාර්ථක වූයේ නැත. දහම් පාසල් සහතිකයට රැකියා ලබාගැනීමේ දී වටිනාකමක් ලබාදිය යුතු යැයි යෝජනාවක් ද ඉදිරිපත් විය. රාජ්‍ය අංශයේ රැකියා ලබාගැනීමේදී එය ලකුණු කිහිපයක් එකතු කරන සාධකයක් ලෙස පවතී. එහෙත් පෞද්ගලික අංශය ඒ ගැන තැකීමක් නැත.

දහම් පාසල් අධ්‍යාපනය ශක්තිමත් කළ හැකි නම්; රටේ සිදුවන අපරාධ, ස්ත්‍රී - දූෂණ, මංකොල්ලකෑම් පමණක් නොව; අල්ලස, වංචාව, අක්‍රමිකතා හා දූෂණ ආදිය ද දහම් අධ්‍යාපනය ඔස්සේ අඩු කරගත හැකිය. දිවයිනේ බොහෝ සිද්ධස්ථානවලට දහම් පාසල් පවත්වාගෙන යෑම දුෂ්කර වී ඇත්තේ ඊට අදාළ පහසුකම් නැතිකම නිසා ය. විශේෂයෙන්ම දහම් පාසල් ගොඩනැඟිලි නැතිකම මේ කෙරෙහි බලපායි. දහම් පාසල යනු තවත් ඉස්කෝලයකි. එය හඳුන්වන්නේ ද ඉරිදා ඉස්කෝලය නමින් ය. ඒ සඳහා ඉඩපහසුකම් ඇති ගොඩනැඟිලි හා පන්ති කාමර අවශ්‍ය වේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන අන්දමට දහම් පාසල් ගොඩනැඟිලි මෙන්ම පන්සලට අවශ්‍ය වෙනත් ‍ගොඩනැඟිලි ද ඉදිකිරීම සඳහා යථෝක්ත වැඩසටහන ක්‍රියාත්මක වෙයි. එහිදී මුළුමනින්ම ගොඩනැඟිලි පන්සියයක් ඉදිකිරීමට නියමිත ය. එක ගොඩනැඟිල්ලක් සඳහා මධ්‍යම සාංස්කෘතික අරමුදලෙන් රුපියල් ලක්ෂ හතළිහ ගණනේ වෙන්කිරීමට ද නියමිත ය. ඒ අනුව බෞද්ධ ප්‍රබෝධය සඳහා ද දහම් පාසල් අධ්‍යාපනය සඳහා ද සුවිශාල මුදලක් වෙන්කරනු ඇත. මෙලෙස වෙන්කරන මුදල ප්‍රබල ආයෝජනයක් බව සඳහන් කළ යුතුය. එම ප්‍රතිපාදන වැය කෙරෙන්නේ මානව සංවර්ධනය සඳහා ය. රටේ ජනතාවගේ විනය හා ශික්ෂණය සංවර්ධනයට අදාළ ප්‍රධාන සාධකයක් බව නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් පෙන්වා දී ඇත.

නිවාස අමාත්‍යවරයා කිසියම් ඉලක්කයක් අනුව වේගවත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන දේශපාලකයෙකි. ගම්උදාව වැඩසටහන ඊට හොඳම සාධකය ලෙස පවතී. නිශ්චිත කාලයට ඉදිකිරීම් කටයුතු නිමාකොට ගම්මාන ජනතා අයිතියට පත්කිරීම එහිදී සිදුවෙයි. සෑම සති අන්තයකම දිවයිනේ කිසියම් ප්‍රදේශයක ගම්මාන දෙකක් හෝ තුනක් ජනතා අයිතියට පත්කෙරේ. මේ හැරෙන්නට එකවර ගම්මාන හතරක් හෝ පහක් ජනතා අයිතියට පත්කරන අවස්ථා ද තිබේ. නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් ඇති අමාත්‍යවරයකු ලෙස ද ඇමැති සජිත් ප්‍රේමදාස මහතා හැඳින්විය හැකිය. ඔහුට අනුව දහම් පාසල් ගොඩනැගිලි හා අනෙකුත් ගොඩනැගිලි ඉදිරි මාස තුන තුළ ඉදිකර අවසන් කිරීමට නියමිත ය.

රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් මතුවෙමින් පවතී. එහි අර්ථය වන්නේ සෙසු ආගම් දෙවනකොට සැලැකීම නොවේ. සාමයට, සමඟියට හා සහජීවනයට අදාළ ඉගැන්වීම් බෞද්ධ දර්ශනය තුළ ප්‍රකටය. එම ඉගැන්වීම් පාදකකොට රටේ ජනතාව ප්‍රබුද්ධ මාර්ගයකට ගැනීම බෞද්ධ ප්‍රබෝධයේ අරමුණ‍ වෙයි. ‘ත්‍රිපිටකාභිවන්දනා’ නමින් වැඩසටහනක් දැන් ක්‍රියාත්මක වෙයි. එහි අරමුණ ත්‍රිපිටකය; එනම් බෞද්ධ දර්ශනයේ හරය ‍ලෝක උරුමයක් බවට පත්කිරීම ය. එය ජාතික උරුමයක් බවට පත්වූයේ ද වර්තමාන රජය යටතේ ය. ඒ අනුව ත්‍රිපිටකය විකෘති කිරීමේ හැකියාවක් කිසිවකුටත් නැත. ‘ත්‍රිපිටකාභිවන්දනා’ වැඩසටහනට සමගාමීව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කරන වැඩසටහන ‘සිසු දහම් සෙවණ’ ලෙස හැඳින්වේ.

ස්වදේශිකත්වය සම්බන්ධයෙන් ද ස්වදේශික උරුමය සම්බන්ධයෙන් ද සංවාදයක් ලෝක මට්ටමින් පවතී. අමෙරිකාව ප්‍රමුඛ ධනවත් රටවල් කිහිපයක් ස්වදේශිකත්වය කේන්ද්‍රකොට සිය ආර්ථික හා දේශපාලනික ක්‍රියාවලිය වෙනස් කරමින් සිටින බවක් ද, පෙනෙන්නට තිබේ. අපේ රටේ ද ස්වදේශිකත්වය උත්කර්ෂයට නංවන වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. එය නරක දෙයක් නොවේ. එහෙත් ස්වදේශිකත්වයට මුවා වී ජාතිවාදය අවුළුවන්නේ නම් එය වරදකි. අපේ ඇතැම් දේශපාලන ව්‍යාපාර පවතින්නේ ජාතිවාදය පදනම් කරගෙන ය. එම දේශපාලන ව්‍යාපාර ද ස්වදේශිකත්වය පිළිබඳ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන බව පෙනෙයි. එහෙත් වත්මන් ආණ්ඩුව ස්වදේශිකත්වය උපුටා දක්වන්නේ රටේ ඒකාබද්ධ සංවර්ධනය සඳහා ය.

ඒකාබද්ධ සංවර්ධනය සඳහා ජනතාව අතර සමගිය හා සහජීවනය පැවැතිය යුතුය. රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන අල්ලසෙන් හා දූෂණයෙන් ඉවත්විය යුතුය. ඒ සියල්ල සඳහා එකිනෙක ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආණ්ඩුව අනාගත පරපුරේ විනය හා ශික්ෂණය ගැන ද අවධානය යොමුකර ඇති බව පෙනෙයි.

 


නව අදහස දක්වන්න